(අංජුල මහික වීරරත්න)

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

මන්නාරම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඉන්දීය රජයේ ප්‍රදානයකට අනුව රුපියල් මිලියන 600ක වියදමින් ඉදි කිරීමට නියමිත මෙම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සියලු නවීන පහසුකම් වලින් සමන්විතය. 2028 වසරේ පළමු කාර්තුවේ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු මන්නාරම ජනතාවට කොළඹ ඇතුළු ප්‍රධාන නගර කරා  ගමන් කිරීමකින් තොරව හදිසි අනතුරු සහ අනෙකුත් විශේෂඥ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර මීට සමගාමීව මන්නාරම දිස්ත්‍රික් රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාලීමටද රජය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දීමට නියමිත මන්නාරම ප්‍රදේශය දියුණු වීමත් සමග එම ජනතාව වෙනුවෙන් ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇති බවයි. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” උදා කර දීමේදී   මිලියන 21.7ක් වූ මේ රටේ සමස්ත පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න, නිරෝගීමත් ජීවිතයක් උරුම කර දීමට රජය කැප වී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා:-

මන්නාරම දිස්ත්‍රික්කය අපේ ජාතික ආර්ථිකයට වැදගත් පංගුවක් ලබා දීමට නියමිත ප්‍රදේශයක්. දැන් වගේම ඉදිරියේද දේශීය සහ විදේශීය සංචාරකයින් විශාල වශයෙන් මේ ප්‍රදේශයට පැමිණේවි. ප්‍රවාහන පහසුකම් දියුණුවීමත් සමග මන්නාරම ප්‍රදේශය ආර්ථික වශයෙන් ඉහළට පැමිණේවි. එවන් අවස්ථාවක මෙම ප්‍රදේශයේ සහ මෙම ප්‍රදේශයට පැමිණෙන ජනතාවට ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා මන්නාරම රෝහලේ සේවා තත්ත්වය උසස්වීම වැදගත් වෙනවා. 

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.