IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


අයිස් මෝල හන්දියේ අතුලයගේ කතා සයුර

සුද්දන්ට එදා ආඩම්බර වීමට බලගතු හේතු තුනක් තිබුණේය. පළමුවැන්න විලියම් ෂේක්ස්පියර්ය. දෙවැන්න ඔවුන්ගේ “හිරු නොබසින අධිරාජ්‍යයය.’ තෙවැන්න ක්‍රිකට්ය.  


ෂේක්ස්පියර් ඔවුන්ට බොහෝ කාලයකට ඉහතදීම අහිමිව ගියේය. හිරු නොබසින අධිරාජ්‍යය අතීත සිහිනයක් පමණි. ඉතිරිව තිබුණේ ක්‍රිකට් පමණි. ලංකාව වැනි ආසියාතික රටවල් ලෝක කුසලාන දිනාගැනීමත් සමග ඔවුන්ට ආඩම්බරයට තිබුණු අන්තිම සාධකයත් නිෂ්ප්‍රභ විය.  


ඔවුන් යටත් විජිත ශ්‍රී ලංකාවට ගෙනා විජාතික ක්‍රිකට් ‘බූදලය’ ලියා පවරා ගියේ මෙරට කළු සුද්දන්ටය. එම ‘බූදලය’ පසුව සුපිරි පාසල්වලින් ආ කළු සුද්දන්ගේ පුත්‍රයන් අතට පත්විය. 


එහෙත් ආනන්ද - නාලන්දා - මහින්ද - ධර්මාශෝක ආදී පාසල්වලට ගිය බයියන්ගේ පුතුන්ට ක්‍රිකට් වරම් පවරා දීමට කිසිවකු සිටියේ නැත. අල බතල කා ගම්මැද්දේ දුව පැන ඇවිදි ඇළේ දොළේ පැන නා කියාගත් බයියන්ගේ පුත්තු දෑතේ  හයියෙන් - වෙර වීරියෙන් දස්කම් පා ක්‍රිකට් සියතට ගත්හ. 


ඊයේ පෙරේදා මගේ මිතුරා බුද්ධි - බුද්ධදාස ගලප්පත්ති ‘අයිස් මෝල හන්දියේ අතුලයගෙ කතා සයුර’ නම් අමුතු නමක් ඇති පොතක් මට තිළිණ කළේය. එය කියවා බැලූ කල්හි, මට හිතුණේ එම කෘතිය ක්‍රිකට් සූර අතුල සමරසේකරගේ ජීවිත කතාව කියාය. එහෙත් කියවූ පසු එය ක්‍රීඩා සාහිත්‍ය කෘතියක් ද - චරිතාපදානයක් ද - ක්‍රිකට් විචාර ග්‍රන්ථයක් ද - රස කතා එකතුවක් දැයි මට වර්ගීකරණය කළ නොහැකි විය. හැබැයි එය හුදෙක් රසවත් කෘතියක් ද නැතහොත් සමාජ පන්ති පරතරය පිළිබඳ කතන්දරයක් දැයි කිව නොහැක.  
ගමේ කමතේ ‘පොල් පිති බැට් - කදුරු බෝල්’ ගසා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ රට වෙනුවෙන් ක්‍රිකට් ගැසිය හැකි බව ඔප්පු කර පෙන්වන පොතකි. කොළඹ තරු පහේ හෝටල්වලදී යුග දිවියට පිවිස ඇතැම් පවුල් අවුල් කරගන්නවා වෙනුවට, හද්දා පිටිසර ගොමිල ගමේ ගෙදර මඟුල් කා සාර්ථක යුග දිවියක් ගත කළ හැකි බවද මේ පොත ඔප්පු කර පෙන්වා දෙයි.  


අයිස් මෝල හන්දියෙ අතුලයා සිය පොතේ පෙරවදනේ මෙසේ සඳහන් කරයි.  


