ක්‍රමය ගැන පවතින විරෝධය ක්‍රම වෙනසකට මග පාදයි. මුල් බැසගත් ගතානුගතිකත්වයෙන් බැහැර වී අලුත් රාමුවකට ඇතුළුවිය යුතු බව මෑතක සිට අවධාරණය වන කරුණකි. අවස්ථා අහිමි සමාජයක් තුළ ක්‍රමය ගැන විරෝධතා ඇතිවේ. වෙනසක් ඇති කරන්නට බලකරන පීඩනයක් එයින් ඇති කෙරේ.

“සිස්ටම් චේන්ජ්” ඉල්ලන මතවාදය එහි ප්‍රතිඵලයකි. වෙනස්කම් ඇතිකරන තද වුවමනාව බැහැර කළ යුතු නැත. ඉල්ලා සිටින සමාජය හා සමානව මෙම වෙනස්කම් ඇති කිරීමෙන් ඇතිවිය හැකි අවදානම ගැන භීතියකින් පසුවන කොටසක් ද සිටින බව අමතක කළ යුතු නැත. ක්‍රමයෙන් නඩත්තුවෙමින් සිටින හා වෙනස්කම් ඇති කළහොත් අවස්ථා අහිමි වීම ප්‍රශ්නයක් කරගත් කණ්ඩායමක් ද ඇත. 

වෙනසක් ඉල්ලන අලුත් පරම්පරාව ඉලක්කකර තීරණ ගැනීම අවශ්‍ය කෙරේ. ජන සමාජය ඉල්ලන වෙනස නිර්මාණය කිරීමට පසුබිමක් සකසන වගකීමක් නායකයන්ට ඇත. ආගමික, සමාජ හා දේශපාලන නායකයන් පුළුල් දර්ශනයකට අනුව තීරණ ගත යුතුව තිබේ. දේශපාලනඥයන් සහ දේශපාලන ක්‍රම පිරිහී ඇති අතර පුද්ගලයන් ගැන බලාපොරොත්තු බිඳවැටී ඇත. නිදහසට පසු අද දක්වා රට පාලනය කළ පැලැන්තිය අනුගමනය කළ පිළිවෙළ පවතින මුහුණුවරට වගකිව යුතුය. අත්තිවාරම වෙනස්කර වෙනස් පදනමක් අලුතින් සකස් කිරීම සඳහා ක්‍රමවේද වෙනස් කරන සේ බලකරන ප්‍රජාව ගේ අදහස් බැහැර කළ යුතු නැත. 

ලෝකය පුරා පැන නැගී ඇති අරගලයක කොටසක් 

ලෝකයේ සෑම රටකම පාහේ ක්‍රම අසාධාරණය හෝ අයුක්තිය ගැන  විරෝධය පවතී. ඒවා නොයෙක් මුහුණුවරකින් පිටාරගැලීමක් සිදුවේ. සමාජයක් දැනුම්වත්වන විට, තාක්ෂණයෙන් දියුණුවන පසුබිම තුළ පවතින අවකාශය ගැන ප්‍රශ්න කෙරේ. වර්තමානයේ පවතින මාධ්‍ය භාවිතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කිරීමට භාවිතවන සමාජ මාධ්‍ය ප්‍රවණතා එහි විවිධ පැතිකඩ හුවා දක්වා මතවාදී අරගලය පෝෂණය කර ඇති බව දැක්විය හැකිය.  

