IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


අදටත් සුන්දර මතක ගෙනෙන හැමිල්ටන් ඇළේ පාරු ගමන්

එදා හැමිල්ටන් ඇළ

පාරු ඇළේ අද තත්ත්වය

 

ඕලන්ද ජාතිකයින් මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන වකවානුවේම වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කැලණි ගඟ මුහුදට වැටෙන මෝදර ප්‍රදේශයේ සිට පුත්තලම දක්වා ඇළ මාර්ගයක් තනා ඇත.


බස්නාහිර පළාත සහ වයඹ පළාත යා කරමින් තනා ඇති මෙම ඇළ, ඕලන්ද ඇළ ලෙස හඳුන්වනු ලබයි. සමහරුන් මෙය හැමිල්ටන් ඇළ ලෙස ද හඳුන්වනු ලබන්නේ මෙරට යටත්විජිත දේශීය ආදායම් සහ වාණිජ කටයුතු භාර නිලධාරිවරයා වශයෙන් සිටි හැමිල්ටන් මහතාගේ මූලිකත්වයෙන් මෙම ඇළ කැපීම ආරම්භ වූ නිසා බව ඉතිහාසයේ සඳහන් වේ.


මෙම ඇළ දිගේ වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදා ගත්තේ පාරු නිසා මෙය පසු කලක පාරු ඇළ ලෙස ද හැඳින්විණි. ඕලන්ද ජාතිකයන් විසින් මෙම ඇළ තනා ඇත්තේ බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ පිහිටා ඇති කළපු සහ ගංගා සම්බන්ධ කරගනිමිනි.
පසු කලෙක, ලංකාව ඉංග්‍රීසි ජාතීන්ගේ පාලනයට නතුවීමෙන් පසු මෙම ඇළ මාර්ගය ඔවුන් විසින් සංවර්ධනය කොට පවත්වාගෙන ගොස් ඇති බව පාරු ඇළට සම්බන්ධ ඓතිහාසික තොරතුරු වාර්තාවල සඳහන් කර ඇත.


ඈත ඉතිහාසයේ, ඉතාමත් අලංකාරව පැවැති පාරු ඇළ, වසර ගණනාවක් තිස්සේ වල්බිහි වී ජරාවාස වී ගොස් ඇති ආකාරය දැකගත හැකිය.
ජපන් ජබර නමැති ජලජ ශාකය, පාරු ඇළ ගිලගෙන තිබෙන ආකාරය ද දැකගැනීමට පුළුවන.
මදුරු ආකර බවට වර්තමානයේ පත්ව තිබෙන පාරු ඇළ, එහි දෙපස ජීවත් වන අයගේ සෞඛ්‍යයට ද බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව ඇළ අවට පදිංචි අය පෙන්වා දෙති.
පාරු ඇළේ බොහෝ තැන් ජලය සිඳී ගොස් ගොඩ වී තිබේ.


බී.එම්. දයාසේන මහතා පාරු ඇළ ආසන්නයේ පදිංචිව සිටින, දරුවන් අට දෙනකුගේ පියෙකි. මේ වනවිට අවුරුදු 90ක වයසේ පසුවන ඔහු පදිංචිව සිටින්නේ නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයට අයත් කුඩාවැව කියන ගම්මානයේය.