“මම ලියන්නෙක් නොවෙමි. දෑතේ වීරියෙන් දරු පවුලත් රැකගෙන පුළුවන් විදියට අනුන්ට උදව්වකුත් කරගෙන, ඉඳහිට කලාවේ සෞන්දර්යත් විඳගෙන සොමියේ ජීවත් වන්නෙක්මි. 
ඔහෙලා හැම දෙනාම අප වැනි උන්ව දුටුවේ හරි, දකින්නෙ හරි කිරි කොක්කු වගේ ජැන්ඩියට හැඳ පැලඳගෙන කෑගසමින් බල්ටි ගසමින් ශිල්ප පෙන්වන අද්භූත එකොළොස් දෙනෙක් විදියට. මාර පොරවල් විදියට. ඇත්තට නම් අපිත් බොහෝ ….......... සාමාන්‍ය  මිනිස්සු කියන එක විතරයි. හයේ සීමාව ඇතුළෙ විතරයි. මට ඕනෑ කරන්නෙ මා තුළ ඉන්න ඒ සාමාන්‍ය මිනිහව ඇදලා අරන් කණපිට ගහලා ඔබට පෙන්වන්න. 


ඔහුගේ මේ වෑයම අවංකය අව්‍යාජය. මේ පොත රාජාභරණයෙන් සැරසී කිරුළු පැලඳි පුද්ගලයකු රජ ඇඳුම් උනා සරමකින් හා බැනියමකින් සැරසී පෙනී සිටීමක් වැනිය.  
1992 ලෝක කුසලානයට තරග වැදුණු මේ දීඝජන්තුවා මහානාම හා එක්ව ‘ඕපනිං’ ඇවිත් පළමු විකට්ටුවට ලකුණු 128 ක් රැස්කර ගනිමින් නරඹන්නන් මවිතයට පත් කළේය. 
ගාල්ලේ චීනකොරටුවේ අයිස් මෝල හන්දියේ වක්වැල්ල පාරෙන් එක පැත්තක සෙල්ලම් පිට්ටනියක් පිහිටුවා තිබුණේය. ගමේ ක්‍රිකට් ‘ටීම් එක’ එක් රැස්වෙන්නේ එතැනය. ගෙදර ළඟ කොල්වින් අයියා ස්ලිප් කැච් ගන්න රුසියා. චුට්ට අයිය තමයි හයි කැච් ගහන්නෙ තිතට. දෙන්නම දෙන්නෙ බලන් ඉන්න එවුන්ගෙ අත් ඉදිමෙන්න. අඬ අඬ අල්ලනව. ඉතිං ගෙදර යනකොට අත් කුෂන් කරලා වගේ.  


ඉස්කෝලෙ කාසි නොගෙව් නිසා පුහුණුව නැවැත්තුවෙත් පොල් වත්තෙයි - පන්සල් වත්තෙයි - පල්ලිය වත්තෙයි - කුණු වත්තෙයි - පට්ටියමුල්ලෙයි - කොටු තාප්පෙ අයිනෙයි - ආමි කෑම්ප් එක පහළයි - කොටුවෙ අක්‍රම්ගෙ ගෙවල් ඉස්සරහ පාරෙයි - පේඩි කුඹුරෙයි - ලැන්ග්හැම් වත්තෙයි ඉඩ ලැබුණු හැම තැනකම ඉඩ ලැබුණු වෙලාවට කවුරුත් නැත්නම් බෝලයක් මේස් එකක දාගෙන දෙල් ගහක එල්ලා පතුරු යනකං ගැහැව්ව තනියෙන්ම.  


මේජර් ජී. ඩබ්ලිව්. එස්. ද සිල්වා නොහොත්, මේජර් සිල්වා අතුල ලවා ග්‍රාම සේවක සහතිකයක් ගෙන්වාගෙන යළිත් ඔහුට නැවැත්වූ පාසල් ක්‍රිකට් පුහුණුව ලබා දුන්නේය.  
අතුල කියන්නෙ මේජර් සර්ට ඒ උත්තමයට සදා ණයගැති බවයි. මේ ආත්මෙහි නම් ණය ගෙවා ගන්න බැරි වූ බවයි.  