සිස්ටම් චේන්ජ් ප්‍රවේශයට පෙර ශ්‍රී ලංකාව අනුගමනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ගැන විමසා බැලිය යුතුය. එයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. සමාජ අවශ්‍යතා සඳහා සංවිධිත පාලනයක් ඇතිකර ගැනීම අරමුණු කරගෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අනුගමනය කෙරේ. එහි විවිධ දුබලතා ඇත. ඒවා වෙනම සාකච්ඡා කළ හැකිය. ජනතාවගේ ඡන්දයෙන් පත්කරන නියෝජිතයන් සමාජයේ අභිලාශ මුදුන්පත් කිරීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පත්කරගත් ආණ්ඩුවල පාලනය අසාර්ථකවන විට ජනතාව කරන්නේ ඊළඟ ඡන්දයෙන් අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගැනීමය. පසුගිය දශක ගණනාව තුළ විවිධ හේතු අනුව දිගින් දිගටම මහජන නියෝජිතයන් සහ දේශපාලන ක්‍රමය මහජනතාවගේ අභිමතාර්ථ ඉෂ්ට කරන්නට සමත් වූයේ නැත. දූෂිත, බලලෝභී සහ අකාර්යක්ෂම ව්‍යුහයක් සේ නිර්වචනය වී තිබේ. බලය ආරක්ෂා කරගැනීම සඳහා අනුගමනය කරන ලද පටු ක්‍රියාමාර්ග මහජනතාව ප්‍රතික්ෂේප කර ඇත. 

පසුගිය දා ජීවිතක්ෂයට පත් ඉන්දියාවේ ප්‍රකට ඡන්දදායකයකු වන ශයාම් සරන් නේගි මෙය ඔහුට ගැළපෙන පරිදි අර්ථ දක්වා ඇත. “පුරවැසියකුට නිදහසේ ඡන්දය භාවිතා කරන්නට අයිතියක් ඇති අතර ඉන්දියාව දියුණු කළේ නරක පුද්ගලයන් දේශපාලනයෙන් ඉවත් කිරීමෙන් බව ඔහු පෙන්වා දෙයි. දක්ෂතම පිරිස දේශපාලනයට ඇතුළු කළ යුතු බව දක්වා ඇත. ඒ තමන් වැනි ඡන්ද දායකයන්ගේ රාජකාරිය බව වයස අවුරුදු 105 ක් සම්පූර්ණ වූ දිනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේය. පසුගිය දා ඇමරිකාවේ පැවැති අර්ධ කාලීන මැතිවරණය ද කදිම සාක්ෂියකි.

මෙම මැතිවරණයේ ප්‍රතිඵල එන්නට කලින් නැවත වතාවක් අන්තවාදී දේශපාලනයකට ඇමරිකාව තල්ලුවිය හැකි බවට අවදානමක් තිබුණි. වැඩිහිටි සමාජය එය සංවාදයකට ලක් කළේය. ඩිමොක්‍රටික් හා රිපබ්ලික් පක්ෂ දෙකෙන් මධ්‍යස්ථ, මතවාදී පුද්ගලයන් පත්කර එවන්නට ඇමරිකානු ඡන්දදායකයන් සමත් වූ අතර එය ජාත්‍යන්තර අවධානයට ලක් වූ කරුණකි. රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගුණාත්මක තැනකට එසැවීම වන අතර මධ්‍යස්ථ, සමාජ ගෞරවය දිනාගත හැකි පිළිගත් චරිත පාලනයට සම්බන්ධකර ගැනීමය. ධනය, බලය, පෞද්ගලික වාසි හෝ නොසලකා අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණ ගත හැකි පරිනත පුද්ගලයන් තෝරා ගැනීම සිස්ටම් චේන්ජ් කිරීමක පළමු පියවර වනු ඇත. 

ක්‍රම වෙනසක් සඳහා ජනතාව සතු පරමාධිපත්‍ය 

මැතිවරණ පැවැත්වීම ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරයි. තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමට මහජනතාවට වරමක් තිබිය යුතුය. පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීමේ ක්‍රමවේද තුළ නොයෙක් ප්‍රමාද පසුගිය කාලයේ හට ගැනිණ. ව්‍යවස්ථා සංශෝධන, මැතිවරණ සීමා වෙනස් කිරීමේ විධිවිධාන, කොවිඩ් තත්ත්වය හා ආර්ථික ප්‍රශ්න ද එයට බලපා තිබේ. මහජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට සමත් ජනතා නියෝජනයක් රට තුළ නැති බවට මතයක් සමාජයේ තහවුරු වීම මෙහි ප්‍රතිඵලයකි. ජනතා අරගලයක් ඇතිවීමට හේතුව ද එය තුළ තිබේ. අරගලය ඇතිකරන ක්‍රම වෙනස ආවේග පමණක් නොවේ. අත්දැකීම් බහුල, විවිධ කෝණවලින් ප්‍රශ්න දෙස බලන්නට හැකි පිරිසක් ද ‘සිස්ටම් චේන්ජ්‘ කිරීම සඳහා සම්බන්ධ කරගත යුතුය.

