IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


මහජන නියෝජිතයන් වගකීම ඉටු කරනවාද?


ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡාව නිතරම අලුත් වන්නකි. නොමඳව එක් වන්නකි. පාර්ලිමේන්තුව, පළාත්සභා හා පළාත් පාලන ආයතන වැනි මහජන නියෝජිත ආයතන හා ඒවායෙහි සීමිත මහජන නියෝජිතයන්ගේ ස්වභාවය හා ක්‍රියා කලාපය සම්බන්ධව ද කාලයක පටන් විවේචනාත්මකව තියුණු සංවාදයක් පැවතිණි. අදට ද තිබේ. මෙරට දේශපාලන අර්බුදය උග්‍ර වීම කෙරෙහි මේ තත්ත්වය සෘජුව බලපා ඇති බවට ද සමහරු මත පළ කරති. මේ සියලු කාරණා පිළිබඳව මෙවර “විද්වත් හමුවෙන්” සිය අදහස් දක්වන්නේ නීතිඥ මේනක හරන්කහ මහතාය. 


ප්‍රශ්නය:- මේ මොහොතේ රටේ තියෙන දේශපාලන අර්බුදය පිළිබඳ විවිධ පැතිමාන වලින් අදහස් ඉදිරිපත් වෙනවා. ඔබ මේ තත්ත්වය විග්‍රහ කරන්නේ මොන විදියට ද? 
පිළිතුර:-
මේ මොහොත ලංකාවේ තියෙන අර්බුදය ආර්ථික අර්බුදයට එහා ගිය දේශපාලන හා ජාතික අර්බුදයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. සංවිධිත රාජ්‍යයක ප්‍රගමනය අපේක්ෂා කරන අවස්ථාවක දී මූලික කාරණා කීපයක් සම්පූර්ණ වී තිබිය යුතුයි. එකක් තමයි ඉතාමත් ශක්තිමත් මූලික නීති පද්ධතියක් පැවතීම. ඒ නීති පද්ධතිය මගින් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වී පැවතීමත් ආයතන පද්ධතියක් ගොඩනැගීමත් සිදු විය යුතුයි. මේ ආයතන අතර පොලිසිය ස්වාධීන අධිකරණය, ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුව හා ස්වාධීන කොමිසන් සභා වැනි ඒවා ඉතා වැදගත්. ඊට අමතරව පැහැදිලි ආර්ථික දර්ශනයකුත් මේකට තිබිය යුතුයි. 


ප්‍රශ්නය:- ඔබ සඳහන් කළ ස්වාධීන අධිකරණය හා ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමට අදාළ පියවර දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මගින් ගනු ලැබුවා. ඒ පියවර ප්‍රමාණවත් ද? 
පිළිතුර:-
අපි අපේක්ෂිත තැනට තවම ඇවිත් නෑ කියන එක කියන්න අවශ්‍යයි. මොකද සමහර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් පසුවත් ඒවයේ අර්බුද මතු වෙලා තියෙන ආකාරයක් පේන්න තියෙනවා. තවත්  සමහර ස්වාධීන කොමිසන් සභාවලට අවශ්‍ය බලතල තවම ලැබී ඇති බවක් පේන්න නෑ. උදාහරණයක් හැටියට ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාව දක්වන්න පුළුවන්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන්න මේ කොමිසන් සභාව මගින් රාජ්‍ය ආයතනවලට දේපළ අත්පත් කර 
ගැනීමේ දී සේවාවන් ලබා ගැනීමේ දී වගේ අවස්ථාවල දී ඒ කටයුතු නිසි පරිදි සිදු වෙනවාද? වෙනත් අක්‍රමිකතා වංචා ආදිය සිදු වෙනවාද? කියලා හොයලා බලනවා. කෙසේ වෙතත් මේ කොමිෂන් සභාවට හිමි විය යුතු නීතිමය බලය මෙතෙක් ලැබිලා නෑ. පොලිස් කොමිසම අධිකරණ කොමිසම වැනි ආයතන වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම ඒ ආයතන වලට අවශ්‍ය මඟපෙන්වීම්, රීති මාලාවන් වගේම ඒවා ස්වාධීනව කටයුතු කළ යුත්තේ කෙසේද යන කාරණා සම්බන්ධයෙන් විවිධ ගැටලු මතු වී ඇති බවක් දකින්න ලැබෙනවා. පොලිස් කොමිසම වගේ ආයතනයක් ගත්තොත් ඒ කොමිසන් සභාවට දේශපාලන අධිකාරිය මගින් සිදු වන්නා වූ මැදිහත්වීම් හේතු කොටගෙන ස්වාධීනත්වය සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු වී තිබෙනවා. සංකල්පයක් විදියට ස්වාධීන කොමිසන් සභා හොඳ ප්‍රවණතාවක් වුණාට ඒ සංකල්පය ප්‍රායෝගික තලයට ගෙන ඒම සම්බන්ධයෙන් අර්බුදයක් තිබෙන බව පැහැදිලියි. 

