IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ඔස්ට්‍රේලියාවේ රත්රන් කන්ද

ශතවර්ෂ ගණනක් පැරණි මෙ දිය දහර එදා මෙන්ම අදත් ගලා බසී. එදා මෙන් අදත් කුඩා රත්රන කැබිලි දියේ පාවේ. නැරඹීමට පැමිණෙන්නෝ අදත ගරමින් රත්රන් සොයති.

 

අප ජීවත්වන මේ ලෝකයේ ලෝහ  වර්ගවලින් වැඩිම වටිනාකමක් බවට පත්ව ඇත්තේ රත්රන්ය. මුතු, මැණික් මෙන්ම රත්රන් ද මතු වන්නේ මහා පොළොවෙනි. පිරිමින්ට වඩා රත්රන් ගැන වැඩි වශයෙන්ම කතාබහ කරන්නේ ගැහැනුන් ය. ගැහැනියගේ වටිනාකමත් අගයත් ඇය සතු රත්රන් අනුව අඩු වැඩි වේ. දරුවෙක්  මෙලොව බිහි වූ මොහොතේ මවගේ කුලුඳුල් කිරි බිංදුවේ රස දරුවාගේ දෙතොලේ රඳවන්නේ ද රත්රන් කැබැල්ලකිනි. එය ‘රන්කිරි’ කටගෑම යයි කියයි. ගැහැනු දරුවෙක් වැඩිවියට  පත් වූ විට ස්නානය කරන දිනට වැඩිහිටියන් ශුභ මොහොතින් ත්‍යාගයට දියණියගේ දෑත, ගෙල සරසන්නේ ද රත්රඅනින්ය. ඒ මාල සහ වළලුවලිනි. ජීවිතයේ උතුම්ම දිනය වන විවාහයේදී ශුභ මොහොතින් පෝරුව මතට පා තබන සිය සෙනෙහබර දයාබර ආදරණීය බිරිඳට  ඒ ප්‍රේමනීයත්වය ප්‍රථම කොට ප්‍රකාශ කරන්නේ රත්රන්  මාලයකින් ගෙල සරසමිනි. නව යුවතිය ද සිය සැමියාට ප්‍රථම හෘදයාංගම බැඳීම සංකේවත් කරන්නේ මනාලයාගේ දෑත සෙනෙහසින් තදින් අල්ලාගෙන ඇඟිල්ල රත්රන් මුදුවකින් හැඩ කරමිනි.


 ලෝකයේ ඉහළම වටිනාකම ඇත්තේ ද රත්රන් වචනයේය. හොඳ  - යහපත් මනුෂ්‍යයෙක් ගැන කීවොත්  නිරන්තරයෙන්ම පැවසෙන්නේ ‘රත්රන් මනුෂ්‍යයෙක්’ කියාය. විනීත, උගත් පුතෙකු, දුවක ගැන කීවොත් කියන්නේ ‘රත්රන් පුතෙක් - රත්රන් දුවක් - රත්රන් කොල්ලෙක් - රත්රන් කෙල්ලෙක්’ ලෙසිනි. ‘රත්රන්’ ඇත්තටම ඔබට මේ ලෝකයේ මිනිසුන් කොතරම් ආදරේද?


ගැහැනු - පිරිමි කවුරුත් රත්රන් එකතු කිරීමට, පැළඳීමට කෙතරම් රුචිකත්වයක් දක්වන්නේ ද? විශේෂයෙන් ගැහැනුන් ඉන් පෙරමුණ ගන්නේමය. ඒ එයට ඇති ඇගයීමත්, පිළිගැනීමත් නිසාමය. මෙතරම් අගනා, මෙතරම් වටිනා කවුරුත් ප්‍රිය කරන රත්තරනින්ම බැබළෙන , දිදුලන රත්රන් කන්දක් ගැන රත්රන් ගම්මානයක් ගැන ඔබ අසා තිබේද? රත්රන් කැබලි සෙමින් සෙමින් ශීතල දිය දහරේ පාවෙමින් යන, කන්දේ කොතනින්  හෑරුවත් රත්රන් මතුවන, මා නෙත් දෙකෙන් දුටු රත්රන් කන්දක්, රත්රන් ගම්මානයක් ගැන රසවත් කතාව ඔබට කියන්නයි මේ සූදානම් වන්නේ.


