අල් කයිඩාවේ අවසන් බලකොටුව ලෙස සැලකෙන මාලි රටේ කිඩාල් නුවර අල් කයිඩා සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට ප‍්‍රංශ හමුදා ඊයේ (31) මෙහෙයුම් ආරම්භ කළේය.
ප‍්‍රංශ හමුදා සෙබළුන් 750 ක බලඇණියක් මාලි රාජ්‍යයට පැමිණ එරට උතුරු ප‍්‍රදේශ සටන්කාමීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ මීට සති දෙකකට පෙරය. 
ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අපි‍්‍රකානු සංගමය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. උතුරු අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවැතිණි. 
මීට අමතරව මාලි සටන්කාමීන් සමඟ සටන් කරන ප‍්‍රංශ හමුදාවට සහාය දීමට, බි‍්‍රතාන්‍ය හමුදා සෙබළුන් 200 දෙනකුගෙන් සැදුම්ලත් විශේෂ බලඇණියක් යැවීමට බි‍්‍රතාන්‍ය රජය ද මේ වනවිට කැමැත්ත පළ කර ඇත.
මාලි රාජ්‍යයේ පසුගිය වසරේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවී රට දේශපාලනික වශයෙන් අස්ථාවර විය. අල් කයිඩා සහ සෙසු ජිහාඞ්වාදී ඉස්ලාමීය සටන්කාමීන් රටේ උතුරු ප‍්‍රදේශ අත්පත් කර ගත්තේ එවිටය.