IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ ණයට ජනතාවට බදු බර

ලංකාවේ දේශපාලන වාසනාව පෙන්ඩනයක් සේ පැද්දෙමින් තිබේ. මීට ටික දිනකට පෙර තත්ත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වාසිදායක බවක් පෙනෙන්නට තිබුණි. පාර්ලිමේන්තුවේ බහුතරය IMF ගිවිසුම අනුමත කළ අතර, විපක්ෂයේ කුඩා කණ්ඩායම් එයට එරෙහිව ඡන්දය දුන්න ද, ප්‍රධාන විපක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේ, එම පක්ෂය තුළ සිටින බලගතු ආර්ථික විශේෂඥයන් කිහිපදෙනකුගේ බලපෑම නිසා විය යුතුය.

ප්‍රධාන විපක්ෂයේ මෙම නොසැලකිලිමත් දේශපාලනිකව දුර්වල ප්‍රවේශය නිසා ජනාධිපතිවරයා සහ රජය නිවැරැදි මාර්ගයේ යන බවට හැඟීමක් රට තුළ ඇති කළ අතර, ප්‍රධාන විපක්ෂය පවා ජනාධිපතිවරයාගේ ස්ථාවරයට සහාය දක්වන බව පෙනී ගියේය. කෙසේ වෙතත්, IMF සාකච්ඡා ආණ්ඩුව විසින් දුර්වල ලෙස කළමනාකරණය කිරීම විවේචනය කරමින් විපක්ෂ නායකවරයාගේ නවතම ප්‍රකාශ පෙන්නුම් කරන්නේ, පක්ෂ මතය පිළිබඳව ප්‍රධාන විපක්ෂය තුළ තවමත් විවාදයක් පවතින බවයි.

ස්ථාවර ආදායම් ලබන්නන් කාණ්ඩයේ කිහිප දෙනකු සිතන්නේ රට ස්ථාවර වෙමින් පවතින බවයි. ඔවුන් හේතුව ලෙස දකින්නේ, මූලික වශයෙන් මේ දිනවල ඉන්ධන හෝ ගෑස් පෝලිම් නොමැති නිසාත්, විදුලිය කැපීම් නොමැති නිසාත්ය. කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ ඉන්ධන, ගෑස් සහ විදුලි පරිභෝජනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඔවුන් නොදන්නවා විය හැකිය. අධික මිල වැඩි වීම මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම්වල හැකිලීම යන දෙකම මෙම පරිභෝජන අඩු වීමට හේතු වී ඇත.

2023 පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය ඩොලර් මිලියන 520 සිට ඩොලර් මිලියන 390 දක්වා සියයට 25කින් පහත වැටීම නිරීක්ෂණය කරන විට ඉන්ධන මිල ඉහළ යාමේ බරපතළකම පැහැදිලි වේ. 2022 වසරේ සැලකිය යුතු ලෙස ඉහළ යාම ජනතාවගේ මතකයෙන් මැකී ගොස් ඇති බව පෙනේ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව පළමු කාර්තුවේදී සමස්ත ආර්ථිකය සියයට11.5කින් හැකිලී ඇත. සියයට 23.4ක හැකිලීමක් අත්විඳිමින් කර්මාන්ත අංශයට දැඩි ලෙස පහර වැදී ඇත. මෙම ප්‍රතිඵල 2022 දී සමස්ත ආර්ථිකය සියයට 8කින් හැකිලු‍ණාට අමතරවය. ආර්ථිකය සක්‍රීය කිරීමේ වැඩපිළිවෙළක් රජයට නැති තත්ත්වයක් තුළ බොහෝ ව්‍යාපාර වසා දැමීමට බලකෙරෙන මෙම ආර්ථිකය සංකෝචනය වීමේ ප්‍රවණතාව දිගටම පවතිනු ඇත.