ලෝකයේ සිදු වූ සහ සිදුවෙමින් පවතින වෙනස්කම් ගැන පොදු ජනතාවට අවබෝධයක් ඇත. ඉතිහාසයේ සිද්ධිවලින් පදම් වූ සංවේදී සමාජයක් අප අභිමුවෙහි සිටී. ත්‍රස්තවාදයක් දක්වා පෝෂණය වූ උතුරේ සහ දකුණේ කැරළි එයට සාක්ෂි සපයයි. පාස්කු ප්‍රහාරයේ අභ්‍යන්තරය ද හඳුනාගත යුතුය. ඉවැසිය නොහැකි පීඩනයකට ගොදුරු වූ පිරිසක් යුක්තිය හා සාධාරණත්වය සඳහා සටන් කර ඇත. ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කළ නමුත් ඒවා ඇති කරන්නට බලපෑ සියුම් හේතු පරාජය වී නැත. බහුතරයකගේ හඬ පමණක් නොව හඬක් නැති මිනිසුන්ගේ අදහස්වලට ද අවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ තිබිය යුතුය. 

ගතානුගතික ක්‍රම වෙනස් කිරීමට ක්‍රමානුකූල පිළිවෙතක් අවශ්‍යය. ඉතා ඉවසිලිවන්තව තීරණ ගත යුතුව ඇත. එක දවසකින් සියල්ල වෙනස්කර අලුත් ක්‍රමයක් බිහි කළ නොහැක. ක්‍රමය අතුගා දමා අලුතින් ම ව්‍යුහයක් ඇති කිරීමට යෝජනා කරන පිරිසක් ද ඇත. ‘සිස්ටම් චේන්ජ්’  අවශ්‍ය නමුත් පැරණි සමාජයක වෙනස් ව්‍යුහයක් ක්ෂණිකව බිහි කළ නොහැක. දීර්ඝ ඉතිහාසයක් සහිත සමාජ ප්‍රවාහයක් වෙනස් කිරීමේ දී පරෙස්සමෙන් තීරණ ගත යුතුය. මහ පාරට බැස කරන අරගලයකින් කෙළවරක් දැකිය නොහැක. 

උගත් පාඩම් අනාගතය නිර්මාණය කරනු ඇත

ක්‍රම වෙනස්කම් සඳහා වහාම බලපෑම් සිදුවූ සමාජ සම්බන්ධ උදාහරණ අප අවට තිබේ. විප්ලවයට පසු සමාජය වෙනස් කිරීම අරමුණු කරගෙන චීනයේ ආරම්භ කළ සංස්කෘතික විප්ලවය අසාර්ථක බව පිළිගෙන තිබේ. විනාශයක් හා විශාල පලිගැනීමක් එහි දී සිදුවූ බව සැලකේ. 1975-79 කාලය තුළ කාම්බෝජියාවේ පොල්පොට් පාලනය ද ක්‍රමය වෙනස්කර බිංදුවෙන් ආරම්භ කරන්නට වෑයම් කළේය. අලුත් පරිච්ඡේදයක් සේ හිතන්නට බල කළ අතර එය සාර්ථක වූයේ නැත. බලහත්කාරය සමග ඇති වූ අරගල මිලියන දෙකක පමණ පිරිසකගේ ජීවිත අහිමි කළේය. අන්තවාදයෙන් ස්වර්ණමය යුගයක් බිහි නොකෙරෙන බව අතීත අත්දැකීම් ඔප්පු කොට තිබේ.