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් පමණ මග ගෙවුවිට බලරැට් (BALLARAT) ගම්මානය හමුවේ. මේ ගමේ රත්රන් පිහිටි ප්‍රදේශය හඳුන්වන්නේ සවරින් හිල් (SOVEREING HILL) වශයෙනි. ඊටත් ඉතිහාස කතාවකි. මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පාලක ප්‍රධාන රජවරුන්ගේ රාජ්‍යත්වය සංකේතවත් කරන්නේ ඔටුන්නකිනි. එය තනිකරම නිර්මාණය වන්නේ රත්තරනිනි. ඕස්ට්‍රේලියාවේ මහා බ්‍රිතාන්‍යයට අයත් වූවාට පසුව මේ රත්රන් හමු වූ ප්‍රදේශය ඒ අර්ථයෙන්ම (SOVEREIGN HILL) ලෙස නම් කෙරුණ බව කියවේ.


චීන ජාතිකයන්ගේ රජ දහනක් බවට මේ ප්‍රදේශය පත්ව තිබුණි. මුළු රටම සිය ආධිපත්‍යයට යටත් කරගත් පසුව අධිරාජ්‍යවාදී මහා බ්‍රිතාන්‍යය මේ රත්රන් සම්පත ගැන අවධානය යොමු කළේය. මේ ප්‍රදේශය සම්බන්ධ පුළුල් ප්‍රචාරයක් මහා බ්‍රිතාන්‍යයේ සිදුකෙරුණි. ඒ සමඟම රත්රන් කර්මාන්තයට අදාළ විශාල පිරිස් ඕස්ට්‍රේලියාවට ළඟා වූහ. මෙල්බර්න් නගරය මුහුදාශ්‍රිත වීමත්, සුවිශාල යාරා ගංගාව (YARRA RIVER)  මේ නගරය මධ්‍යයෙන් ගලා යාමත්, නිසා යාත්‍රා ගමනාගමනයට පහසු විය. පැමිණි බොහෝ අය මෙල්බර්න් නගරයේ පදිංචි වූහ. රත්රන් ව්‍යාපාරික කටයුතු සඳහා අශ්ව කරත්තවලින් බලරැට් බලා ගමන් කළහ. මෙල්බර්න් නගරය අධික ජනගහනයෙන් යුක්ත වීමට මෙය ද හේතුභූත වූ බව පැවසේ.


 ශතවර්ෂ ගණනාවකට පෙර ඈත අතීතයේ සංචාරක චීන ජාතිකයන් මෙම ප්‍රදේශය සොයාගෙන තිබේ. තාවකාලිකව නවාතැන් ගත් මෙම ප්‍රදේශයේ බිම අනෙකුත් තමන් ගතකළ ගිමන්හල ප්‍රදේශවලට වඩා අමුතු ස්වරූපයකින් යුතු බව ඔවුනට පෙනී ගියේය. විමසිලිමත් වූ චීන ජාතිකයෝ නවාතැන්පළ හැරයාමේ දින වෙනසකට පත්කර දැඩි සේ ප්‍රදේශය පරික්ෂාවකට ලක්කළහ.

 

ශතවර්ෂ ගණනාවක පෙර මේ රත්රන් කන්ද සොයා ගත් චීන ජාතික සංචාරකයින් පදිංචිව සිටි නිවසයි මේ.

රත්රන් කන්ද ගම නැරඹීමට පැමිණෙන පිරිසගෙන් පා ගමනින් ඇවිද යා නොහැකි අයගේ පහසුවට යොදා ඇති අශ්ව කරන්ත සිව්දෙනකුට යා හැක. විශේෂ මුදලක් ඒ සඳහා අය කරති.