 


අතුලගේ ගමනේ ආරම්භයයි ඒ.  


අතුල සෙල්ලමට වගේ කලක් තිස්සේ මුහුණු පොතට ලියූ ලියවිලි මේ පොතට ඇතුළත් බවත් ක්‍රිකට් ක්‍රීඩාවත්, ජීවිතයත් කොතරම් සංකීර්ණ ද යන වගත් කොතරම්  සරල ද යන වගත් එක සැරේ කියන කෘතියක් බවයි මට හැඟුණේ. මුහුණු පොතට ඇබ්බැහියක් නැති මට, ඉඳහිට එහි සැරිසරද්දී රසවත් විය හැකි ලියවිලි ද දිවිහිමියෙන් මතක තබාගත  යුතු අන්දමේ අනගි ලියවිලි ද ඉඳහිට මුහුණු පොතේ හමු වී ඇත. අතුලගේ මේ මුහුණු පොතේ සටහන් පහළ මධ්‍යම පාන්තික තරුණයකු අනේකවිධ බාධක අවහිර මැද්දේ ගිය සාර්ථක චාරිකාවක පිය සටහන් ලෙස ද සැලකිය හැකිය.  


ඔහුගේ කෘතියේ ගමේ රසකතා ඇත. ක්‍රිකට් පිටියේ රසකතා ඇත. ජීවිතේ දුක් දොම්නස් ඇත. බාධක කම්කටොලු ඇත. තේරීම් කමිටුව ගැන ක්‍රිකට් ඉතිහාසයේ සන්ධිස්ථාන ගැන මතක සටහන් ඇත. සිදු වූ අකටයුතුකම් ඇත. ක්‍රිකට් තරගවලට රට රටවලට ගොස් මුහුණ පෑ ගැටලු ඇත. එහෙත් ඒ කිසිවකු ගැන ද්වේෂයක් නැත. 


පසුතැවිල්ලක් - දුකක් - වේදනාවක් - ගැටීමක් නැත. ඒ හැම දෙයක්ම සිනාමුසු මුහුණින් දකින්නට සමත්කමක් ඔහුට තිබේ. එය කෙනෙකුගේ දුර්ලභ ගුණයක් ලෙස මට හැඟේ.  
ඔහු කියන ගමේ එක්තරා රස කතාවක් මෙසේය.  


ඉස්කෝලේ ‘ෆෝමල්’ එක දවසේ මිතුරකුගේ අම්මා තම්බා දුන් මඤ්ඤොක්කා කොච්චි සම්බෝලයක් සමග කා කිලෝ මීටර හත අටක් පයින් ඇවිත්, ප්‍රින්ස් එකේ ගැලරියේ ශත 55 ට නමයයි තිහේ චිත්‍රපටයක් බලා රෑ දෙගොඩහරියේ එද්දී, කැනල් පාරේ තුංමං හන්දියේ දමා ගිය පිදේනි තටුවට ඔට්ටු වූ හැටි අපූරුය. ඔහුගේ වචනයෙන්ම කියතොත්. 


ඉතිං තුංමං හංදිය …...... ඵයි.  
හන්දිය අයිනෙ තිබුණේ වීදි ලාම්පුව විතරයි 
ඒකත් මක්කවත් නැතිවට හොඳයි 
පිදේනි තටුවෙ බැදපු මස් ජාති 
තමයි වැඩිය තියෙන්නෙ 
ඇට්ටෝම් පිඟානක් වගේ තමයි 
කෑම පුරවල - කිරි පැණි සමග 
තටු තියපු අය උදේ ඇවිල්ල තටුව බැලුවම සන්තෝස වෙන්න ඇති 
ඇයි පස් පාටින් තිබුණු මල් ටිකයි 
හඳුන්කූරුයි විතරයි ඉතුරු 
පිදේනි ටික මළ පෙරේතයො 
කාලා ගිහිල්ලනෙ 


අතුල කියන්නේ අද වෙනකං තමන්ට ඉහෙන් බහින රෝගයක් නැති බවයි. 


