විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන අවස්ථා ලබාදීමට අගමැති මන්මෝහන් සිං සූදානම්වන මොහොතක ඊට විරෝධය පෑම පිණිස ඉන්දීය වෙළෙසල් හිමියෝ, සුළු වෙළෙන්දෝ සහ කම්කරුවෝ දැවැන්ත වැඩ වර්ජනයක් ඊයේ(20) ආරම්භ කළහ. ඉකුත් සතියේදී අගමැති සිං නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරට විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව සිය වෙළෙඳසැල් වසාදමා දුම්රිය ගමනාගමන කටයුතු අඩාල කරනු පිණිස එම මාර්ග අවහිර කරමින් දහස් ගණන් ඉන්දියානුවෝ ඊයේ දිනයේ දැවැන්ත වැඩවර්ජනයක් දියත් කළ බව වාර්තා වේ. මෙම වැඩවර්ජනය හේතුවෙන් කල්කටා, බැංගලෝර් සහ චෙන්නායි යන නගරවල දෛනික කටයුතුවලට බාධා එල්ල විය. බෙංගාල ප‍්‍රාන්තයේ පැය 24ක වැඩවර්ජනයක් ප‍්‍රකාශයට පත් කළ විරෝධතාකරුවන් පාලනය කිරීමට එම නගරයට දහසකින් යුතු පොලිස් බලඇණියක් යෙදවූ බව ඉන්දීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. මේ අතර විරෝධතාවල නිරත ඇතැම් පිරිස් අධිවේගී මාර්ග කිහිපයක් අවහිර කර ඇතැයි වාර්තා වේ. කල්කටා නුවරින් ඇරඹි මෙම දැවැන්ත විරෝධතාව අනෙකුත් ප‍්‍රාන්තවලද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි වැඩවර්ජනයේ නිරත වෘත්තී සංගම් කි‍්‍රයාකාරීහු පවසති. මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කි‍්‍රයා කරන එරට ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ  ආධාරකරුවන් ඇතුළු පිරිස් බිහාර් ප‍්‍රාන්තයේ දුම්රිය ස්ථානවලට රැස්වී දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. විරෝධතාකරුවන්ගේ මූලික අරමුණ දුම්රිය සහ බස් රථ ගමනාගමන කටයුතු අඩාල කිරීම බව පැට්නාහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කීය. වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට බිහාර් ප‍්‍රාන්තයේ පෞද්ගලික පාසල් වසා දමා ඇති අතර රජයේ පාසල්වල වැඩකටයුතු සුපුරුදු පරිදි සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම විරෝධතාවලට ඉන්දියානුවන් මිලියන 50ක් සහභාගී කරවා ගැනීම සිය අරමුණ බව සමස්ත ඉන්දීය වෙළෙඳ සංගමය පවසයි. අගමැති සිංගේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්‘ එල්ල වනු ඇති බවත් ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් විරෝධතාකරුවෝ අවධාරණය කරති. නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව අම්රිත්සාර් නගරයේ පැවැති විරෝධතාවලට එක් වූ ඉන්දීය හිටපු කි‍්‍රකට් ක‍්‍රිඩකයකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද වන නව්ජොට් සිං සිධූ. අලහබාද් නගරයේ දුම්රිය ගමනාගමන කටයුතු අවහිර කළ ඉන්දීය සමාජවාදී පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක්....