පසුගිය සතියේ අප ඔහුව සොයා ගියේ එදා පාරු ඇළේ පාරු ගමන් ගත් ආකාරය සහ ඒ හා සම්බන්ධ රසවත් තොරතුරු දැනගැනීම සඳහාය.
ඒ මහතාව අපට හඳුන්වා දෙනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර මේ වනවිට විශ්‍රාම ලබා සිටින, කුඩාවැවේ පදිංචි ඩී.එම්. රෝහණ දිසානායක මහතාය.
“මම උපන්නේ 1933 වසරේ මාර්තු මාසයේ දොළොස් වැනිදා. මම ඉගෙන ගත්තේ හලාවත සාන්ත මේරි විද්‍යාලයෙන්. එස්.එස්.සී. විභාගය පාස් වුණා. ඒ කාලේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සිංහලෙන් කතා කරන්න තහනම්. සිංහලෙන් කතා කළොත් එක සිංහල වචනයකට සත පහක දඩයක් නියම කරනවා. ඒ කාලෙ බ්‍රදර්ස්ලා තමා ඉස්කෝලේ ඉගැන්නුවෙ” යැයි කියමින් දයාසේන මහතා පාරු ඇළ සම්බන්ධ ඔහු දන්නා තොරතුරු අප සමග කියන්නට ආරම්භයක් ලබා දුන්නේ ය.
අවුරුදු 90 වයසේ පසු වුවත් ඔහුට හොඳ මතක ශක්තියක් තිබේ.


“ඒ කාලේ පාරු ඇළ අද වාගේ ජරාවාස වෙලා මේ වගේ තත්ත්වෙක තිබුණේ නැහැ. බලන්න හරිම ලස්සන පරිසරයක් තිබුණෙ. දවසකට පාරු හත අටක් එහා මෙහා යනවා. පාරුවේ නායකයා තණ්ඩලේ කියන නමින් තමා හඳුන්වන්නේ. තණ්ඩලේ විතරක් නෙමේ, පාරුවේ සේවය කරන අයත් හරිම හැඩිදැඩි මිනිස්සු. මගේ මතකයේ හැටියට, දොළොස් දෙනෙක් විතර පාරුවක සේවය කරනවා. සිල්වා කියන වාසගම තියෙන අය තමා පාරුවල වැඩ කළේ. පාරුවේ යන අයට උයන්න පිහන්න වෙනම කෙනෙක් ඉන්නවා. පාරුව පැදගෙන යන්නේ හබල්වලින්. හබල් ගාන්න බැරි තැන්වලින් පාරුව කඹ දමා ඇදගෙන යනවා. එසේ පාරුව ඇදගෙන යෑමට පහසු වීමට යකඩින් කුඩා පාලම් සාදා තිබෙනවා. එවැනි පාලමක නටබුන් තවමත් අපේ ගමේ තැන් කිහිපයක තිබෙනවා. කළපුව හරහා පාරුව ගමන් කරන්නේ රුවල් යොදාගෙනයි. මම කොලු‍ගැටයා කාලයේ අඳුනන තණ්ඩලේල එක්ක ටික දුරක් යනකම් පාරුවල ගමන් කර තිබෙනවා. මම විතරක් නෙමේ, මගේ වයසේ පසුවෙන යාළුවෝ සමග තමා පාරුවේ ගිහින් තිබෙන්නේ. ඒ කාලේ පාරුවේ යන්න අපි හරිම ආසයි. වැස්සෙන් හා අව්වෙන් බේරීමට පාරුවේ වහලයක් ද තනා තිබෙනවා.


පාරුවල යන අයට උයන කෑම මම කාලා තිබෙනවා. ඒවා හරිම රසයි. පොල් සම්බෝල සහ කරවල තමයි වැඩියෙන්ම කන්නේ.
දවල්ට විතරයි පාරු ගමන් කරන්නේ. රෑ බෝ වීගෙන එද්දි තොටුපොළක එය නතර කර තබනවා. ලන්තෑරුම් එළියෙන් තමා රෑ කාලය පාරුවේ යන අය ගත කරන්නේ. ඇඟේ මහන්සිය, විඩාව යන්නත් එක්ක ඔවුන් රෑට සින්දු කියනවා. අපේ ගමේ රා තැබෑරුමක් ඒ කාලේ තිබුණා. පාරුවේ යන අය ඒ තැබෑරුමට ගොස් රා බොන්නත් පුරුදු වෙලා තිබුණා.
පාරුවේ සේවය කරන සියලු‍ දෙනාම තණ්ඩලේගේ අණට නියෝගවලට හරිම කීකරුයි. ඔහුගේ කීමට පිටින් කිසිවක් කරන්නේ නැහැ. ඔවුන් හරිම කණ්ඩායම් හැඟීමකින් කටයුතු කළා. අපේ මේ ගේ තියෙන තැනට ඉස්සරහින් පාරු ඇළ අයිනේ ගමේ වැඩිහිටි කාන්තාවක් බුලත් පුවක් විකුණන වෙළෙඳසලක් පවත්වාගෙන ගියා. ඒ පුවක් ගෙඩි දමා තිබුණේ සිමෙන්තියෙන් හදන ලද ටැංකියකයි. ඒ ටැංකිය මේ මෑතක් වනතුරු එතන තිබුණා. දැන් එය එතැන නැහැ. පාරුවේ යන එන අයට බුලත් පුවක් විකුණලා ඒ වැඩිහිටි කාන්තාව ජීවිකාව ගෙන ගියා මට මතකයි.”


