මැදපෙරදිග කලාපයේ ත‍්‍රස්තවාදී මෙහෙයුම් බාරව කි‍්‍රයා කළ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානයේ දෙවැනි නායකයා ලෙස සැලකෙන සයීඞ් අල් ෂේරි පෙරේදා(10) යේමන හමුදා ප‍්‍රහාරයකින් මියගිය බව යේමන බුද්ධි අංශ පවසයි. සයීඞ් අල් ෂේරි මියගොස් ඇත්තේ යේමන හමුදා හද්‍රමාට් ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කළ මෙහෙයුමකදී එල්ල කළ ප‍්‍රහාරයකදී බව යේමන බුද්ධි අංශ වැඩිදුරටත් කියා සිටී. එම ප‍්‍රහාරයෙන් ඔහු සමඟ සිටි සටන්කාමීන් හය දෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීඩියෝ පටයක් නිකුත් කළ වත්මන් අල් කයිඩා සංවිධානයේ නායක අයමාන් අල් - සවහාරි තම සංවිධානයේ දෙවැනි නායකයා මියගොස් ඇති බව තහවුරු කළේය. ඉකුත් වසරේදී අල් ෂේරි ඝාතනය කිරීම පිණිස ඇමෙරිකා හමුදා දකුණු යේමනයේ අබ්යන් පළාතේ මෙහෙයුමක් දියත් කළේය. නමුත් ඉන් බේරි පළායාමට අල් ෂේරි සමත් විය. මිය යන විට ලොව ප‍්‍රබල ගණයේ ත‍්‍රස්තවාදියකු ලෙස හැඳින් වූ අල් ෂේරි සවුදි අරාබි ජාතිකයෙකි. එක් අවස්ථාවකදී ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිදු කළ මෙහෙයුමකදී අල් ෂේරි අත්අඩංගුවට පත් විය. අනතුරුව ඇමෙරිකාවේ සුප‍්‍රකට ග්වන්තනාමෝබේ සිරකඳවුරේ 2007 වසර දක්වා මොහු රඳවා තැබිණි. ඉන් පසුව නිදහස් කෙරුණු අල් ෂේරි මැදපෙරදිග කලාපයේ පිහිටි යේමනය, ඉරාක වැනි රටවල ත‍්‍රස්ත මෙහෙයුම් බාර ප‍්‍රධානියා බවට පත් විය. අල් ෂේරි ත‍්‍රස්ත මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ යේමනය කේන්ද්‍ර කර ගනිමිනි. අල් කයිඩා සංවිධානයේ දෙවැනියා මේ අයුරින් ජීවිතක්ෂයට පත්වීම  එම සංවිධානයට එල්ල වූ බලවත් පහරක් බවත් ඒ අනුව ඔවුන්ගේ කි‍්‍රයාවල වෙනසක් සිදුවනු ඇති බවත් ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප‍්‍රහාරය එල්ල වී වසර 11 සමරන මේ මොහොතේදී අල් කයිඩා නායකයාගේ මියයෑම දෛවෝපගත සිදුවීමක් බව විදෙස් විශ්ලේෂකයෝ  පෙන්වා දෙති.