2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවර ප‍්‍රහාරයට සම්බන්ධ පාකිස්තාන ජාතික 25 හැවිරිදි මොහොමඞ් අජ්හමාල් අමීර් කසාබ්ගේ මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව ඉන්දියාවෙන් පළි ගන්නා බව පාකිස්තාන තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති. අමීර් කසාබ් එල්ලා මරා දැමුණේ ඉකුත් 21 වැනිදා උදෑසන ඉන්දියාවේ පූනේ නුවර බන්ධනාගාරයකදීය. ඉන්දීය රජය මරණ දඬුවම කි‍්‍රයාත්මක කළේ පාකිස්තාන රජයට ද දැනුම් දීමෙන් පසුවය. පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ඉන්දීය රජයෙන් ඉල්ලා  ඇත්තේ කසාබ්ගේ මළ සිරුර පාකිස්තානයේ වෙසෙන ඔහුගේ ඥාතීන්ට වහා බාර දෙන ලෙසටය. කසාබ් වීරයකු බවත් ඔහුට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ගැන ඉන්දීය රජයට පසු තැවීමට සිදුවනු ඇති බවත් තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කසාබ්ට මරණ දඬුවම නියම කළේ ඉකුත් අගෝස්තු මාසයේ දීය. මරණ දඬුවමින් තමා නිදහස් කරන්නැයි කසාබ් ඉන්දීය ජනපති ප‍්‍රණාබ් මුණර්ජීගෙන් ඉල්ලීමක් කර තිබුණ ද අසාර්ථක විය. 2008 වසරේ නොවැම්බර් 26 වැනිදා, මුම්බායි නුවරට කඩා වැදී පහර දුන්නෝ පාකිස්තානයේ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමී සංවිධානයේ සාමාජිකයෝය. පාකිස්තාන ජාතිකයකු වන අමීර් කසාබ් ද ඔවුන්ගෙන් කෙනෙකි. ඔහුගේ වයස අවුරුදු 25 කි. ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීහු පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ද සමඟ සමීප සබඳතා පවත්වති. සටන්කාමීන් දින දෙකක් තිස්සේ බෝම්බ පුපුරුවමින්, වෙඩි තබමින් සිදු කළ ප‍්‍රහාරවලින් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය සඳහා කසාබ් ඇතුළු තවත් සටන්කාමීන් 9 දෙනකු පැමිණිය ද ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන්ට ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූයේ කසාබ් පමණි. මේ අතර පාකිස්තාන රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ පාකිස්තාන තානාපති කාර්යාලයට සහ එහි නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් සැපැයීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. කසාබ්ගේ මරණ දඬුවම කි‍්‍රයාත්මක වීම සම්බන්ධ පුවත් පාකිස්තාන පුවත්පත්වල පළ වී තිබූ අයුරු.