 


ප්‍රශ්නය:- ලංකාවේ දේශපාලන අර්බුදය ගැන කරන සාකච්ඡාවක දී පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන වැනි මහජන නියෝජිත ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ පිරිහීම ගැනත් ප්‍රබල ලෙස සාකච්ඡා වෙනවා. ඔබ මේ කාරණය හඳුනා ගන්නේ කොහොමද? 
පිළිතුර:-
මේක විවිධ කෝණ වලින් අපිට දකින්න පුළුවන්. පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන කියන මහජන නියෝජිත ආයතනවලට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලියේදීත් එම නියෝජිතයන් කටයුතු කරන ආකාරයේදීත් විවිධ 
ගැටලු තියෙන බවක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දී අපේක්ෂා කරන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනතා නියෝජිතයන් යම්කිසි නිශ්චිත කාලවකවානුවක් තුළ දී ජනතා අභිලාෂවලට අනුකූලව ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කරමින් රට ඉදිරියට ගෙන යෑමේ කාර්යභාරයයි. මේ මූලික සංකල්පය පිළිබඳ අවබෝධයක් පාර්ලිමේන්තුවට තේරී පත් වෙන ජනතා නියෝජිතයන්ට තියෙනවද කියන එක ප්‍රශ්නයක්. එවැනි තත්ත්වයක් ඇති වීමට ඔවුන්ව තෝරා පත් කර ගන්නා ක්‍රම වේදයේ තියෙන ගැටලුව මූලිකව බලපාලා තියෙනවා. දේශපාලන පක්ෂ ක්‍රමයේ තිබෙන අර්බුදයත් මේ තත්ත්වයට එක හේතුවක්. රටේ වර්ධනය වෙලා තියෙන දූෂණ අල්ලස් සංස්කෘතියත් මේකට එක හේතුවක් වෙලා තිබෙනවා. 


වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය දිහා බලපුවහම මතු වෙන ප්‍රශ්නය තමයි ඔවුන් තමන්ගේ කාර්ය භාරය හරියාකාරව වටහා ගෙන තිබෙනවාද කියන එක. සංවිධිත රාජ්‍යයක ප්‍රගමනය සම්බන්ධ කාරණයේ දී මා ඉහත සඳහන් කළ ශක්තිමත් නීති පද්ධතියක පැවැත්ම, ස්වාධීන ආයතන ක්‍රීයාකාරීත්වය යන කාරණා වගේම පැහැදිලි දේශපාලන නායකත්වයක් වගේම ඒ නායකත්වය හොබවන ආයතන පද්ධතියක් පැවැතීමත් ඉතා වැදගත්. මෙහිදී විධායකය ව්‍යවස්ථාදායකය යන ආයතන වැදගත් වෙනවා. වර්තමාන ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) ගත්තොත් ආණ්ඩු පක්ෂය කුමක්ද කියන කාරණය සම්බන්ධයෙන් 
ගැටලුවක් මතු වෙනවා. මක්නිසාද යත් ආණ්ඩු පක්ෂය තුළම විපක්ෂයකුත් ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දකින්න ලැබෙන නිසා. විපක්ෂයක කාර්ය භාරය වෙන්නේ ආණ්ඩුවේ නිශේධනීය අංගලක්ෂණ පෙන්වා දෙමින් ආණ්ඩුව නිවැරදි දිශාවට යොමු කිරීමක්.