දේශපාලනඥයන් හා දේශපාලන ක්‍රමය ගැන සමාජයේ පවතින පිළිකුලට හේතු සොයාබැලීම වැදගත්ය. ක්‍රමය වෙනස් කරන සේ බලකිරීම තුළ පිරිහීමක තරම විද්‍යමාන වේ. විශ්වාසය බිඳවැටී ඇත. යාන්ත්‍රණය දුබල වී තිබේ. ජනතා වරම බලයක් ලෙස ලබාගන්නා දේශපාලනඥයන් අභිමතය පරිදි ක්‍රියාකිරීමෙන් සමාජයෙහි විශාල ප්‍රශ්න නිර්මාණය කර තිබේ. ප්‍රතිපත්ති වෙනුවට දේශපාලනඥයන්ගේ අභිමතයට තැනක් ලැබී ඇත.

බදුවලින්  විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කරන නමුත් ඉටුකරන කාර්යභාරය ගැන ප්‍රසාදයක් නැත. සංවර්ධන කටයුතු අඩාල වී තිබේ. තීරණගැනීමේ අසමත්භාවයක් පවතී. ජනතාව ඉල්ලන වෙනස්කම් කරන්නට රාජ්‍ය ප්‍රතිපත්තිවලට හැකියාවක් නැත. රජයේ සේවකයන්, නිලධාරීන් දේශපාලන සංස්කෘතියකට ගොදුරු වීම ප්‍රශ්නයකි. සෑම දෙයකටම දේශපාලනඥයන් වෙත ගමන් කරන යුගය අවසන් විය යුතුය. සමාජයීය, ආයතනික බලතල ආණ්ඩු අතට ගැනීමෙන් ගැටලුව තවත් සංකීර්ණ වී තිබේ.

දූෂණය තුරන් කිරීමෙන් ක්‍රමය අලුත් කළ හැකි බව කාලාන්තරයක් තිස්සේ දේශපාලනඥයන් ප්‍රකාශ කරන කරුණකි. දේශපාලන පක්ෂ හා දේශපාලනඥයෝ දූෂණ හා වංචා ගැන විශාල ආන්දෝලන ඇතිකරන අතර මාධ්‍ය මගින් විශාල වශයෙන් ප්‍රචාරය කරයි. දූෂණය පිටුදැකිය යුතුය.  

මහජනතාවගේ පහසුව සිස්ටම් ජේන්ජ් අරගලයේ කොටසකි

තාක්ෂණික දියුණුව සමග ඇතැම් ක්ෂේත්‍රවල විශාල වෙනස්කම් සිදුවී ඇත. ජනතාවට පහසුවක් ඇතිවේ. සන්නිවේදනය එවැනි අංශයකි. දුරකතන භාවිතාව වරප්‍රසාද සහිත පැලැන්තියට පමණක් සීමා වූ කාලයක් විය. ස්මාර්ට් දුරකතනය හා අන්තර්ජාලය නොහඳුනන්නෝ අද නැත. ආණ්ඩුවේ මැදිහත්වීමක් රහිතව පෞද්ගලික අංශයෙන් සිදුවූ පරිවර්තනයකි. මෙවැනි වෙනස්කම් ඛනිජ තෙල්, විදුලිය, ගෑස් වැනි අංශවලට ද අදාළය.