මේ කාර්යය ඉතා ලෙහෙසි පහසු වූවක් නොවූයේය. විවිධ වූ විෂඝෝර සර්පයන් හා වනචාරි - වනවාසී බොහෝ වන සතුන්ගේ කෙළිබිමක් බවට මුළු ප්‍රදේශයම පත්ව තිබුණි. ඊට  නොදෙවෙනි අධික ශීතල දේශගුණයෙන් ද පීඩාවට පත්විය. මෙම සියලු කරදරවලට මුහුණ දෙමින් ඇතැම් විට ජීවිත පරිත්‍යාග කරමින්, අධිෂ්ඨානශීලීව, අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ජයගත් විලාශය අතිදුෂ්කරය. අතිදුක්ඛිතය. එහෙත් ඒ කතාව නම් ඉතා රසවත්ය.


 සාමාන්‍යයෙන් සංචාරකයන් තාවකාලිකව කූඩාරම් ගසා ගන්නේ තමන්ට අවශ්‍ය ජල පහසුව ඇති ප්‍රදේශවලය. සංක්‍රමණික චීන ජාතිකයන් ද සිය කූඩාරම් සකස් කර ගත්තේ ද පිරිසිදු ජලය ගලා යන ඇළ මාර්ගයක් අසලය. සිය ආහාර පිසගැනීමට සහ පවිත්‍රතා ආදියට ජලය ලබාගත් මේ ඇළ තුළින් දිලිසෙන යම් කැබලි වර්ගයක් දක්නට ලැබුණි. පුදුමයකිනුත් පුදුමයකි. ඒ දිලිසි දිලිසී ප්‍රදර්ශනය වී ඇත්තේ කුඩා රත්රන් කැබලිය. නවාතැන් ගත් මේ ප්‍රදේශය හැරයාමේ දින වකවානු දින, සති, මාස, අවුරුදු බවට දිගුකොට ඔවුහු එතැන දිගටම ලැගුම් ගෙන රත්රන් සෙවීමේ කාර්යයේ නිරත වූහ.


එදා ඒ චීන ජාතිකයන් ප්‍රථමයෙන්ම දිලිසෙන රත්රන්  කැබලි දුටු ඇළ මාර්ගය අදත් එපරිද්දෙන්ම රත්රන් බිමේ දක්නට ලැබේ. එතරම් රත්රන් කැබලි ඒ දිය කඩිත්තේ අද නැතත් මේ බිමට පැමිණෙන හැම කෙනෙක්ම ඒ පැරණි සිරිත අනුගමනය කරමින් රත්රන් ගැරීමේ ක්‍රියාවලියේ නිරතව විනෝද වෙති. ඒ සඳහා සංවිධායකයෝ තාච්චි, ෂවල් ආදිය මෙතැන තබා තිබේ. විනෝදයට අදත් තාච්චියක් ගෙන ගලා යන සීතල ඇළ මාර්ගයෙන් ගල්කැට සහිත පස් පුරවාගෙන ජලයට යොමුකර, ගැරීමේ යෙදේ. රත්රන් කැබලි හමු වූ අවස්ථා ද තිබූ බව කියවේ.