දයාසේන මහතා පවසන ආකාරයට කොළඹ සිට පුත්තලමට යාමට පාරුවකට දවස් හත අටක පමණ කාලයක් ගතවේ.
තවදුරටත් තොරතුරු හෙළිකරමින් දයාසේන මහතා අප සමග මෙසේ ද පැවැසීය.


“නාත්තන්ඩිය කියන ගම ඒ කාලයේ ඇතිවුණේ පාරු ඇළ පටන් ගත්තට පස්සෙයි. නාත්තන්ඩිය යනුවෙන් අදහස් කරන්නේ නවතින හන්දිය කියන එකයි. නාත්තන්ඩියේ පාර අයිනේ පාරු නවත්තන තොටුපොළක් ඒ කාලේ තිබුණා මට මතකයි. කුඩාවැවේ පොල් මෝලක් තිබුණා. ඒ පොල් මෝලෙන් නිෂ්පාදනය කරන කොප්පරා එහෙම පාරුවලට පටවාගෙන කොළඹ අරගෙන යනවා මට අද වගේ මතකයි.


කොළඹ ඉඳලා පාරු පුත්තලමට යනකොට කුළුබඩු පටවාගෙන එනවා. පුත්තලමේ ඉඳලා ආපහු එනකොට තැන් තැන්වලින් කොප්පරා පටවාගෙන යනවා. කොප්පරා පටවන්න, කුළුබඩු බාන්න තැන් තැන්වල තොටුපොළවල් ඉදිකර තිබෙනවා. ලොරි දෙකක විතර බඩු එක පාරුවක පටවන්න පුළුවනි.
ඕලන්ද ආණ්ඩුව විසින් නිතරම ඇළ අලු‍ත්වැඩියා කළා. සුද්ධ පවිත්‍ර කළා මට මතකයි. ඒ විතරක් නෙමේ, ඇළ ගොඩ වෙන අවස්ථාවලදී ඒ තැන්වල රොන්මඩ ඉවත් කිරීමට කම්කරුවන් යොදවා තිබුණා. මෙම වැඩ ගැන සොයා බැලීමට කංකානම් මහත්වරුන් පත්කර තිබුණා. වලහපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් ද එවැනි කංකානම් කෙනෙක් ලෙස පත් කර තිබුණා. නමුත් දැන් මට ඔහුගේ නම මතක නැහැ. ඔහු යටතේ තමයි කම්කරුවෝ වැඩ කළේ.