සමහර ඉංග්‍රීසි පුවත්පත් විවෘත කළහොත්, පෞද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අත්පත් කරගැනීම් හරහා විකිණීමට ඉදිරිපත් වන බැංකු දැන්වීම්වලින් පිරුණු පිටු පෙනෙනු ඇත. පාර්ලිමේන්තුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ විවාදයේදී අනාවරණය වූ පරිදි මේ වසරේ මුල් මාස හතර තුළ එවැනි දේපළ 400කට අධික ගණනක් බැංකු විසින් වෙන්දේසි කර ඇත. මෙම අනුපාතය මත පදනම්ව, වසරේ මුල් මාස හය තුළ ව්‍යවසායකයන් 500 සිට 600කටවත් ඔවුන්ගේ දේපළ අහිමි වන්නට ඇතැයි සාධාරණ ලෙස උපකල්පනය කළ හැකිය.

ව්‍යවසායකයකු අලුතින් නිර්මාණය කිරීම අභියෝගාත්මක ප්‍රයත්නයක් වන අතර, ව්‍යාපාර වසා දැමීම හරහා අපට ව්‍යාපාරිකයන් අහිමි වෙමින් පවතී. අපේ රටේ මිලියන 6කට වැඩි සේවක සංඛ්‍යාවක් සමග සැසඳීමේදී හාම්පුතුන් ගණන 230,000කට වඩා අඩුය. කුඩා හා මධ්‍ය පරිමාණ අංශයේ මිලියන 4.5කට වැඩි පිරිසක් සේවය කරන අතර, අපගේ ආර්ථිකයට සියයට 55ක පමණ දායකත්වයක් සපයන බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. අවාසනාවකට මෙන්, මෙම අංශය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. උද්ධමනය පාලනය කිරීමේ හොඳම මාර්ගය ලෙස බලහත්කාරයෙන් ආර්ථික හැකිලීම යෝජනා කළ ආර්ථික විශේෂඥයන් මේ අනතුර වටහා ගෙන නොතිබුණි.

මූල්‍ය සාක්ෂරතාව තරමක් අඩු රටක, යෝජිත IMF ගනුදෙනුවේ ක්‍රියාකාරීත්වය සහ ඇඟවුම් තේරුම් ගැනීමට බොහෝ අය අසමත් වෙති. ඩොලරයට සාපේක්ෂව රුපියල තාවකාලිකව ඉහළ යාම ගැන සතුටු වන අය එය අපගේ ණය ආපසු ගෙවීමට පටන් ගැනීමට පෙර එය හුදෙක් කෙටි විවේකයක් බව වටහා ගැනීමට අසමත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුවලටම අනුව, 2023 සහ 2027 අතර වසරකට ඩොලර් බිලියන 5.6ක සාමාන්‍යයක් ලෙස ඩොලර් බිලියන 28කට ආසන්න මුදලක් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට වගකීමක් ඇති බව ඔවුන් නොදනී.

ජනප්‍රිය විශ්වාසයට පටහැනිව, IMF අප වෙනුවෙන් මෙම ණය ආපසු ගෙවීමේ වගකීම භාර නොගනී. ඒ වෙනුවට, එය අපට සියයට 5ක පමණ ඉහළ පොලී අනුපාතයකට අරමුදල් සපයයි. එය ණය ගැනීම දිගටම කරගෙන යාමට අපට නීත්‍යනුකූලභාවය ලබා දීමට පමණක් උපකාර කරයි. මෙම අතිරේක ණය ගැනීම් මගින් සිදුවනු ඇත්තේ, දැනටමත් ඇමෙරිකානු ඩොලර් බිලියන 46කට වඩා පවතින අපගේ විදේශ ණය තවත් උග්‍ර කිරීමයි. වත්මන් ශ්‍රී ලංකා රජයට අවශ්‍යව ඇත්තේ, නිරන්තරයෙන් වැඩි ණය ලබා ගැනීම සහ වත්මන් ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආධාර ඉල්ලා සිටීම වෙනුවට අභ්‍යන්තරව ආදායම් උත්පාදනය කිරීමේ සැලසුමකි.

ඉදිරි වසර පහ තුළ සිය ණය පියවීමට අවශ්‍ය වන ඩොලර් බිලියන 28 ස්වාධීනව සුරක්ෂිත කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට නොමැති බව IMF ගිවිසුමේ නිර්මාපකයෝ හොඳින් දැන සිටියහ. එබැවින්, කෙසේ වෙතත් අලුතින් ණය ගෙන පරණ ණය ගෙවීමේ චක්‍රය යළිත් ආරම්භ වනු ඇත.

