විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට විවිධාකාරයේ අදහස්, තර්ක ඉදිරිපත් වෙමින් තිබේ. විවිධ පාර්ශ්වවල අරමුණු හා ඉලක්ක අනුව ඒවා ගොඩනැගෙමින් තිබෙන ස්වරූපයක්ද දක්නට පුළුවන. විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් වෙනස් චිත්‍රයක් ජනතාව අතර ගොඩනැගීමේ උත්සාහයක් මේවායෙන් ප්‍රකට කරන බව ගැඹුරින් විමසීමේදී පැහැදිලි වන්නකි. දහනව වැනි සංශෝධනය ගෙනඒමේ අරමුණ වූයේ කුමක්ද? සියලු බලතල අගමැතිවරයාට පවරාදීම ඒ අයගේ අරමුණ වී තිබුණි. අද විසිවැනි සංශෝධනයට එරෙහිව කෑ ගසන අය එදා දහනව වැනි සංශෝධනයේ මුල් කෙටුම්පතට අවධානය යොමු කළාද? අගමැතිවරයාට බලය පැවරීම හොඳ වන්නටත් ජනාධිපතිවරයාට බලය ලබාදීම නරක් වන්නටත් හේතු පහදාගත යුතුය.
එදා මේ ලියැවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට ඉදිරිපත් වූ මතයද වැදගත්ය. අගමැතිවරයාට දහනවයෙන් යෝජනා වී තිබූ සියලු බලතල ලබාදිය නොහැකි බව එදා ප්‍රකාශ වූවේය. ඒ වගේම එවන් බලය පැවරීමකට ජනවරමක් ලබාදී නැති බවද පෙන්වා දුන්නේය.
දහනවයෙන් යෝජනා වී තිබූ ආකාරයේ අගමැතිවරයකු පත් කිරීමක් වෙනුවෙන් මැතිවරණයකට ගොස් නැති බව පැහැදිලි කර තිබුණි. යම් යම් වගන්ති සංශෝධනය කරන්නේ නම් මහජනයා හමුවට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දන්වා තිබුණේ නිකම්ම නොවේ. මෙයින් පැහැදිලි වන්නේ ජනතා කැමැත්තට පිටින් වැඩ කිරීමේ හැකියාවක් නොමැති බවය. ජනමත විචාරණයකින් තොරව අගමැතිවරයාට දහ නවයෙන් යෝජනා වූ බලය ලබා ගැනීමට නොහැකිවීම නිසා එකී වගන්ති ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය. ඒ වගේම තුනෙන් දෙකේ බහුතරයෙන් පමණක් සංශෝධනය කළ හැකි ව්‍යවස්ථාමය කරුණු පමණක් සංශෝධනයට පෙළඹුණේය. එහෙත් මේවා අනාවරණය කළේ නැත.
ජනාධිපතිවරයා පත්වූයේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. ජනාධිපතිවරණයේදී ජනතාව හමුවේ තැබූ කාරණා ඉටු කිරීමට ජනතාව බලය ලබාදුන් බව පැහැදිලිය. ජනාධිපතිවරයාට බලය ලැබුණත් දහනව වැනි සංශෝධනයෙන් නිර්මාණය කර තිබූ පසුබිම රට ඉදිරියට ගෙනයාමට බාධාවක් වූයේය. මේ නිසා පසුගිය මහ මැතිවරණයේදීත් ඊට පෙරත් ජනාධිපතිවරයාත් ආණ්ඩු පාර්ශ්වයත් දිගින් දිගටම එම කරුණු ජනතාවට පැහැදිලි කළ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. දහනව වැනි සංශෝධනය ඉවත් කිරීමේ වුවමනාව ජනතාව හමුවේ තැබුවේය. ඒ වගේම පසුගිය මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේද දහනව වැනි සංශෝධනයයි. තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙනි. ඒ වගේම රට සංවර්ධනයට ඇති බාධක ඉවත් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණි. ඒ කෙරෙහි ජනතාව විශ්වාසය තබා ජනවරම ලබාදී තිබේ. ජනතාව මෙලෙස විශ්වාසය තබා ඇත්තේ ඇයිදැයි අවධානයට ගත යුතුය.
