ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් නවත්වන්නේ නම්, සාම සාකච්ඡාවලට සූදානම් යැයි පාකිස්තාන  තලේබාන් නායක හකිමුල්ලා මෙසූඞ් පවසයි.
මෙසූඞ් මේ බව කියා සිටියේ වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදා හරිමිනි. කෙසේ නමුත් අවි බිම තැබීමක් ගැන තලේබාන් නායකයා පවසා නැත.
වසර 10 කට වැඩි කාලයක් තිස්සේ පවතින ගැටුම් නවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට තමන් සූදානම් බව තලේබාන් නායකයා අවධාරණය කර ඇත.
තලේබාන් නායක හකිමුල්ලාගේ එම ප‍්‍රකාශයට පාකිස්තාන රජය තවමත් ප‍්‍රතිචාර දක්වා නොමැති නමුත්, පාකිස්තානයේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට රජය උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.
මේ අතර ඇෆ්ගන් රජය සහ එරට කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් අතර මේ වනවිට ඇරැඹී ඇති සාම සාකච්ඡුා සාර්ථක කර ගැනීමට පාකිස්තාන රජයේ සහාය නොඅඩුව හිමි වන බව පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී පවසා ඇත.
2014 වසරේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කොට ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය. විදෙස් හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමෙන් පසුවය. ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.