ආර්ථිකය සක්‍රීය කිරීමට වත්මන් රජයට ඇති හැකියාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විශ්වාසයක් නොමැති බව පැහැදිලිය. ඉදිරි වසර පහෙන් පසුවත් ආර්ථිකයේ සියයට 3ක වර්ධනයක් පමණක් සිදුවනු ඇතැයි ඔවුන්ගේ අනාවැකිවලින් එය පැහැදිලි වේ. මෙවන් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් යටතේ, 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ ජනාධිපති වික්‍රමසිංහගේ අපේක්ෂාව දවල් දකින සිහිනයක් මිස අන් කිසිවක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ඍජුවම ශ්‍රී ලංකා රජයේ උරහිස් මත පැටවෙන බව වටහා ගැනීම ඉතා වැදගත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ ණය හිමියන් සමග සාකච්ඡාවල නිරත නොවනු ඇත. සාකච්ඡා සඳහා වගකීම ඇත්තේ ශ්‍රී ලංකා රජයට සහ අපගේ නීතිමය සහ මූල්‍ය උපදේශකයන්ටය. සාකච්ඡාවල ඵලදායී බව රඳා පවතින්නේ ඔවුන්ගේ කුසලතා මතය.

පිළිතුරු අවශ්‍ය එක් ප්‍රශ්නයක් නම්, ප්‍රතිවිපාක සම්පූර්ණයෙන් සලකා බැලීමකින් තොරව IMF ගිවිසුම අවසන් කිරීමට අප ඉක්මන් වූයේ ද යන්නයි. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හිමියන්ට සමානව සැලකිය යුතුය යන චීන ස්ථාවරය අප නොසලකා හැරිය අතර, එය චීන පෙරමුණේ යම් නොසන්සුන්තාවක් ඇති කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කිරීමට IMF සමග එකඟ වීමෙන් පසුව, රජය අපගේ අනෙකුත් ණය හිමියන්ට විවෘත ලිපියක් නිකුත් කරමින්, සියලු‍ම ණය හිමියන්ට සමානව සලකන බව ප්‍රකාශ කරනා ලදී.

කෙසේ වෙතත්, මෙම ඉක්මන් කැපවීම දැන් අපට ගැටලු‍වක් නිර්මාණය කර ඇත. කිසියම් ණය අඩු කිරීමක් සලකා බැලීමට අවශ්‍ය නම්, විදේශීය ණය හිමියන් විසින් දේශීය ණය හිමියන්ට සාපේක්ෂව සමාන සැලකිල්ලක් ඉල්ලා සිටින බව පැහැදිලිය. ඒ අනුව, ඌරාගේ මාළු ඌරාගේම පිට තබා කැපීමක් සිදුවනු ඇත.