දහනව වැනි සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ මැවූ චිත්‍රය ඉන්පසුව තිබුණාද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා දහනව වැනි සංශෝධනය සම්බන්ධව උනන්දූ වූවේ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් පුරවැසියන් යැයි කියාගත් කණ්ඩායම්ය. ඔවුන්ට අවශ්‍ය වූයේ තම මනෝ ලෝකවල තිබූ ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත කිරීමය. දහනවය එළි දැක්කේ එම ක්‍රමයට අනුවය. එහෙත් එය මේ මහ පොළොවේ පැළ කිරීමට නොහැකි තත්ත්වයක් තිබුණි. දහ නවයෙන් ඇති කළ ව්‍යවස්ථාදායක සභාව කුමක්ද? අගමැති සහ විපක්ෂ නායක මෙහි සාමාජිකයෝ වූහ. අගමැතිගේ වුවමනාවට එදා පත්කරගත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ හරි නියෝජනයකින් පත්වූ අයෙකු නොවේ. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි මන්ත්‍රී පිරිසක් සිටි පක්ෂයේ අය පැත්තකට තල්ලු කළේය. අගමැතිවරයාට පූර්ණ බලයක් ලබාදීමට එදා කටයුතු කළේ ඒ ආකාරයෙනි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථ නිරූපණ නිසා එය වැළැකී ගියේය. විසිවැනි සංශෝධනය තේරුම්ගත යුත්තේ මෙම පසුබිමේය.
අද ක්‍රියාවට නැංවෙමින් තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයාට ලැබී ඇති වරමය. දහනවයෙන් නිර්මාණය කළ ව්‍යවස්ථාදායක සභාව විකෘතියකි. අගමැතිවරයා සමග කටයුතු කිරීමට අවශ්‍ය පුද්ගලයන් පත්කර ගත්තද තිදෙනකු පාර්ලිමේන්තුවට පිටින් පත්කර තිබුණි. මෙයින් නිවැරැදි නියෝජනයක් සිදුවූයේ නැත. පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියේදී මේ විකෘතිය හොඳින්ම දිස්විය. පසුව විවිධ චෝදනා එල්ල වූ මේ පොලිස්පතිවරයා පත්වීම වැළැක්වීමට එදා අධිකරණ ඇමැතිවරයා විශාල සටනක් කළ බව රටට අනාවරණය වූයේය. කුමන විරෝධතා මධ්‍යයේ වුවත් එදා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් පත්කළ පොලිස්පති නිසා රටට වූ හානිය කොතරම්ද? ඔහුගේ නොසැලකිල්ල හේතුවෙක් අදටත් කී දෙනෙකු දුක් විඳිනවාද? පාස්කු ප්‍රහාරය සුළුවෙන් තැකිය හැකිද? පොලිස්පති රිමාන්ඩ් භාරයට පත්වුවත් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට නොහැකි වාතාවරණය නිර්මාණය කළේ දහනව වැනි සංශෝධනයයි. මෙවන් පසුබිමක රටකට ඉදිරි ගමනක් තිබේද? මේවා වෙනස්වීමේ වුවමනාවක් නැතිද?
කවුරු කුමන තර්ක ඉදිරිපත් කළත් රට අරාජික වූයේ දහනව වැනි සංශෝධනය හේතුවෙන් බව මේ රටේ බහුතරයේ පිළිගැනීම වී තිබේ. වසර හතර හමාරක් තිස්සේ මේ රට අගාධයට ගමන් කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ජනපතිත් අගමැතිත් එකිසිදු එකඟතාවකින් තොරව වැඩ කරන පසුබිමක් නිර්මාණය කළේ දහනවයයි. එසේ නම් එම තත්ත්වය වෙනස් කිරීම රටේ අවශ්‍යතාවක් බව පැහැදිලිය.
ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීමේ වරද කුමක්ද? ව්‍යවස්ථාදායක සභාවේ සිටි සියලු ප්‍රධානීහු පාර්ලිමේන්තු සභාවේද සිටිති. මේ සාමාජිකයන් පත්වීමද ඉතා සාධාරණව සිදුවන්නක් බව කරුණු අධ්‍යයනය කරන විට පෙනී යන්නකි. ඒ වගේම පාර්ලිමේන්තු සභාව පත්කළ පසු “විවිධ ආයතනවල පත්කිරීම් කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම කළ යුත්තේය” යනුවෙන් සඳහන් වී තිබේ. මෙය විධානාත්මක කාරණයකි. එනිසා මේ නිරීක්ෂණ ඉල්ලන්නේ නැතිව තම අභිමතයට අනුව ක්‍රියා කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැත. ජනාධිපතිවරයාට විසිවැනි සංශෝධනයෙන් බලය ලැබුණත් මෙම නිරීක්ෂණ ලබා නොගෙන කටයුතු කළ නොහැක. එසේ නිරීක්ෂණ ලබාගෙන අවසන් නිගමනය ගන්නේ ජනාධිපතිවරයාය. එසේ නොකර ඒවා කරන්නේ කවුරුන්ද? රටේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවල ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා නම් රට සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔහුට නැතිද? පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ ඇතිව අදාළ පත්කිරීම් බලය ජනාධිපතිවරයාට ලබාගැනීමට කටයුතු කර ඇත්තේ එම කටයුතු ප්‍රමාදයකින් තොරව කිරීමටය. එහි ඇති වරද කුමක්ද? පාර්ලිමේන්තු සභාවට නියෝජිතයන් පත්කිරීම යම් පාර්ශ්වයකින් ප්‍රමාද කළහොත් ඒවා නොසලකා හැර කටයුතු කිරීමේ හැකියාව විස්සෙන් ලබාදීමට සූදානම් කර තිබේ. විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා අදාළ කාලය තුළ පත් නොකළහොත් ඒ වෙනුවට නියෝජිතයකු පත්කිරීමේ බලය කතානායකවරයාට තිබේ. ඒ වගේම විපක්ෂ නායක සහ ඔහුගේ නියෝජිතයා යම් කාරණයකට අවශ්‍ය නිරීක්ෂණ ඉල්ලා නොසිටි විට නිරීක්ෂණ නුදුන්නාසේ සලකා ඉදිරියට කටයුතු කරගෙනයාමට පුළුවන. මේවායෙන් කෙරෙන්නේ රට ආපස්සට යාම වළක්වා ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගැනීමය. මේ සැපිරී ඇත්තේ රටේ අවශ්‍යතාවක් නොවේදැයි සිහිනුවණින් කල්පනා කළ යුතුය.
මෙවන් ක්‍රමයක් ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කෙරෙන්නේ රට ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමටය. මේ ක්‍රමවේද අනවශ්‍ය පුද්ගලයන් අතට පත්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ ගමන ඇණහිටියේය. වසර හතර හමාරක් අපි එය අත්දුටුවෙමු. දෙපැත්තට ඇද්දා මිස රටට ජනතාවට වූ සෙතක් නොමැති තරම්ය. ඇමැති මණ්ඩලය තිහට සීමා කරන බවට රටට ප්‍රදර්ශනය කළේය. එවන් සඳහනක් ව්‍යවස්ථාවට ඇතුළත් කළද තවත් කණ්ඩායමක් එක්කර ගන්නේ නම් එම සංඛ්‍යාව වැඩි කළ හැකි බවද සඳහන් කළේය. මේවායෙන් කළේ ජනතාව නොමග යැවීම නොවේද? ජනතාවට කොළේ වැසීම නොවේද? ඇමැති මණ්ඩලය සීමා කිරීම ඉතා හොඳය. එහෙත් බොරු අංක දක්වා වෙනත් වගන්ති ඇතුළත් කර එම සීමා බිඳ දැමීම අනුමත කළ නොහැක. එනිසා විසිවැනි සංශෝධනයෙන් ඇමැති මණ්ඩලය වැඩි වන බවට චෝදනා නැගීමට හෝ තර්ක කිරීමට ඔය කණ්ඩායම්වලට සදාචාරාත්මක අයිතියක් නැත.