 මේ චීන සංචාරකයන්ගේ ‘සංචාරයට’ ද එතැනින් තිත තැබුණි. ඇත්තටම රත්රන් ගමක් නොමිලේම හමු වූ විට තවත් මොන සංචාරද? පැමිණි පිරිස ප්‍රමාණවත් නොවූයෙන් තවත් විශාල පිරිසක් චීනෙන් ගෙන්වා ගත්හ. කැලෑ එළිපෙහෙලි කොට ලී වලින් නිවෙස් තනා පදිංචි වූහ. වහළටත්, බිත්තිවලටත් ලෑලි යෙදූ මේ නිවෙස් ගැන ද යමක් කිව යුතුය. අධික ශීත දේශගුණයක් පවතින බැවින් ඒ ශීතලෙන් ආරක්ෂා වීම වැදගත්ය. සෑම නිවසක්ම ඉතා මිටි ඒවා විය. අඩි පහ හයකට වඩා උස නැත. එක් දොරකි. ජනෙල් හෝ කවුළු කිසිවක් ද නොමැත. දරුවන්ගේ අධ්‍යාපනයටත්, ආගමික කටයුතුවලටත් තැනූ එක් ගොඩනැගිල්ලකි. ඒ තුළ ලීවලින් සාදාගත් දිග බංකු තනා ඇත. මේවා අදත් දක්නට ලැබේ. ප්‍රාථමික අවස්ථාවේ සුනිල සිසිල් දිය ගලා බසින ඇළ මාර්ගයෙන් රත්රන් ලබාගැනීම ආරම්භ වුවත් පසුව මුළු ගමේම තැනින් තැන පතල් කපා, දෝනා බැස රත්රන් සෙවීම සිදුකෙරුණි. මීටර් සිය ගණන් පොළොව කැණ දෝනා බැසීම අද තරම් එදා ලෙහෙසි නොවන්නට ඇත. පොළොව සිදුරු කිරීමට, කැණීමට, ජලය ඉවත් කිරීමට මේ වන විට විවිධ යන්ත්‍ර සකස් කර තිබේ. එදා සිය දෑතින්ම පොළොව හාරා, පතල් කපා දෝනා බැසිය යුතුය. කපන පස් ඉහළට ගෙන ඒම, උල්පත්වලින් උනන ජලය ඉවත් කිරීම, පස් බිත්ති කඩා වැටීම වැළැක්වීම මිනිස් ශ්‍රමයෙන්ම සිදුකල යුතු විය. පුදුමය, මේ සියල්ලටම ඔවුහු එඩිතරව මුහුණ දුන්හ. පැහැදිලි ඉලක්කයක් බලාපොරොත්තුවක් අධිෂ්ඨානශීලීව තබා ගත්හ. පතල් කපා, දෝනා බැස පහළට යද්දී මුවගට සිනහ මල්  පිපෙන, සිතට සැනසුම් සුසුම් ගලා එන, නෙත් මැනවින් පිනා යන බලාපොරොත්තුව මස්තකප්‍රාප්ත වන ශුභ ලකුණු දිස් විය. හාරන පස්වලින්, ගරන ගල් කැටවලින් රත්රන් මතු වෙවී එයි. ගල්පර බිඳෙන ගල් බෝරෙන් දෙපළු වන ගල් කුට්ටි මධ්‍යයේ රත්රන් දිලිසෙයි. මුළු පතල් දෝනාව පුරාම රත්පැහැ ගැන්වෙයි. හැමගේම සතුට සොම්නස දෝරෙ ගලා යයි.


 පොළොව හාරා ගන්නා විශාල ගල් කැබලිවලට කඩා ගැනේ. ඒවා නැවත කිසියම් උපකරණයක ආධාරයෙන් සිඳ බිඳ සිනිඳු වැලිකැට බවට පත් කරයි. මේ වැලිකැට නැවත දියකර ද්‍රාවණයක් බවට පත්කර එයට අවශ්‍ය ප්‍රමාණයට උෂ්ණත්වය ලබාදෙයි. ඒ වැලි ද්‍රාවණය ඝන රත්රන් කැබැල්ලක් බවට පත් කෙරේ. අතීතයේ උෂ්ණත්වය ලබා දීමට යොදා ගත්තේ දර වුවත් පසුකාලීනව ඒ සියලු කටයුතු උදෙසා නවීන යන්ත්‍ර යොදාගත්හ.


මේ ක්‍රියාවලිය එදා සිදුකළ අන්දමටම ලෝකවාසීන්ට දැක බලා ගැනීමට මේ රත්රන් ගම්මානයේ සියලු කටයුතු ඒ ආකාරයටම අදත් ප්‍රදර්ශනාත්මකව ක්‍රියාත්මකව පවතී.
පාසල, දේවස්ථානය හැරුණු විට ක්‍රීඩා සඳහා ද වෙනම ගොඩනැගිල්ලකි. පාරු වැනි හාරන ලද දිග ලී කිහිපයක් දිගේ විශාල යකඩ බෝල යවා අපේ මට්ට කැඩීම වැනි ක්‍රීඩාවක් එහි එදා සිදුකෙරුණි. අදත් ඒවා එලෙසින්ම පවතී. දාන් ඇදීම. පංච දැමීම, කාඩ් ක්‍රීඩාව වැනි ක්‍රීඩා ද ඒ ක්‍රීඩාගාරය තුළ සිදුව ඇත.
නිදහසේ පොත්පත් කියවීමට අවශ්‍ය ඊට  රුචිකත්වයක් දක්වන අයට පොතපත ලබාගෙන කියවිය හැකි අගනා පුස්තකාල ගොඩනැගිල්ලක් ද වේ.
 රෝගීන් සඳහා වෙන්වූ ආරෝග්‍ය ශාලාවක්, මත්පැන් අවශ්‍ය අයට ඒ සඳහා මත්පැන් හලක්, නාට්‍ය රඟ දක්වන අයට රංගන ශාලාවක්, ආහාර ලබා ගැනීමට භෝජනාගාරයක් ඇතුළු ජන ජීවිතයට අවශ්‍ය බොහෝමයක් සඳහා පහසුකම් රැසක් ද මේ ගම්මානයේ දක්නට ලැබේ.