නැවත වරක් මේ සංඛ්‍යා විමසා බලමු. මහ බැංකු වෙබ් අඩවියේ ඇති විස්තරවලට අනුව, 2023 මාර්තු වන විට, අපගේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 45.5ක් වූ අතර, අපගේ දේශීය ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 13.2ක් හෝ USD බිලියන 36ක් පමණ වේ. විදේශීය ණය හිමියන්ගෙන් ඩොලර් බිලියන 14ක අඩු වීමක් අපේක්ෂා කරන්නේ නම්, එය අපගේ සම්පූර්ණ වගකීම්වලින් සියයට30ක් නියෝජනය කරයි. දැන්, මෙම ණය හිමියන් දේශීය ණය හිමියන්ට ද සමානව සැලකීමට බල කළහොත් කුමක් සිදු වේ ද? සියලු‍ම ණය හිමියන්ට එක හා සමානව සලකන බව අප දැනටමත් විවෘතව ප්‍රකාශ කොට ඇති නිසා මෙය සාධාරණ අපේක්ෂාවකි.
මේ වන විට රජය මුහුණ දී සිටින උභතෝකෝටික ප්‍රශ්නය එය බව නොඅනුමානය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවන බවට ආර්ථිකය කළමනාකරණය කිරීමට වගකිව යුතු ඉහළ නිලධාරීන් කාලයක් තිස්සේ මහජනතාවට සහතික විය. කෙසේ වෙතත්, මේ වන විට එහි අසත්‍යතාව හෙළි වී තිබේ. ජනතාවට එවැනි සහතිකයක් ලබා දුන් අයම දැන් ඔවුන්ගේම වචන අනුභව කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ කරමින් සිටිති. එහෙත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණය හෙළි කිරීමට ඔවුහු තවමත් මැලි වෙති. විදේශීය ණය හිමියන්ගෙන් ආසන්න වශයෙන් සියයට 30ක අඩු වීමක් අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් දේශීය වශයෙන් ඊට සමාන සැලකීම ඉල්ලා සිටියොත් ඇති වන තත්ත්වය බරපතළය. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නම්, එය බලපාන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳ අප අවධානය යොමු කළ යුතුය. මහ බැංකුවේ මූලාශ්‍රවලට අනුව රුපියල් ට්‍රිලියන 13.2ක දේශීය ණයවලින් වැඩි ප්‍රමාණයක් භාණ්ඩාගාර බැඳුම්කර ආකාරයෙන් වන අතර, එය රුපියල් ට්‍රිලියන 8.7කි.

මීළඟ සැලකිය යුතු කොටස රුපියල් ට්‍රිලියන 4.1ක් වන භාණ්ඩාගාර බිල්පත්වලින් සමන්විත වේ. සේවක අර්ථසාධක අරමුදලේ (EPF) අරමුදල්වලින් ආසන්න වශයෙන් සියයට 90ක් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති බව ගණන් බලා ඇත. එබැවින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම රජය සමග ආයෝජනය කර ඇති සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් අර්ථසාධක අරමුදල්වලට බලපානු ඇත.

මේ වන විට රජය ගන්නා අවසාන ක්‍රියාමාර්ගය කුමක්දැයි අපි තවමත් නොදනිමු. එහෙත්, මේ තත්ත්වයෙන් පීඩාවට පත්වන පාර්ශ්ව සම්බන්ධයෙන් ඔවුන් විනිවිදභාවයෙන් කටයුතු කර නැති බව පැහැදිලිය. ප්‍රශ්නය වන්නේ මෙය වළක්වාගත හැකිව තිබුණා ද යන්නයි. පිළිතුර ඔව්. එය කළ හැකිව තිබුණේ වඩා හොඳ සාකච්ඡා උපායමාර්ග සමගය.

අපට වඩා විශාල ප්‍රශ්න ඇති තවත් බොහෝ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන විසඳුම් සොයාගෙන ඇත. මෑත උදාහරණවලට යුක්රේනය, ඉක්වදෝරය, චැඩ්, මොංගෝලියාව, ඉරාකය, පකිස්තානය සහ මෝල්ඩෝවා ඇතුළත් වේ. එහෙත්, ලංකාව සම්බන්ධයෙන් අප කළ සාකච්ඡා සාර්ථක වී නැත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් තමුන්ට ඡන්දය දුන් ජනතාව අමතක කොට ආණ්ඩුවේ ඕනෑම තීරණයකට පක්ෂපාතී වෙමින් ඔවුන්ගේ නොසැලෙන සහයෝගය දිගටම ලබා දෙනවා ද? ප්‍රතිවිපාකවල බර දරා සිටින ශ්‍රී ලාංකික මහජනතාවගේ ගැටලු‍ නොසලකා හරිමින්, සමගි ජන බලවේගයට නැවත වරක් කුමක් කරයි ද? අනෙක් විපක්ෂ කණ්ඩායම්වල ස්ථාවරය තවමත් අවිනිශ්චිතය. ඒ කෙසේ වෙතත්, ජනතාව පැත්තෙන් සිතනා මහජන නියෝජිතයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නැති බව නම් පැහැදිලිය.

ආචාර්ය නාලක ගොඩහේවා

(***)



අදහස් (0)

ආණ්ඩුවේ ණයට ජනතාවට බදු බර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site