තමන් මීළඟට ආණ්ඩු බලය දැරීම සඳහා සුදුසු බව රටට පෙන්වීමත් කියන කාරණා මේ මොහොතෙ රටේ නිල විපක්ෂය දෙමළ ජාතික සන්ධානය වුණත් විකල්ප විපක්ෂය වෙන ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ සියලු කටයුතු පිළිබඳ සෘණාත්මක දෘෂ්ටි කෝණයකින් බලා කටයුතු කරන බවත් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නය වගේ තීරණාත්මක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ආණ්ඩුව සාධනීය ක්‍රියාමාර්ග ගන්නා විට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම බොහෝ පසුගාමී සංකල්ප හා ක්‍රියාමාර්ගවල හිඳිමින් ඒකට විරෝධය දක්වන ආකාරයක් පේන්න තියෙනවා. දූෂණ චෝදනා හා ආණ්ඩුවේ වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිවීමේ අයිතියක් තිබෙන්නා සේම රටේ ප්‍රගමනයට අදාළ රජයේ ක්‍රියාමාර්ගවල දී ඔවුන්ගේ සහයෝගයත් ලැබිය යුතුයි. නමුත් එවැනි සහයෝගයක් ලැබෙන බවක් අපි දකින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වීමෙන් පිහිටුවා තිබෙන මේ ආණ්ඩුව තුළ වුණත් නිශ්චිත වැඩ සටහනක් කරා ගමන් කිරීමේ නොහැකියාවක් ඇති බව දකින්න පුළුවන්. නිශ්චිත ආර්ථික සැලැස්මක් අනුව ආණ්ඩුව කටයුතු කරන්න උත්සාහ කරන විට ආණ්ඩුව සමහර කැබිනට් ඇමැතිවරු ඒකට විරුද්ධත්වය පළ කරන ආකාරයකුත් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය නිශ්චිත සැලැස්මකින් තොරව ඉදිරියට ගමන් කරන රාජ්‍යයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් හැටියට සලකන්න පුළුවන්. 

 


ප්‍රශ්නය:- සමහර අවස්ථාවල දී රටේ සාමාන්‍ය ජනතාවට වලංගු වන නීතිය මහජන නියෝජිතයා සම්බන්ධයෙන් බල නොපාන තත්ත්වයක් දකින්න ලැබෙනවා. මන්ත්‍රී වරප්‍රසාද හා රටේ පොදු නීතිය ක්‍රියාත්මක වීම කියන කාරණා අතර වන ඝට්ටනයක් මේ පසුබිමේ දකින්න ලැබෙනවා ද?
පිළිතුර:-
ඒක ඉතා වැදගත් කාරණයක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ දී මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ලබා දීලා තියෙනවා. වෙනත් බාහිර බලපෑම් වලින් තොරව ජනතා අභිලාෂයන් ක්‍රියාවට නැංවීමට අදාළ වාතාවරණයක් ගොඩ නැගීම සඳහා නීති, ප්‍රතිපත්ති ආදිය සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා ස්වාධීනව දායක වීමට අවස්ථාව සලසා දීම තමයි මන්ත්‍රී වරප්‍රසාද මගින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ මන්ත්‍රී වරප්‍රසාද හරහා මන්ත්‍රීවරු රටේ සුවිශේෂ පුද්ගලයන් ලෙස මතුවීමට දරන උත්සාහයක්. එය අනුමත කරන රාජ්‍ය පාලනයක් රටේ දකින්න ලැබෙනවා. මෙය ආණ්ඩු ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වෙන “නීතියේ බලය” කියන සංකල්පයට සපුරාම එරෙහි තත්ත්වයක්. රටේ සාමාන්‍ය ජනතාවට අදාළව ඉක්මනින් ක්‍රියාත්මක වෙන නීතිය වංචා දූෂණවලට සම්බන්ධ ඇතැම් මන්ත්‍රීවරුන් කෙරෙහි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දකින්න පුළුවන්. අනිත් පැත්තෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇතැමුන් සම්බන්ධයෙන් 
මන්දගාමීවත් විපක්ෂයේ සමහරුන් සම්බන්ධයෙන් වේගවත් ආකාරයටත් නීතිය ක්‍රියාත්මක වෙන බවක් පේන්න තියෙනවා. 

