නාවික හමුදාවට අයත් යුද නැව්වලින් සියයට 60 ක ප‍්‍රමාණයක් ආසියා පැසිෆික් සාගර කලාපයට එවීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ආසියා පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මීළඟ වසර කිහිපයේදී එම යුද නැව් ආසියා පැසිෆික් සාගර කලාපයේ රඳවා තැබීම ආරම්භ කරන බවත්, 2020 වෙද්දී යුද නැව්වලින් සියයට 60 එම කලාපයට එවීමට කටයුතු කරන  බවත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය තීරණය කර ඇත. පෙන්ටගනය ගත් මෙම තීරණය මාධ්‍ය හමුවේ අනාවරණය කළේ වාර්ෂිකව පැවැත්වුණු ආසියා ආරක්ෂක සමුළුවට සහභාගී සිටින ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටාය. එම සමුළුව පැවැත්වුණේ සිංගප්පූරුවේය. ආර්ථික අර්බුදය හේතුවෙන් පසුබෑමකට ලක්ව සිටියත් ඇමෙරිකා රජය, ආසියා කලාපීය රටවල ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක වියදම් කප්පාදු නොකරන බව ද පැනේටා එම අවස්ථාවේදී කියා සිටියේය. ආසියා කලාපයේ තම බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව කෙමෙන් කෙමෙන් උත්සාහ ගන්නා බව ලොවට රහසක් නොවේ. ඔවුන් මේ වනවිට නේටෝව සමඟ එක් වී ඇෆ්ගනිස්තානයට හමුදා යැවීමෙන් මධ්‍යම ආසියාවේ බලය තහවුරු කරගෙන ඇත.