රටේ ප්‍රගතිය වෙනුවෙන් යම් යම් ධුර ඇති කිරීමේ අත්‍යවශ්‍යතාවක් ඇති විය හැකිය. ඇමැති ධුර සංඛ්‍යාව 28 සිට 31 දක්වා වැඩි කිරීමේ වුවමනාවක් රටේ අවශ්‍යතාව අනුව මතු වුවහොත් දහනව වැනි සංශෝධනය යටතේ එම අවශ්‍යතාව සැපිරිය නොහැක. මෙවන් කාරණා සම්බන්ධ අධිකරණ තීන්දු තීරණද තිබේ. ඒවාද සැලකිල්ලට ගත යුතුය. රටේ අවශ්‍යතාවක් තිබේ නම් අවමය තීන්දු කිරීමට ව්‍යවස්ථාදායකයට හැකියාවක් තිබේද? කුමන පරිසරයක් යටතේ වුවද දැන් අවශ්‍ය වී ඇත්තේ රට ඉදිරියට ගෙනයාමය.
දහනවයේ අත්දැකීම් අපි සැවොම ලබා ඇත්තෙමු. එහි නිර්මාතෘවරයා පවා කලකිරීමට පත්ව රටෙනුත් බැහැර ගොසිනි. දහනවයට දායක වූ අනෙක් අය බොහොමයක් කතා කරන්නේද කලකිරීමෙනි. එවන් තැනක මෙහි ගුණ ගයන්නේ ශේෂ වූ කාණ්ඩයකි. වාසිතකා දේශපාලන දෘෂ්ටියෙන් බලන්නෝද වෙති. කෙසේ වුවත් එය පසුගාමී තත්ත්වයකි. රට යළිත් පසුපසට ඇදීමේ උත්සාහයක ඔවුහු නිරත වෙති. අවශ්‍ය වන්නේ එය නොවේ. රටට අවශ්‍ය ගමන යාමට ඉඩදීමය. එසේ යන අතරතුර වැරැදි මාර්ගයක යන්නේ නම් ඊට එරෙහිව හඬ නැගීම විපක්ෂයේ වගකීමය. පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ඒ හඬ නගන්නට පුළුවන.
පාර්ලිමේන්තුවට වගකීම සම්බන්ධයෙන්ද විසිවැනි සංශෝධනයෙන් අවධානය යොමුකර තිබේ. ජනාධිපතිවරයා පවා පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වය 42 වැනි ව්‍යවස්ථාවෙන් නිර්මාණය කර තිබේ. මේවා නොදැන ඇතැම්මු විවිධ පුහු තර්ක ගොඩනගති. ඒවා වැරැදිය. එනිසා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් නිසිලෙස අධ්‍යයනය කර නිවැරැදි මතය, අදහස වටහා ගත යුතුය. පැහැදිලිවම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වය විසිවැනි සංශෝධනයෙන් අහෝසි වී නැති බව කිව යුතුය.