ආණ්ඩුව පමණක් නොව පෞද්ගලික අංශය, ව්‍යවසාය හා ආයෝජන යනාදිය ද සිස්ටම් චේන්ජ් කිරීමේ වුවමනාවේ කොටසකි. ආණ්ඩුවෙන් යැපෙන්නේ නැති ස්වාධීන පෞද්ගලික අංශයක් රටට අවශ්‍යය. ඒකාධිකාරයක පවතින ක්ෂේත්‍රවලින් ජන ජීවිතය දුෂ්කර කර තිබේ. තරඟකාරීත්වයක් ඇතිකළහොත් පහසුවක් ඇතිවේ. තමන්ට අවශ්‍ය තැනකින්, අවශ්‍ය මිලකට විදුලිය හෝ ඛනිජ තෙල් මිල දී ගැනීමට අවකාශයක් ඇති කිරීම රජය සතු මර්මස්ථානවල අයිතිය අත්හැරීමක් සේ අර්ථ දැක්වීම සුදුසු නැත. ක්‍රම වෙනසට එයත් ඇතුළත්ය. දේශපාලනඥයාට බලය නොලැබෙන තැනට පරිසරය සකස් කිරීමකි. 

ආර්ථික, කාර්මික හා නිෂ්පාදන ව්‍යුහය තුළ සිය බලය හැසිරවිය හැකි පරිදි දේශපාලනඥයන් ආරක්ෂාකරන අධිකාරී මිථ්‍යා ව්‍යුහය හා සීමා ඉවත්කිරීම සිස්ටම් වෙනස් කිරීමකි. පවතින, පැරණි ආකෘතියෙන් යැපෙන, කණ්ඩායම මෙකී ව්‍යුහය වෙනස් කරන්නට කිසිසේත් ඉඩ දෙන්නේ නැත. දේපොල විකිණීම, විජාතිකකරණය යනාදී වශයෙන් අර්ථ දක්වා ජනතාව අන්ධකාරයට තල්ලු කරමින් සිටී. රට තුළට ධනය, තාක්ෂණය සහිත ආයෝජන ඇතුළු කිරීමත්, දේශීය ව්‍යවසාය පැතිරවීමත් සිස්ටම් වෙනසට ඇතුලත් කළ යුතුය. අලුත් ආදායම් මාර්ග, දේශපාලනඥයන්ට අත තබන්නට නොහැකි පරිදි ව්‍යවසාය නිර්මාණය අරගලයේ කොටසකි.

මෙරට දේශපාලන පක්ෂ ගෝත්‍රික ආකාරයකට කටයුතු කරමින් සිටී. පක්ෂය තමන්ගේ අනුගාමිකයන් බලාගනී. ඒ සඳහා රජයේ ආයතන හා ව්‍යවසාය හසුරුවයි. මෙම රාමුව බිඳ දැමීම අවශ්‍යය. ආණ්ඩුවක් පත්කර ගැනීම, පක්ෂයකට සේවය කරන කණ්ඩායමක් බලයට පත් කිරීම නොවේ.

බලයට පත්වන ඇමැතිවරුන්ගේ වගකීම පාක්ෂිකයන් බලාගැනීම විය යුතු නැත. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආණ්ඩු පත්කරන, දේශපාලනඥයන් පාර්ලිමේන්තු යවන ක්‍රමයකින් පලක් නැත. දේශපාලනඥයන් සහ ඡන්දදායකයන් අතර අලුත් සම්මුතියක් අවශ්‍යය. ක්‍රමය වෙනස් කරන්නට ගෙන යන අරගලය තුළ දේශපාලනයෙන් යැපීම අවසන් කළ යුතුය. පොදු අපේක්ෂා සාක්ෂාත් කරගැනීමේ දී සමාජයට ද විශාල වගකීමක් තිබේ. එ් සඳහා සිවිල් සමාජය හා සමානව ව්‍යවසායකත්වයට ද අයිතියක් ඇත. 

පරිවර්තනයකින් තොර ඉදිරි ගමන ප්‍රායෝගික නැත

ජන සමාජයක් එකම තැන පවතින්නේ නැත. දිනපතා වෙනස් වේ. අලුත් ආකෘති සැකසේ. දැනට පවතින තාක්ෂණය හා වාණිජ පසුබිම එය වේගවත් කර ඇත. දූපතකට කොටුකර තබාගැනීම අදට වලංගු සාධකයක් නොවේ. ලෝකයේ සිදුවන අලුත් අත්දැකීම් ලාංකේය සමාජයට ද අවශ්‍යය.