1983 වර්ල්ඩ් කප් ගහන්න යන්න පාන්දර සූට්කේස් එකත් උස්සගෙන මාර්ග අංක 115 පිටකෝට්ටෙන් පිටත් වෙලා, ඇදගෙන යන්න රෝද නැති බෑග් එක අත්දෙක මාරු කර කර උස්සන් යනවා. අමාරු වුණාම බිම තියලා රෙස්ට්. ගමන පරක්කු නං අත කැඩුණත් උස්සන් යනවා. එයාර් පෝට් එකට නම් මණ්ඩලෙන් ගමන් පහසුකම්. 
ටැමිල් ක්ලබ් එකෙන් ඉල්ලගත්ත බැට් එක ක්ලබ් එකෙන් ඉල්ලගත්ත පෑඩ්ස් දෙක මැදින් බැට්ටෙක තියල බකල් දාල හිර කරලා, යාළුවකුගෙන් ඉල්ල ගත්ත සූට්කේස් එකට රිංගව ගත්තා. නුවරඑළියෙ පේමන්ට් එකෙන් ලාබෙට ගත්තු සීතලට අඳින ජැකට් එකකුත් බස්ස ගත්තා. දැන් බෑග් එක පැක්.  


ඔහු තමන්ගේ නැති බැරිකම අව්‍යාජ ලෙස කියාපායි. ජුබිලි කණුවෙ කුලී ගෙදර ජනෙල් හිල්වලින් ෆුල් ඒ.සී. වතුර අත ළඟ. බාල්දිය ළිඳ ළඟ. ඒක නැත්නම් ටිකක් එහා තවත් ළිඳක්. වැසිකිළි දොර තාම මොරටුවෙ හදන්න ලී ඉරන්න සිංහරාජෙන් ගහක් හොයනවා. දොර රෙද්ද ගලවල වැසිකිළි දොරට එල්ලලා තමයි ඇතුළට යන්නෙ. සද්දෙට සිංදු ගහගෙන ඉන්නවා. ඉතිං කවුරුත් ටිකක් වෙලා එළියෙ ඉන්නව. මේ සියලු ගැහැට - අඩුපාඩු ගැන ඔහු කියන්නේ සියුම් උපහාසයකින්. 
සිලෙක්ටර්ලා (20) ගැන ඔහුගේ විවේචනය දරුණුයි. ඒත් ඔහුගේ ලියවිල්ල හාස්‍යය මුසුය. 


රොෂාන් මහානාමත් එක්ක නවලෝක රෝහලට යද්දි ලිෆ්ට් එකේදි සිලෙක්ටර් කෙනෙකු මුණගැසේ. රොෂාන්ට හලෝ කී ඔහු, මා අමතා “උඹත් ක්‍රිකට් ගහන එකෙක්දැයි” ඇසීය. “ඔව් සර් අපි දෙන්නා මේ දැන් ට්‍රයල් මැච් එක ඉවර වෙලා ආවෙ.” ඔහු මගේ නම ඇසීය. මම අතුල... අතුල සමරසේකර. මේ සිද්ධියට මහානාමත් මමත් බඩඅල්ලාගෙන සිනාසුණෙමු. ඒ එතන ක්ෂණික හාස්‍යයක් දුටු නිසාය. ඒ සමගම එහි කාලීන සිරා පැත්තක් ද අපට වැටහිණ. සිරා පැත්ත නම් හරිම භයානකය. ඒක මුළු ලංකාවෙම ක්‍රිකට්වලට බලපාන දෙයකි. 