පාරු ඇළ නිතරම හොඳ තත්ත්වයක පවත්වාගෙන යෑමට සහ නඩත්තු කටයුතු කරගෙන යන නිසා පාරුවලින් බද්දක් අයකර ගත්තා. බදු ගන්නා එවැනි ස්ථානයක් තුම්මෝදර ප්‍රදේශයේ පවත්වාගෙන ගියා. එක් ගමන් වාරයක් සඳහා පාරුවකින් ඒ කාලයේ සත 35ක බද්දක් අය කරගත්තා කියන මතකය මට තවමත් තිබෙනවා. මේ නිසා පාරු ඇළ ඒ කාලයේ බලන්න හරිම ලස්සනයි. අද පාරු ඇළ පත්ව තිබෙන ආකාරය දැක්කහම කියන්න බැරිතරම් දුකක් කනගාටුවක් ඇති වෙන්නේ.” යැයි දයාසේන මහතා පවසයි.
“මම ඉස්කෝලේ යන කොලුගැටයා කාලයේ බෙහෙත් නෙරෙන්චි සහ කොහොඹ ඇට එකතු කරලා ඒවා පාරුවලට වික්කා. බෙහෙත් නෙරෙන්චි රාත්තලක් ඒ කාලෙ සත දෙක තුනකට විතර වික්කා මට මතකයි. කොහොඹ ඇට සේරුවක් වික්කේ සත 6ක වැනි මුදලකටයි. ඒ කාලයේ හැටියට මේ මුදල ලොකු ගානක්. මේවා විකුණලා ගත්ත සල්ලිවලට කඩචෝරු කෑවා. කොළඹ පැත්තේ තියෙන සිංහල බෙහෙත් බඩු කඩවලට විකුණන්න තමයි පාරුකාරයෝ මේවා අපෙන් මිලදී ගත්තේ. අපිත් එක්ක හිටිය කොලු‍ ගැටව් මේවා හොයලා පාරුකාරයින්ට විකුණුවා. අපිත් එක්ක පාරුකාරයෝ හුඟක් හිතවත් වෙන්න මේකත් බලපෑවා. ඒ හිතවත්කමට තමයි පාරුකාරයෝ අපිව ටිකක් දුර යනකං පාරුවේ ගොඩ කරගෙන යන්නේ. අපි උඩ පැන පැන අත්පුඩි ගසා කවි කියමින් පාරුවේ ගමන් කළා අද වගේ මතකයි. ඒ කාලයේ මතක් වෙනකොට අදටත් හරිම ආසයි.
කුඩාවැවේ අප්පුහාමි කියලා කෙනෙක් ඒ කාලේ හිටියා. මාදම්පේ කේ.ඩබ්ලිව්. කියන කඩේ ඒ කාලයේ කොප්පරා මිල දී ගැනීම සිදුකර තිබෙනවා. ඒ කඩේ ඉඳලා අප්පුහාමි කියන මනුස්සයා ගොන් බැඳි කරත්තයෙන් කොප්පරා පටවාගෙන කුඩාවැවට අරගෙන ඇවිත් පාරුවලට වික්කා.


පාරුවල සේවය කළ කොළඹ අයෙක් කුඩාවැව පැත්තේ ගෙදරක හිටපු රත්ති කියන තරුණිය එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන පසුව ඇය හා විවාහ වී ඒ තරුණියගේ ගෙදර බින්න බැස්සා.


මේ පාරු ඇළ ආයෙත් පෙර තිබූ තත්ත්වයට හදලා ලස්සන කරලා අරගෙන පාරු සේවයක් පටන් ගත්තොත් හොඳයි. අපේ රටේ සුන්දර තැන් බලන්න එන සුද්දන්ට කොළඹ ඉඳලා පුත්තලමට යනකම් ඒ පාරුවල ගමන් කරන්න පුළුවනි. රටට හොඳ ආදායමක් ලබා ගන්නත් පුළුවන් වෙයි කියලා මම හිතනවා. මගේ ඇස් දෙක පියවෙන්න කලින් මේ හැමිල්ටන් ඇළේ පාරු ගමන් කරනවා දකින්න ලැබුණොත් එය කොච්චර වාසනාවක්ද. ආණ්ඩුව කරන ඇත්තෝ මේ ගැන අවධානය යොමු කරනවා නම් ඉතාම හොඳයි.” යැයි කතාබහ නිමා කරන්නට මත්තෙන් දයාසේන මහතා අප සමග පැවැසීය.


ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලක ප්‍රධාන සුළු නිලධාරිවරයකු ලෙස සේවය කර මේ වනවිට විශ්‍රාම ලබා සිටින ඩී.එම්. රෝහණ දිසානායක මහතා අදහස් දක්වමින් පැවැසුවේ මෙවැනි කතාවකි.


“ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රාජකාරි කළ වකවානුවේ මේ ඇළ පටන් ගන්නා වත්තල ඇළකන්ද ප්‍රදේශය දක්වා පාරු ඇළේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළා. මොන හේතුවක් නිසාද කියන්න දන්නෙ නෑ, එතනින් එහාට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවීම නැවතුනා. මේ ඇළ අපේ රටට සම්පතක්. ඇළ සුද්ද පවිත්‍ර කරලා නැවත යථා තත්ත්වයට පත් කර විදේශීය සංචාරකයන්ට කොළඹ ඉඳලා පුත්තලම දක්වා ගමන් කරන්න පාරු සේවයක් ආරම්භ කළොත් රටට හොඳ ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවනි. විදේශ විනිමය උපයා ගැනීමට හැකි වෙන ධන උල්පතක් වේවි. සංචාරක අමාත්‍යාංශයේවත් මේ ගැන අවධානය යොමු වුණොත් හොඳයි.
අපි දන්නා කියන කාලේ ඉඳලා මේ ඇළ ජරාවාස වෙලා. තව වැඩි කාලයක් නො ගොස් මේ ඇළ තිබුණු තැනක්වත් සොයාගන්න බැරි තත්ත්වයට පත්වේවි. දැනටමත් සමහර තැන්වල මේක ඇළක් ද කියා සොයා ගන්නත් බැරිව ගිහින් තිබෙනවා. අවට පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් තර්ජනයක් සිදුවී ඇති බව පෙනී ගොස් තිබෙනවා.”
කුඩාවැවේ පදිංචි ආර්.කේ. දීප්ති සිරිලාල් රන්දෙණි මහතා පාරු ඇළ ගැන අදහස් දක්වමින් මෙසේ පැවැසීය.


“කුඩාවැවේ පාලම ළඟින් මෙම ඇළට සමාන්තරව තවත් ඇළ මාර්ගයක සලකුණු දක්නට ලැබෙනවා. පාරු ඇළ කපාගෙන යද්දී වැරදීමකින් මෙම ඇළ කපාගෙන ගොස් තිබෙන බව ඒ කාලයේ අපේ ගමේ හිටිය වැඩිහිටි අය අප සමග පවසා තිබෙනවා. ටික දුරක් කපාගෙන යද්දී එම කැනීම් කටයුතු නවතා දමා තිබෙන බවත් ඔවුන් අප සමග පවසා තිබෙනවා. මේකට ගම්මුන් කිව්වේ පිට ඇළ කියලයි.


පාරු ඇළ වර්තමානයේ පත්ව තිබෙන තත්ත්වය හරිම කනගාටුදායකයි. මෙය නැවත පිළිසකර කරලා ප්‍රයෝජනයකට ගන්නවා නම් එය අපේ රටට හොඳ ආදායම් මාර්ගයක් වේවි. ඇළ දෙපස ජීවත් වන අයගේ ජීවන තත්ත්වයන් උසස් වේවි කියා ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා.” යැයි දීප්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කුඩාවැව සහ ඒ අවට ප්‍රදේශවාසීන් බහුතරයක් ඉල්ලා සිටියේ මෙම ඇළ ප්‍රතිසංස්කරණය කර රටට විදේශ විනිමය උපයා දෙන මාර්ගයක් සකස් කරගන්නා ලෙසය.

 

 

■ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
    ඡායාරූප - මාදම්පේ ඒ.එස්. හේරත්

 



අදහස් (0)

අදටත් සුන්දර මතක ගෙනෙන හැමිල්ටන් ඇළේ පාරු ගමන්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3779 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 43 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1476 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 461 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 275 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1753 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1584 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site