 


ප්‍රශ්නය:- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළව ඉදිරියට පැමිණ තිබෙන සාකච්ඡාවෙන් යෝජනා කරන ප්‍රධාන කාරණයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට ස්වාධිපත්‍ය බලතල හිමිවන ආකාරයේ පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කළ යුතුය යන්න. දූෂණ චෝදනා විශාල වශයෙන් එල්ල වුණු පුද්ගලයන්ට දොරටු විවර වුණු පාර්ලිමේන්තුවකට මේ ආකාරයේ උත්තරීතර බලයක් ලබා දීමට යෝජනා කිරීම ගැටලුවක් නෙවෙයි ද? 
පිළිතුර:-
ඇත්ත වශයෙන්ම ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක් ක්‍රියාත්මක වීමට නම් රට තුළ ඊට අදාළ ප්‍රජාතාන්ත්‍රික වාතාවරණයක් තිබිය යුතුයි. දැනුවත් පුරවැසියන්ගේ සහභාගීත්වය කියන කාරණය හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වීමේ දී ඉතා වැදගත් වෙනවා. නමුත් මේ මොහොතේ ලංකාවේ ජනතාවගෙන් එවැනි තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නෑ. මක්නිසාද යත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දැක්ම සම්බන්ධයෙන් රටේ ජනතාව ඉන්නේ බොහොම දුරස්ථ ස්ථානයක. 

 


ප්‍රශ්නය-  යහපත් මහජන නියෝජිතයන් මහජන නියෝජිත ආයතන බිහි කිරීම සම්බන්ධ කාරණයේ දී දේශපාලන පක්ෂවලට පැවරී තිබෙන වගකීම මොකක්ද? 
පිළිතුර:-
මේක අපි හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. ලංකාවේ දේශපාලන පක්ෂ මොන තරම් දුරට යහපත් මහජන නියෝජිතයන් බිහි කිරීමට දායකත්වය දෙනවද කියන එක. පසුගිය කාලය පුරාවටම දේශපාලන පක්ෂ බොහෝ දුරට තරග කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණේ සල්ලි තියෙන පුද්ගලයන්ට. අනිත් පැත්තෙන් විද්වතුන් තමන්ගේ පක්ෂවලට සම්බන්ධ කරගෙන ඔවුන්ට පාර්ලිමේන්තු පක්ෂ කටයුතු කරන ආකාරයකුත් අපි දැක්කේ නෑ. ඒ වගෙම ඇමැතිකම් ලබා දීමේ දී දේශපාලන පක්ෂ නායකයට දක්වන මිත්‍රත්ත්වය හා පක්ෂපාතීත්වය හැරුණහම සුදුසුකම් කොතරම් දුරට සලකා බලනවාද? කියන එකත් ප්‍රශ්නයක්. ඉතිහාසයේ පුරාවටම වගේම මේ මොහොතෙන් දේශපාලන පක්ෂ තමන්ගේ වගකීම සාහසික විදියට උල්ලංඝණය කර ඇති බව පැහැදිලිව පේන්න තියෙනවා. දේශපාලන පක්ෂ වලින් මැතිවරණ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවල වැඩි ඉඩ නුසුදුසු පුද්ගලයන් වෙනුවෙන් වෙන් වී තිබෙන නිසා ජනතාවට වෙනත් විකල්පයක් නොමැති කමින් එවැනි පුද්ගලයන් මහජන නියෝජිතයන් ලෙස තෝරා පත් කරන ආකාරයක් දකින්නට ලැබෙනවා. මේක වළක්වා ගැනීමේ වගකීම තියෙන්නේ දේශපාලන පක්ෂවලට. 