රට තුළ අවස්ථා ඇති නොවන හා පවතින අවස්ථා සීමාසහිත වීම ඉදිරියේ වෙනත් රටකින් විසඳුම් සොයන සමාජයක් බිහිවේ. එහි අනෙක් පැත්ත සිංගප්පූරුවේ පවතී. විදේශ සේවයේ නිරත නිලධාරීන් පවා වෙනත් රටක පදිංචියට කැමැති නැත. විදේශයකට වඩා වරප්‍රසාද රට ඇතුළත දී ලැබේ. එරට නායකයෝ දිග කාලයක් ගැන අවධානය අනුව සැලසුම් කර ඇත. සිංගප්පූරුවේ භාෂා අධ්‍යාපනය ගැන තීරණ ගත යුතු අවස්ථාවක එම තීරණය ගත්තේ ආණ්ඩුව නොවේ.

ජනතාවට තීරණ ගන්නට ඉඩ දුන්නේය. සංවර්ධනය සඳහා අනාගත දැක්මක් ඇතිව ක්‍රියා කළේය. එක පරම්පරාවක් තුළ දැවැන්ත පරිවර්තනයක් සිදුවී තිබේ. ආර්ථික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති, දේශපාලනය නිසි සේ තුලනය කරගැනීම එරට ඉදිරි ගමන සාර්ථක කර ඇත.

සිස්ටම් වෙනස්කරන අරගලය හා සමාන්තරව ශ්‍රී ලංකාව පරිවර්තනය කළ යුතු පැති ගැන සාධනීය සංවාදයක් පැවැත්විය යුතුය. රට එකතු කළ යුතුව ඇත. පක්ෂ එකතු වී ආණ්ඩුවක් හැදීමෙන් රටක් ගොඩනැගෙන්නේ නැත. රට හදන්නට අවශ්‍ය කාලීන ප්‍රතිපත්තිවලට වෙන වෙනම සිටින පක්ෂවලට ද එකඟ විය හැකිය. දැනට ඇති අභියෝග ගැන අවබෝධයක් අපට තිබේ. අද නොලැබෙන විසඳුම් හෙට බලයට පත්වන ආණ්ඩුවකට පැවැරෙන වගකීමකි.

තවත් සංකීර්ණ මුහුණුවරක් ගනී. මෑත කාලය තුළ සිදුවූයේ එයයි. අද අකුල් හෙලීමෙන් පසු හෙට පිළිතුරු සෙවීම පහසු නැත. නිදහස ලැබුණ දා සිට පැවැති දේශපාලනයේ දී ක්‍රමය වෙනුවට සිදුවූයේ ආණ්ඩු වෙනස් කිරීමයි. ඒවායෙන් බලයට පත් වූයේ පාක්ෂිකයන්ට සේවය කරන නියෝජිතයන්ය. ධනවාදී වාමාංශික හෝ සමාජවාදී ක්‍රම අතර පවා නඩත්තු කළේ පැලැන්තියක බලය සඳහා ගමන් කරන ක්‍රමයක් බව සඳහන් කළ යුතුය. 

බලය සඳහා ආණ්ඩු වෙනස් කරන, එම ආණ්ඩුවල බලයෙන් ගෝත්‍රික දේශපාලනයක යෙදෙන යුගය අවසන් කිරීම අවශ්‍යය. අසාර්ථක, මිථ්‍යාවෙන් ජනතාව මුළා කරන ක්‍රම වෙනුවට යථාර්ථයට මුහුණදීම වැදගත්ය. ආගමික නායකයන්, දේශපාලනඥයන්, පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සිස්ටම් චේන්ජ් සඳහා අවශ්‍ය ආකල්ප වෙනසකට යා යුතුව ඇත. විකල්ප ක්‍රම අත්හදා බැලිය යුතු අතර එවැනි ව්‍යුහයක් නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකගේම බලකිරීමක් අවශ්‍යය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥ වෙමි.

මිලින්ද මොරගොඩ