රජය මගින් 2006 වසරේ සිට 2021 වසර දක්වා සිදුකර ඇති රුපියල් කෝටි අටලක්ෂ විසිදහසකට ආසන්න ආයෝජන ප්‍රමාණයකින් මූල්‍ය හෝ මූල්‍ය නොවන කෝටි පන්ලක්ෂ හතළිස් දාහකට ආසන්න වත්කම් ප්‍රමාණයක් හඳුනාගත නොහැකි යැයි හෙළිවී තිබේ. මහා භාණ්ඩාගාරය 2021 දෙසැම්බර් 31 ට අදාළ වන සේ නිකුත් කර තිබෙන රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනය ඇසුරෙන් කළ විමර්ශනයේ වාර්තාවෙන් මේ කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව ප්‍රතිශතයක් වශයෙන් සැලකූ විට බහිරවයාට ගොදුරුව තිබෙන වත්කම් ප්‍රමාණය සියයට 66කි.

අදාළ විගණනයට අනුව 2005 සිට 2014 දක්වා මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය නොවන වත්කම් කිසිවක් ගිණුම් ගතකර නැත. එසේ ගිණුම් ගතකිරීමක් සිදුව ඇත්තේ 2015 වසරේ සිට බව ද සඳහන් වේ. මේ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරයට නියෝගයක් නිකුත් කරමින් මූල්‍ය හා මූල්‍ය නොවන සියල්ල ගිණුම්ගත කළ යුතුව ඇති බවට දැනුම් දී තිබේ. එවැනි දැනුම්දීමක් ඊට පෙර සිදුනොවීම කිසියම් අතපසුවීමක් ද නැතහොත් එවැන්නක අවශ්‍යතාවක් නොතිබිණි ද යන්නත් ඒ සමග සඳහන් වූවා නම් වඩාත් යහපත් බව ද පෙන්වා දිය යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය යටතේ ලංකාවේ පිහිටුවා ගන්නේ ශක්තිමත් ආණ්ඩු බවට පවතින විශ්වාසය මිථ්‍යාවක් බවට මෙය තවත් එක් උදාහරණයකි. මේ රටේ දශක තුනකට ආසන්න කාලයක් යුද්ධයක් පැවතුනේ විධායක ජනාධිපති ක්‍රමය යටතේය. නිදහසින් පසු ආර්ථිකයේ සිදුවූ දැවැන්තම කඩා වැටීම සිදුවන්නේ ද එම පාලන ක්‍රමය පවතිද්දීමය. මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කෙරුණත් වංචාව සහ දූෂණය ඉහ වහා යාම සිදුවූයේ ද විධායක ජනාධිපතිවරුන් රට පාලනය කළ අවස්ථාවල දී බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

එපමණක් නොව අත්‍යවශ්‍ය සේවා සපයන විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් වැනි සුවිසල් රාජ්‍ය ආයතන බිලියන ගණනින් පාඩු ලැබීම් සිදුවූයේ ද එම පාලන ක්‍රමය යටතේමය. රුපියල් කෝටි පන්ලක්ෂයකට අධික දැවැන්ත මූල්‍ය හා මූල්‍යමය නොවන ආයෝජන වත්කම් මකර කටට ගොස් තිබෙන්නේ ද විධායක ජනාධිපතිවරුන් මේ රට පාලනය කරද්දීමය.

මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ තම සර්වබලධාරී බලතල ක්‍රියාත්මකව පවතිද්දී මේ ආකාරයට ගිණුම්ගත නොකර කෝටි ලක්ෂ ගණනින් ආයෝජන මකර කටට ගියේ කෙසේ ද යන්න මෙතෙක් කාලයක් සොයා නොබැලීමයි. රුපියල් කෝටි අටලක්ෂයකට අධික ආයෝජනවලින් ඉදිකිරීම්, මිල දී ගැනීම් හෝ වෙනත් ආයෝජනවලින් එකතු කරගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් වශයෙන් හඳුනාගත නොහැකි සියයට 66ක ආයෝජන සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුදැයි හෙළිකර ගැනීමට දැන්වත් අවශ්‍ය පියවර ගත යුතුය. 

රට දැන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ පෙර ගමන්කරුවන් වී සිටින්න ඇත්තේ මෙසේ කෝටි ලක්ෂ ගණනින් බහිරවයාට බිලිදුන් දේශපාලකයන් සහ ඔවුන්ගේ නිලධාරීන් බව බැලූ බැල්මට පෙනී යයි. ඒ සම්බන්ධයෙන් අදාළ විමර්ශන කඩිනමින් ආරම්භ වනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි. ලියැවිල්ලක් පවා නොමැතිව අස්ථානගත වී තිබෙන්නේ මහජනතාව සතු මුදල් සහ දේපළයි. ඒ තත්ත්වය යටතේ ඒවායේ භාරකරුවන් වශයෙන් කටයුතු කළ යුතු විධායක ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩු කටයුතු කර ඇත්තේ අඳ ගොළු බිහිරන් වශයෙන් බව කනගාටුවෙන් වුව ද පෙන්වාදීමට සිදුව තිබේ.

2009 වසර දක්වා රටේ යුද්ධය පැවති බැවින් එම කාලසීමාව අතහැර දැම්මත් තවත් වසර 10 කට ආසන්න කාලයක් ඒ ගැන අවධානය යොමු නොවීමත් අවාසනාවකි. රටේ මහා පරිමාණයෙන් ආයෝජන ප්‍රවර්ධනයක් සිදුවූයේ එම කාලයේ බවත් මුඩුබිමක් වී තිබූ ශ්‍රී ලංකාව වැඩබිමක් බවට පත් කළේ තම රජය බවත් ඒ කාලයේ උදම් ඇනූ ඇමැතිවරුන් තමන්ගේ රෙද්ද පල්ලෙන් කෝටි ලක්ෂ ගණනින් ආයෝජන බහිරවයාට බිලිවෙනු නොදැන සිටීම ද එක අතකින් මහා ප්‍රාතිහාර්යයකි. මේ ප්‍රාතිහාර්යයේ බලපෑමෙන් ඇතැම් මැති ඇමතින් බලවතුන් සහ ඔවුන්ගේ ගජ මිතුරන් අතරේ පොතේ නොලියැවුණු මූල්‍ය හා මූල්‍යමය නොවන ආයෝජන බෙදී ගියාදැයි කෙනකුට සැක පහළ වීම ද සාධාරණය.

මේ රටේ මහා පරිමාණයෙන් වංචා සහ දූෂණ සිදුවූ බවට දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබේ. මහා භාණ්ඩාගාර ප්‍රකාශනය පදනම් කරගනිමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාව එසේ වංචා සහ දූෂණ මහා පරිමාණයෙන් සිදුව ඇති බවට ප්‍රබල සාක්ෂියකි.

එම සාක්ෂි ඔස්සේ යමින් වැරදිකරුවන් සොයාගැනීම මෙවැනි සිද්ධි ඉදිරි කාලයේ සිදුනොවීමට හේතුවනු ඇත. එසේ නැත්නම් විගණකාධිපති දෙපාර්තමේන්තුව එවැනි වාර්තා නිකුත් කිරීමෙන් වැළැක්විය යුතු බවට නියෝග කර එහි කට වසා දැමිය හැක. වත්මන් ආණ්ඩුව මේ දෙකෙන් තෝරා ගන්නේ කුමක් ද යන්න රටේ ජනතාව බලා සිටින බව ද සඳහන් කළ යුතුය.

(***)