“ඇයි යකෝ මුං ප්ලේයර්ස්ලා අඳුරන්නෙත් නෑ. ට්‍රයල් මැච් ගහනව දන්නෙත් නෑ. හැබැයි සති අන්ත කණ්ඩායම් තෝරන්න එන්නෙ මේගොල්ලො.”  
1983 බන්දුල වර්ණපුරලාගේ දකුණු අප්‍රිකානු සංචාරය ගැන ඔහුගේ නිගමනය උපේක්‍ෂාසහගතය.  
අසූ දෙකේ අග කැරලිකාර දකුණු අප්‍රිකානු සංචාරය. අපේ රොත්තක්ම එහේ. අප්‍රිකාවෙ වයිල්ඩ් ලයිෆ් බලන්න ගිහිල්ලා. එයාලට එහෙ යන්නත් එයාලගෙ පැත්තෙන් බැලුවම සාධාරණ හේතු තිබුණා යනුවෙනි. 
භාෂා ප්‍රශ්නය නිසා ඇති වූ ගැටලුවලට මුහුණ දුන් හැටි වගේම ‘සුද්දන්ව ඇන්දූ’  හැටිත් ඔහු සඳහන් කරයි. පියාත් මවත් තරගය බලන්න එනවාදැයි සුද්දන් ඇසූ විට ඔහු දුන් පිළිතුරුයි මේ. 


 පියා ගැන ඇසූ විට,  

My dad cant come. He is looking after the Kankung plantation. He has to be there to harvest the crops, 
ඊළඟට සුද්දන් අසන්නේ මව එන්නේ දැයි කියාය.  
ඔහු දෙන පිළිතුර 
How about your mom? 
Oh she might drop in on her way to Paris. 
What is she doing in Paris?   
ඔහු දෙන පිළිතුරයි ඒ.  


මව නිරූපණ ශිල්පිනියක හෙයින් පැරීසියට යන අතරතුර මැච් එක බලන්නට එන බවයි ඔහු කියන්නේ.  


අපේ එවුන් බලනකොට බොකු බඩවැල් අතින් අරන් හිනාව. තමන්ට සිදු වූ අකටයුතුකම් ඔහු සිහි කරන්නේ පුදුම උපේක්ෂාවකිනි.  
ඔහු මුලින්ම සංචිතයට එන්නේ 1982 දීය. අවසන් කරන්නේ 1992 දීය. ඉන්පසු අවුරුද්දක් ඔහු විදේශගතව සිටී. පෙරළා විත් 1994 දී සාජා යන්නෙත් මතභේද මැද්දේ ලද ‘පොට්ට චාන්ස්’ එකකිනි. ඒත් තර්ජන මැදය. ඔහු එය බාරගන්තේ “මම ඉතින් අයිස් බෝල  හන්දියෙ  අතුලයනෙ” යන සැහැල්ලු අදහසිනි.     


ඔහුගේ මතකය “මම අවුරුදු 12 ක් පමණ සංචිතයේ. මේ කාලෙ ඇතුළත ටෙස්ට් මැච් හතරයි මගෙ නමට. එක් දින තරග නමයයි. දිනවලින් බැලුවොත් දින 43 ක ජාත්‍යන්තර ක්‍රිකට්. ඒත් අවුරුදු දොළහකට අධික කට්ට.” ඔහු හිත සැහැල්ලු කර ගන්නේ එම වදනිනි.  


ඔහු වචන කිහිපයකින් ඔහුගේ ක්‍රිකට් කැපවීම මෙහි සටහන් කර ඇත. 