පාර්ලිමේන්තුව විසුරුවීම වසරකින් පසුව කළ හැකි පසුබිම විසිවැනි සංශෝධනයෙන් ගෙන ඒම වරදක් නොවේ. සිටින කණ්ඩායම සමග රට ඉදිරියට ගෙනයාම නොහැකි යැයි හැඟේ නම් නව කණ්ඩායමක් පත්කර ගැනීමේ හැකියාව ජනපතිට තිබිය යුතුය. එදා විපක්ෂ නායකවරයා අගමැති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ වසර හතර හමාරක් යනතෙක් කිසිවක් කර ගැනීමට නොහැකි බව අවබෝධ කරගත් නිසාය. එනිසා රට අරාජික වන කාරණා වෙනස් කිරීමේ වරදක් නැත.
ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට අවකාශ සලසා ගැනීම අසාධාරණ නැත. අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන විට මේවා සම්බන්ධ නැවත සමාලෝචනය කරගත හැකිය. ඒ වගේම ද්විත්ව පුරවැසි කරුණ, ජනපතිවරණයට ඉදිරිපත් විය හැකි වයස් සීමාව යනාදියද එලෙස සමාලෝචනය කරගත හැකිය. එනිසා අනවශ්‍ය බියක් මේ මොහොතේ ඇතිකර ගැනීමේ වුවමනාවක් පෙනෙන්නට නැත. අදහස් ඉදිරිපත් කළ හැකිය. බිල්ලන් මැවීමේ අවශ්‍යතාවක්ද නැත. ස්වාධීනත්වය රැකෙන ක්‍රියාවලිය අකර්මණ්‍ය වේයැයි සැක සංකා පහළ කර ගැනීමට තරම් සාධක නැත. විස්සෙන් යම් අඩුපාඩුවක් වේ නම් එය අලුත් ව්‍යවස්ථා සම්පාදනයේදී නිවැරැදි කර ගැනීමට අවකාශ තිබේ.
(*** සටහන - චමින්ද මුණසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියාමනයක් නොමැති බලයක් ජනාධිපති හෝ අගමැති දෙදෙනාගෙන් කාට හිමිවුවද එය යහපත් දෙයක් වන්නේ නැත. ගැටළුව ඇත්තේ 1978 සිට වසර 30 ක් පමණ ජේ.ආර්. ගේ හත්මුතු පරම්පරාවටම දෙස් දෙවොල් තියමින්, සාපකරමින් මේ රටේ සියළු ප්‍රශ්නවලට මුල ජනාධිපති ක්‍රමය බව මතුර මතුරා සිටි පිරිස්ම දැන් එය ඊටත් වඩා බලවත් තනතුරක් බවට පත් කිරීමට උත්සාහ කිරීමයි. 19 අඩුපාඩු සකස්කරනු වෙනුවට නැවත විකාරරූපී ක්‍රමයකට යාම කොතෙක් නිවැරදිද? මැතිවරණ කොමිසමේ බලය අඩු කිරීම, විගණකාධිපති බලතල අඩු කිරීම, රජයේ සමාගම් විගණනයෙන් නිදහස් කිරීම හොරුන්, කම්බ හොරුන් කිරීමට නම් උපකාරීවනු නියතයි. ඇතැම්විට මේ කලුකබාකාරයින්ද සැරසෙන්නේ? ඒ විසිවන ඉඳුල් කුණු ඩැහැගැනීමට වියහැක...
