ජනපති ඔබාමා

 

ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුම් හේතුවෙන්, රජයේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීම නිසා හටගත් අර්බුදය, තව තවත් දිග්ගැස්සෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ බිය පළ කරති.

අය වැය සම්මත කරගැනීමට නොහැකිව පෙරේදා (1) සිට ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු අඩපණ වූ අතර, රාජ්‍ය ආයතනවලින් කොටසක් වසා දැමීම ට ද සිදු වී ඇත.

ඇමෙරිකාව පසුගිය කාලයේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර, එයින් ගොඩ ඒමට ඔවුන් සමත් විය. කෙසේ නමුත් මෙම නව අර්බුදය මුල්කර ගනිමින්, යළිත් වරක් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතිනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුමක් නිර්මාණය වූයේ, ජනපති බැරැක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමිනි. ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ, එම පනත සංශෝධනය විය යුතු බවය.

ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩල බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයට නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටය.

ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු මේ අයුරින් අඩපණ වූයේ වසර 17 කට පමණ පසුවය. මීට පෙර ඇමෙරිකාව මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේ 1995 වසරේදීය. අයවැය සම්මත කිරීම කල් දැමීම හේතුවෙන් ඇමෙරිකානුවන් ලක්ෂ 7 කට වැඩි පිරිසකට වැටුප් ගෙවීමේ දී ගැටලූ මතු වී තිබෙන බව ද පැවැසෙයි.

සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදා වන විට ඇමෙරිකාවේ වාර්ෂික අයවැය සම්මත කර ගත යුතුව ඇති අතර, එසේ නොකළහොත් ස්වංකී‍්‍රයව රජයේ අත්‍යාවශ්‍ය නොවන සේවා ආයතන වසා දැමීම සිදුවෙයි. එම ආයතනවල සේවක සේවිකාවක්ට වැටුප් රහිත නිවාඩු හිමිවෙයි.

පෙරේදා සිට එසේ වසා දැමුණු ආයතන වන්නේ, ඇමෙරිකානු රජය යටතේ පවතින උද්‍යාන මෙන්ම වෙළෙඳ සහ මූල්‍ය ආයතනය. ආරක්ෂක සේවා සහ සෞඛ්‍ය සේවා ආදී අත්‍යාවශ්‍ය සේවා දිගටම කි‍්‍රයාත්මක වෙයි. අර්බුදය කඩිනමින් විසඳා ගෙන අයවැය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත්, එම ආයතනවලට ද බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතී.

2008 වසරේදී, ජනපති ඔබාමා දුන් ඡන්ද පොරොන්දුවකට අනුව, සෞඛ්‍ය ආරක්ෂක පනත සකස් කළේ ඇමෙරිකානු ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීමටය. එහෙත් ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරු කියා සිටින්නේ එම පනත සම්බන්ධයෙන් සංශෝධන සිදුවිය යුතු බවය. හටගෙන ඇති අයවැය අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා, රිපබ්ලිකන් පාක්ෂිකයන්ට චෝදනා කරන්නේ ඔවුන්, සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමින් ජනතාව අමාරුවේ දමා කප්පම් ගැනීමක් කරන බවය.

 

ඇමෙරිකාවේ සංචාරක ආකර්ශනයක් වන ලිබර්ටි ප‍්‍රතිමාව පිහිටි ලිබර්ටි දුපත ද වසා දමා ඇත.
 
මාටින් ලූතර් කිංග් උද්‍යානය ද වසා දැමීමට බලධාරීහු පියවර ගත් අයුරු