බ්‍රසීල ජාතික සොහොයුරන් දෙදෙනෙක් ඇමසන් ගංගාවේ ඉහළ බලා යාත්‍රා කරමින් සිටියේ පෙරදා ගගෙහි ඇටවූ උගුලට මසුන් සිරවී ඇත්දැයි සොයාබැලීමටය.

උගුලට ළගා වූ පසු අයියා සිය මලයාට ඔරුවට වී සෝදිසියෙන් සිටින්නැයි උපදෙස් දී ගගට බැස කිමිදුනේ ගං පත්ලේ සවිකර තිබූ උගුල පරීක්ෂා කර බැලීමටය.

අයියා දිය යට කිමිද සිටියදී ඔරුවේ හුන් මලයා සිටියේ අවට සිරි නරඹමිනි.හදිසියේම ඔහුගේ නෙත ගැටෙනුයේ ඔරුව අසළ ජලයේ රැළි නැංවෙන අන්දමයි.මේ නම් මාළුවකැයි සිතූ ඔහු තම අත තිබූ හාපූනය (ඇවිලූම් බිලිය) රැළි ඇතිවූ ස්ථානය ඉලක්ක කර විසි කරන්නේ අයියාට තමන්ටත් වැඩ පුළුවන් යැයි පෙන්වීමේ අරමුණෙනි.

හාපූනය නිවැරදි ඉලක්කය කරා ගියද අසුවුණේ මාළුවකු නොවේ.මතුපිටට පිහිනා එමින් සිටි අයියාය.ගං දියේ රැළි නැංවී තිබුණේ ඔහු මතුපිටට පිහිනා එමින් සිටි නිසාය.හාපුනය ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් තිබුණි.

වහ වහා අයියා ඔරුවට නංවා ගත් මලයා වෙහෙස නොතකා දින 2 ක් පුරාවට ඔරුව පැද අවසානයේ නගරයට පැමිණ ඔහු රෝහල් ගත කිරීමට සමත්ව තිබුනි.අයියාගේ මුහුණ පසා කරගෙන ගොස් තිබූ හාපූනය ඉවත් නොකිරීමට මලයා වගබලාගෙන තිබූ අතර වෛද්‍යවරුන් හමුවන විටදී අයියා සිටියේ දින 2 ක් පුරා ඇමසන් ගග තරණය කිරීමෙන් හා රුධිර වහනයෙන් පීඩාවට පත්වීය.

කඩිනම් ප්‍රතිකාර වලින් පසු දැන් ඔහු ක්‍රමයෙන් සුවය ලබමින් සිටිනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.