මේ ලිපිය ලියලා තියෙන්නේ 19 ගේනකොට එදා තිබ්බ තත්වයම අදත් තියෙනවා කියලා උපකල්පනය කරලා. නමුත් එදා 19 සම්බන්ධ ප්‍රශ්න එකක්වත් අද පැන නගින්නේ නැහැ. ඒ මොකද කිව්වා නම්, අද ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු බලය සියල්ලම තියෙන්නේ එකම කඳවුරක නිසා. නමුත් මේ ලිපියේ බළලා මල්ලෙන් එළියට පැනලා තියෙනවා. අන්තිම පරිච්ඡේදයට ඉස්සෙල්ලා පරිච්ඡේදයෙන්. ඒ කියන්නේ එතන කියනව මෙහෙම, "සිටින කණ්ඩායම සමඟ රට ඉදිරියට ගෙනයාම නොහැකි යැයි හැඟේ නම්, නව කණ්ඩායමක් පත්කර ගැනීමේ හැකියාව ජනාධිපතිට තිබිය යුතුලු." පැහැදිලිවම මේ කියන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් ඊට පස්සේ ගෝඨාභය කඳවුර සහ මහින්ද කඳවුර කියලා කඳවුරු දෙකක් හැදෙනවා කියලා. ජනාධිපතිට ඕනේ පිරිස් තෝරා ගන්න ඕනේ නම් ඔහුට තිබුණු වෙනම පක්ෂයක් හදා ගෙන ජනාධිපතිවරණයට ඉල්ලන්න. නමුත් ගෝඨාභය මතක තියාගන්න ඕනේ ඔහු ජනාධිපති තනතුරට පත්කලේ මහින්ද සහ මහින්දගේ මිනිස්සු කියන එක... ගෝඨාභය වෙනම ඉල්ලුවා නම් කවදාවත් දිනන්නේ නැහැ. ලිපියේ මේ කොටස අනුව පැහැදිලියි කොටන් ඇදපු මහින්දගේ කඳවුර ඉවත් කරලා බලන් හිටපු ගෝඨාභයගේ කඳවුර නව කණ්ඩායමක් විදිහට පත් කරගන්න 20 වෙනි සංශෝධනය පාවිච්චි කරන බව...
මේ ලිපියේ 10 වෙනි පරිච්ඡේදය ගත්තොත්, "රටේ ප්‍රගතිය" අනුව යම් යම් ධුර ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය හැකිලු. ඇමති ධුර වැඩි කරගන්න ඕනේ වුණොත් 19න් බැරි හින්දා 20න් ඒක වෙනස් කරන්න ඕනෙලු." මට දැනගන්න ඕනේ ඇත්තටම මේ ලිපිය ලියපු මහත්මයා පොළොවේ පය ගහලද ඉන්නේ කියලා. රටේ "ප්‍රගතිය" ගැන හිතනවා නම් කරන්න ඕනේ ඇමති ධුර වැඩි කරගන්න එක නෙමෙයි, අඩු කරගන්න එක. 19න් ඇමති ධුර සංඛ්‍යාව 30 දක්වා අඩු කරපු එක මේ රටේ මහජනතාව කැමතිම දෙයක්. එදා එහෙම කලේ වෙන අවශ්‍යතාවයකට වෙන්න පුළුවන්. නමුත් අද රටේ ආර්ථික තත්වය බැලුවොත් ඒ තීරණය කොච්චර නිවැරදිව ගැලපෙනවද කියලා තේරෙනවා. ලංකාවේ ආදායමෙන් සියයට 20ක් 25ක් වැය කරන්නේ ජාතික, පළාත්, ප්‍රාදේශීය සහ නගර සභාවල ඉන්න දේශපාලකයන් නඩත්තු කරන්න. මේ සා විශාල දේශපාලකයන් පිරිසක් දැනටමත් මේ රටට මහා බරක්. මේ මහත්මයා දන්නේ නැතුවද දන්නේ නැහැ, රජය මේ මාස 6ට ට්‍රිලියනයක් ණය අරන් තියෙන බව. ඒ වගේම ඊළඟ මාස 6ට අයවැය හිඟය පියවන්නෙත් තව ට්‍රිලියනයක් ණය අරගෙන. ණය අරන් අයවැය හිඟය පියවන රජයක ජනාධිපතිවරයාට තව ඇමතිධුර වැඩි කරගන්න ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කියන එක මට නම් පේන්නේ උම්මත්තක වැඩක් විදිහටයි.