සිංහය පපුවෙ ගහපු 
කමිස තිබුණෙ නෑ 
හැබැයි සිංහයා 
අපේ පපුවල 
අපි කොටාගෙනයි හිටියෙ   (පිටුව 122) 


මුහුණු පොතේ බස වැනසෙන හැටි මා එහි සැරිසරන හැම විටම දකින්නට ඇතත්, අතුල සමරසේකර කතා සයුරේදී අපූරු වාග් ප්‍රයෝග භාවිත කිරීම මගේ සිත් ගත්තේය. 
නිදාගන්න අවශ්‍ය වුණේ නිදිමත විතරයි. 


පිදේනි තටුව හරියට ඇට්ටෝම් පිඟානක් වගේ කෑම ජාති පුරෝලා. 
ඒ වෙලාවෙ සූකිරිත් තිත්තයි. 
තේ එක පේන්නෙ කෝපි එක වාගෙ. 
ඉල්ලීමක් කළා - අම්පයර් අවුට් දුන්නා. 
ඌ අවුට් දුන්නෙ නැත්තං මම තාම ගහනවා. 
බැට්වල අඩුවක් නෑ. 
ලයිෆ්ටයිම් ස්පොන්සර්ෂිප් පොල් ගහෙන්. 
ලොක්කි රෝසි - පොඩ්ඩි  මැණික. දෙන්නම කිරි ගරුඬ රූප වගේ.  
නයිලෝන් අතපය බලා ඉන්න ආසයි. 
වෙස්ට්මිනිස්ටර් පොරවල් වුණාට උනුත් ඕපදූප හට්ටි. 
දුරදිග නොබලා ‘අලකපන’ තේරීම් කමිටු 
හෝල් සේල් ගානට රස්නේ. 
මාමයි තාත්තයි පොළඟගෙ අනාගතේ බාරගත්තා. 
පව් අහිංසකයා එදයින් පස්සෙ හුස්ම ගත්තෙ නෑ. 


මං ඒ කාලෙ කොච්චර අහිංසකද කිව්වොත් කන්නෙත් හා මසුයි බෝකොල මැල්ලුමයි විතරයි. 


තරගයේ වීරයා කප් එකක් කරගහගෙන රෑ නමයත් පහුවෙනතුරු බස් හෝල්ට් එකේ සිටි හැටි - ෆිට්නස් තියාගන්න විකට්ටුව තළන ගල් රෝල ඇදගෙන ගිය  හැටි - කාඩ් එකට දෙන පාන් එකතු කර විකුණා බූට් සපත්තු දෙක ගත්ත හැටි - සිංහල අමතක කළ ඉංගිරිසි බඩයන උද්ධච්චයකුට දුන් අතුල් පහර - “කාල් ගාන්න” දිගු සංස්කෘතියක් නැති රටක් ලෝක ක්‍රීඩකයන්ගෙ අගනගරය වූ හැටි සාරා කුසලානයට තරග කරන්න පාන්දර හතරට ආර්පිකෝ බඩු ලොරියෙ නිදි කිර කිර කොළඹ ආ හැටි අතුල මෙහිදී රස කර කර කියයි. 
බුද්ධදාස ගලප්පත්ති සංස්කරණය කළ “අයිස් මෝල හන්දියෙ අතුලයගෙ කතා සයුර” ක්‍රිකට් ලොව රස කතා කැමති අයට රස සාගරයකි. ක්‍රිකට් ගහන කෝඩුකාරයන්ට එක්තරා විදියක අත්පොතකි. ජීවිතාදර්ශයක් පතා කියවන්නෙකුට සාර්ථක ගමනක් ගිය ක්‍රිකට් ක්‍රීඩකයකුගේ චරිතාපදානයකි. ආරලු බූරලු නැති සරල - සැනසිලිදායක පවුල් ජීවිතයක් ගෙවන හැටි කියාදෙන අමුතු තාලේ මාර්ගෝපදේශකයෙකි.

 

 

 



අදහස් (0)

අයිස් මෝල හන්දියේ අතුලයගේ කතා සයුර

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3949 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 55 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1502 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 479 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 172 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 282 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 466 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1895 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1680 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site