ඔබ මගේ විද්‍යුත්  තැපැල් ලිපියට
ප්‍රතිචාර දක්වන විට 
කැරකේය සියල් ග්‍රහලෝක
මා වටා සුළියාකාරව,
එක් වේය ප්ලූටෝ පවා
දළඹුවා උෟම නිවේදනය  කරයි
තමන් සමනලයකු බව
මා වෙනුවෙන්ම මිදි ඉදෙන වැලේ
අත්පසුරු දිගෑදෙයි  යාබද ගෙවත්තට.

 

ඉෂ්ටා* යළි පණ ලබා
ගයන්නී ඇගේ  ගීය
වැනසුණ පුරයන් වෙනුවෙන්, 
සෝදා හරින්නිය සිය වතෙහි දුහුවිලි
පාන්නීය දඟර රැඟුම්
සුකුමාල නර්තකියක ලෙසින්.
යවයි ඈ සියලු සෙබළුන්
නීවෙස් වෙත, ළබැඳියන්ගේ දෑත් වෙත.
වෙළුම්ලයි
නදී ද්වයට මැදි වූ බිමෙහිදී තුවාල ලත්
මේ පුංචි කිරිල්ලියගේ බිඳුණු පය.
සිය ලෝගුවේ සිදුරු ගණන් කරනා ඇය
යන්නීය නින්දට.

 

' මුත් මා තවමත් පොරොත්තුවෙනි
ඔබේ විද්‍යුත් තැපැල්  ලිපිය.
මා දෙනෙත්වල වෙහෙස
පිළිබිඹු  කරයි විද්‍යුත්  තිරය
මගේ ඔර්ලෝසුවේ කටුද
එකිනෙකා  වැළඳගනී
ඔබේ නිහඬතාව මධ්‍යයේ.

 

* ඉෂ්ටා( Ishtar)- බැබිලෝනියානු මිථ්‍යා සාහිත්‍යයේ එන පරිදි, යුද්ධයට හා ලිංගිකමය ආදරයට අධිපති දේවතාවියයි, වත්මන  Warka ලෙස හැඳින්වෙන  පෞරාණික Uruk නගරයේ මැවුම්කාරියයි.

ඉරාක කිවිඳි  දුන්යා මිඛායිල් (Dunya Mikhail)  ලියූ  Your Email  පද්‍යයේ  පරිවර්තනය .

දුන්යා  මිඛායිල් 1965 මාර්තු 19වැනි දින  ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ ඉපිද, එහි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියක් දිනා ඇත. Baghdad Observer පත්‍රයේ කර්තෘ මාණ්ඩලිකයක හා පරිවර්තිකාවක ලෙස සේවය කළාය. නිදහස් මතධාරි ලේඛිකාවක වීමෙන් සදාම් හුසේන්ගේ උදහසට ලක්වීම නිසා 1995දී ඉරාකයෙන් පිටවන ඇය , පළමුව ජෝර්දානයටත්, එතැනින් ඇමෙරිකාවටත් ගොස් දැන් එහිම ජීවත්වන්නීය. එහි Wayne State University  වෙතින් ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති දුන්යා  දැන් මිචිගන්හි ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ  , අරාබි භාෂාව පිළිබඳ  විශේෂ  කථිකාචාර්යවරියක ලෙස සේවය  කරන්නීය.

ඇරමයික්, අරාබි හා ඉංග්‍රිසි යන භාෂා දැනුමැති,  බොහෝ දුරට අරාබි බසින් ලියන දුන්යා කිවිඳියගේ  The War Works Hard , Diary of  Wave Outside the Sea , Iraqi Nights, In Her Feminine Sign  යන කාව්‍ය සංග්‍රහයන්, නිර්ප්‍රබන්ධයක් වන The Beekeeper  හා ප්‍රථම නවකතාව වන The Bird Tattoo ආදි සියලුම කෘතින් සම්මාන, ත්‍යාග, කෙටි ලැයිස්තුගතවීම් ආදියෙන් ඇගයුමට පාත්‍ර වී ඇත. ඒ හැර ඇගේ කවි වෙනත් භාෂාවන්ට පරිවර්තනයවීම හා වෙනත් ප්‍රකාශනවල පළවීම බහුලව  සිදුව ඇත.