පැහැදිලිවම 2/3 ඡන්දයක් මහජනතාව දුන්නේ ආණ්ඩු කරපු සහ ඔවුන්ගේ ඡන්ද අරන් ආණ්ඩුවලට මුක්කු ගහලා තමයි. පැහැදිලිවම සුළු පක්ෂ නැතිකරන්න තමයි. මොන ජාතිවාදය වැපිරුවත් 2/3 පැහැදිලිවම තනි සිංහල ඡන්ද නොවේ. ව්‍යවස්ථාවට වඩා අද මූලික වන්නේ ලංකා ආණ්ඩුවේ නීතිය සංශෝධනය කරන එකයි. කොමිෂන් සභා පත්කිරීම නොව කළයුත්තේ.. ලංකාවේ පරිපාලනය ස්වාධීන ආයතනයක් කරන එක... මොකද ආණ්ඩු මාරුවන මාරුවන විදිහට පරිපාලන ආයතන වෙනස් වෙන්න බැහැ. 20කියන හැටියට අවුරුද්දකින් ජනාධිපතිට නොවේ.. ආණ්ඩුව පත්කළ ඡන්ද දායකයාටයි බලය දිය යුත්තේ..හරිමග නොයනවා නම් බලයෙන් පහ කරන්න.
20 කියන්නේ අපේ රටට අති භයානක දෙයක්.., ඔය 69 ලක්ෂයක් ඡන්ද දායකයන්ගෙන් විමසුවෝතින් මොකක්ද මේ 20, 19, 18 කියලා...? සියයට 60කටත් වඩා අය උඩබිම බලාවි... මොකක්ද මේ කියන්නේ කියලා..?
කබරගොයෙක්, තලගොයෙක් බවට පත්කරගෙන කෑමේ කලාව මොනවට පැහැදිලි කළ ලිපියක්. ස්තුතියි.
මේ කන්ජිපාණි ඉම්රාන්ගේ කළුකෝට් කාරයා නේද?
අයිසෙක් ඇසිමෝව් කියන ලේඛකයා ලියපු දෙවැනි පදනම නම් පොත කියවලා බලන්නකෝ. රටක් බැලැන්ස් එකේ පවතින්න ස්වාධීන කොමිෂන් පැවැත්ම අත්‍යාවශ්‍ය වේ.
හැම දේශපාලකයන්ම නටන්නේ මේ රටේ මිනිස්සුන්ට ඔය එකක් වත් වැඩක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය... 19ද 20ද වැඩක් නැත. ඕක ගැන ඇහුවොත් කියයි අපි හම්බකරගෙන තමයි අපි කන්නේ.. අපිට ඕවා වැඩක් නෑ කියලා.. ඒක හින්දා දේශපාලකයින් එ් ගොල්ලන්ට ඕන විදිහට වැඩ කරගන්නවා. රටේ පේනතෙක් මානෙක රටේ මිනිස්සුන්ට ඕනෑ විදිහට වැඩ කෙරුණේ නෑ. එහෙම වුණා නම් මෙලහකට මේ රට තියෙන තැන හිතාගන්න බෑ.
නීතිය පිළිබඳව අවබෝධයක් නොමැති නායකයින් විස්ස පිළිබඳ නීති උපදෙස් නොතේරීම සහ විස්ස නිසා නුදුරේදීම විසිවීමට හෝ අවතැන් වීමට නියමිත තුනෙන් දෙකේ රජය.
කොටින්ම කියනවා නම්, ඔය විස්ස, විනයක් පමණක්ම නොවෙයි. මේ රටට, විනාශයක්, විෂබීජයක්, විගඩමක්, විකාරයක්, විහිළුවක්, විච්චූර්ණයක්, විපරිතයක්, ව්‍යවුලක් වියහැකි ව්‍යවස්ථා ව්‍යවසනයක්. එමෙන්ම එය විජ්ජාකාර, විනිසුරුවන්ට, විත්තිකාරයින්ට විශේෂයක් හා විහිලුකාරයින්ට විනෝදාශ්වාදයක් ද විය හැකි විජ්ජුම්බරයක්... ?