 පතල් හාරාගෙන යද්දී බොහෝ විට පස් කඩා වැටී ඒවාට යටවන අය එදා අඩුවක් නොමැතිව සිටි බව කියැවේ.
මෙවැනි දෑ නොසිදුවීම සඳහා ඔවුහු අරුම පුදුම උපක්‍රමයක් පසුකාලීනව යොදාගත්හ. කිසියම් කෙනෙක් භූමදාන කළ විට මියගියා යැයි සැක කෙරෙන තැනැත්තාගේ අතේ ලණුවක් ගැට ගසයි.  අනෙක් කෙළවර සීනුවක බැඳ සීනුව මිනී පෙට්ටියට යට කළ ආසන්නයේ එල්ලයි. ඔවුන් එයින් අපේක්ෂා කර ඇත්තේ කිසියම් ප්‍රමාද දෝෂයකින් කෙනෙක් මියයාමට පෙර මිහිදන් කළ විට, සිහිය විත් අතපය සොළවා දැඟලීමක් කළහොත් එළියේ ඇති සීනුව නාද වී එය කාගේ හෝ කන වැකී මිහිදන් කළ නොමල පුද්ගලයා බේරා ගැනීමය. වැළලූ පුද්ගලයින් කිහිප දෙනෙක්ම මේ සීනු හඬින් බේරාගත් බව ද අසන්නට ලැබුණි. වැසි සහ ශීත කාලගුණය භූමදාන කටයුතු සඳහා බොහෝ බාධා එල්ල කළ බැවින් මෘතදේහ වළ අසළට රැගෙන යාමට අශ්වයින් බැඳි වෙනමම කරත්ත වර්ගයක් පිළියෙල කර දී ඇත.


චීන ජාතිකයන් ග්‍රාමීය ලෙස අවම පහසුකම් සහිතව දැඩි අවදානම් සහගතව පවත්වාගෙන ගිය රත්රන් කර්මාන්තය ඕස්ට්‍රේලියානුවන් අතපත්වීමත් සමඟ විශාල වෙනසකට පත් වී තිබූ බව මැනවින් පෙනී යයි. ක්‍රමානුකූලව සහ සැලසුම් සහගතව අවම අවදානමකින් යුතුව සියල්ල සිදුව තිබේ. ලී දඬුවලින් වුවත් සියලු ගොඩනැගිලි නවීනාකාර පෙනුමකින් යුතු ඒවා විය. ඇතැම් ගොඩනැගිලි ශතවර්ෂ ගණන් පැරණි වුවත් දිස්වන්නේ මෑතකදී ඉදිවූවා සේය. ශේෂව පවතින ඇතැම් චීන ගොඩනැගිලි දෙස බැලීමේදී ප්‍රාථමික අවධිය මැනවින් පැහැදිලි වේ.