 


ප්‍රශ්නය:- අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වගේම විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම සම්බන්ධ සාකච්ඡාව කිසියම් හිර වීමටක ලක් වෙලා තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලන අර්බුදය සඳහා පිළියම් යෙදීමේ ක්‍රියාමාර්ගවලට මේ මගින් විය හැකි බලපෑම කුමක්ද?
පිළිතුර:-
මේක ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයක්. මොකද අපි දැන් මූලික අරමුණු වලින් බැහැර වෙමින් ඉන්නවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම කියන මූලික කාරණා තමයි 2015 ජනවාරි දේශපාලන පෙරළියේ දී සටන් පාඨ බවට පත් වෙලා තිබුණේ. 


මේ අරමුණු සමාජගත කරමින් බලය ලබා ගත් පිරිස් අද ඒවා නොසලකා හරිමින් ඉන්නේ. ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටු කර ගැනීම ඒවා බාධාකාරී නිසා දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය සංශෝධනය කළත් ඒ සංශෝධනයෙන් පස්සේ නිර්මාණය කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය තුළ නිශ්චිත නායකත්වයක් සහ නිශ්චිත ලෙස දේශපාලන බලය ඒකාරාශී වූ තීන්දු තීරණ ගැනීමේ තැනක් අපිට අඳුනගන්න නෑ. මේ තත්ත්වය නිවැරැදි විය යුතුයි. එක්කො විධායක ජනාධිපතිධුරය පෙර පරිදි බලවත් විය යුතුයි. එසේ නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සඳහා බලය ලබා දිය යුතුයි. ඒ දෙකට අතරමැදි තත්ත්වයක් තිබීම මේ මොහොතේ බලයේ ඉන්න රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවශ්‍යතාව වුණත් ඒක රටේ අවශ්‍යතාව නෙවෙයි. රටේ තියෙන්නේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ද පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ද කියන එක තීරණය විය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අඩුපාඩුකම් සහිත බැවින් එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ අපි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කරා යා යුතුයි. 


එයින් තොර ආපසු හැරීමේ විකල්පයක් තියෙයි කියලා මම හිතන්නේ නෑ. 

 


ප්‍රශ්නය:- පසුගිය දශකයක කාලයේ දී ජාතික ආරක්ෂාව රාජ්‍ය සංකල්පය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධකයක් ලෙස පෙරටම පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා. වත්මන් රජය පෙර කී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කල් දමමින් ඉන්නේ. පසුගිය රජය අනුගමනය කළ ඒ ජාතික ආරක්ෂක රාජ්‍ය සංකල්පය තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නිසාද? 
පිළිතුර:-
සමහරුන්ගේ යෝජනාවක් බවටත් මේ කාරණය පත් වෙලා තියෙනවා. ඇමෙරිකාව වගේ රටවල් නැවත ජාතික ආරක්ෂාව හා ආරක්ෂිත රාජ්‍ය කරා ගමන් ගනිමින් සිටින නිසා එවැනි පිරිස් මේ ආකාරයේ යෝජනා ඉදිරිපත් කරන බවක් දකින්න පුළුවන්. ජාතික ආරක්ෂාව හා ආරක්ෂිත රාජ්‍ය පද්ධතියක් ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි, කියන කාරණය පසුගිය කාලයේදී අපේ රටේ සාකච්ඡාවට ලක් වුණා. නමුත් මේ සඳහා විධායක ජනාධිපති ධුරය පවත්වා ගත යුතුයි කියන කාරණය මම පිළි ගන්නේ නෑ. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළදීත් අපිට ජාතික ආරක්ෂාව ශක්තිමත්ව තහවුරු කර ගත හැකියි. 


1971 කැරැල්ල මර්දනය කළේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් මේ රටේ තියෙද්දි. ඉන්දියාව වාර්ගික, ආරක්ෂක මේ ආදී ගැටලු නිරාකරණය කර ගනිමින් ඉදිරියට ඇවිත් තියෙන්නේ. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යටතේ. ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේ දී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පැවතීම ගැටලු සහගත තත්ත්වයක් හැටියට සලකන්න බැහැ. 

සාකච්ඡා කළේ උපුල් වික්‍රමසිංහ

 



අදහස් (0)

මහජන නියෝජිතයන් වගකීම ඉටු කරනවාද?

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4275 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 79 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1544 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 516 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 183 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 295 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site