 ප්‍රදර්ශන කුටිවලින් ඇතැම් කුටි නරඹන්නන්ගේ සිත් තුළ දිගු කලක් නොමැකී රැඳී පවතිනු ඇතැයි මට සිතේ. ඒ තරමටම ඒවා ඉදිරිපත් කරන්නා නරඹන්නන්ගේ සිත් ප්‍රබෝධමත් වන අන්දමට ඉදිරිපත් කරයි. නිදසුනක් ලෙස ඔවුන් එදා ආහාර පිළියෙල කරගත් අන්දම සඳහන් කළ හැකිය. පීසා වැනි ආහාර, චොකලට් ආදිය ඒ මොහොතේම සකස් කර ගනිමින් සිත් ගන්නාසුලු විලාශයට නරඹන්නන්ට ඉදිරිපත් කරයි.
 ඒ මොහොතේම ගලක් කඩා කුඩු කොට ගල්වැලි බවට පත්කොට දිලිසෙන රත්රන් පොලු කැබැල්ලක් විජ්ජාකරුවෙක් ලෙස නරඹන්නන්ට පෙන්වනු ලබන කුටියත් විස්මිතය. විවිධාකාර විහිළුතහළු කරමින් ඇතැම් විට භීතියත් ත්‍රාසයත් ඇතිවන අන්දමින් රඟපාමින් දක්වන චරිත නරඹන්නන්ගේ නෙත් සිත් තුළ කාලයක් රඳනු නොඅනුමානය.
ආර්ථික වශයෙන් වාසි ගෙනදෙන කර්මාන්තයක් වශයෙන් අගනා වටිනා කර්මාන්තයක් ලෙස රත්රන් කර්මාන්තය හැඳින්වුවත් එය ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සිදුකෙරෙන්නක් බව මොහොතකටවත් අමතක නොකළ යුතුය. 


ලෝකයේ සෑම රටකින්ම වාගේ මේ රත්රන් ගම දැකබලා ගැනීමට විශාල පිරිස් ඕස්ට්‍රේලියාවට පැමිණෙති. අසන්නට ලැබුණු අන්දමට ඇතැම් දිනවල මේ පැමිණෙන පිරිස් ලක්ෂය ඉක්මවන තරම්ය. ප්‍රදර්ශන කුටි රාශියකි. ඒ සියල්ලම නැරඹීමට මැනවින් මාර්ග පහසුකම් සලසා ඇත. රත්රන් බිමට කිසිම වාහනයකට ඇතුළුවීමට අවසර නොලැබේ.
රත්රන් ලබාගන්නා පතල් කිහිපයක්ම දැනටත් ප්‍රදර්ශනය කෙරේ. මීටර් සිය ගණනක් පොළොව යටට කොටස් වශයෙන් රැගෙන යයි. ඒ සෑම කණ්ඩායමක් භාරවම නිලධාරියෙක් හෝ නිලධාරිනියක් පැමිණේ. ඒ අයගේ උපදෙස් අකුරටම පිළිපැදිය යුතුය. එක් පතලක් කරා පඩිපෙළක මාර්ගයෙනුත්, තවත් පතලක් කරා යන්ත්‍රයක ඩක්කුවක් මත වාඩි කරවා පහළට රැගෙන යාමත් සිදුකරති. පොළොව යට පස් කපා, ගල් කඩා රත්රන් ගන්නා අන්දම නිලධාරිහු මැනවින් පැහැදිලි කරති. දෝනාවේ බිත්ති පුරාවටත්, ගල් කැටවලත්, බිමත් රත්රන් දක්නට ලැබුණත් ඉන් කුඩා කැබැල්ලක් හෝ කඩා ගැනීම, රැගෙන යාම සපුරා තහනම්ය. පොළොව මතුපිට සිට පතල කරා ගමන් කෙරෙන උමඟ දෝනාව අඩි තුන හතරකට වඩා පළල නැත. මේ පටුමග අඩ අඳුරේ පවතී. බොහෝ තැන මඟ පවා හරිහැටි නොපෙනේ. 


සුවදායක ශීත දේශගුණයෙන්, විවිධ පාටැති මාලාභරණයෙන් සැරසුණු නෙත් පිනන ගහකොළින් විසිතුරු වූ සුහදශීලි ප්‍රසන්න සුන්දර මිනිසුන්ගෙන් පිරුණු ලස්සන ඕස්ට්‍රේලියාවට සංචාරයක් සඳහා අවස්ථාව ලදහොත් ඔබත් බලරැට් හි පිහිටි මේ රත්රන් කන්ද, රත්රන් ගම්මානය නොවරදවාම නැරඹීමට යන්න.

 

 

 

■ හේරස් ප්‍රනාන්දු,
කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති



අදහස් (0)

ඔස්ට්‍රේලියාවේ රත්රන් කන්ද

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3950 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 56 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1504 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 479 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 172 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 282 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 469 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site