ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දී තිබෙන ඉන්ධන අර්බුදය ජාත්‍යන්තරයට ගිය කාරණාවක් වී තිබේ. ඉන්ධන අර්බුදයට පිළියම් යෙදීම සඳහා බලධාරිහු විවිධ තීන්දු තීරණ ගනිති. ඒ අනුව බලධාරින්ගේ අවධානය යොමු වූ එක් පිළියමක් වූයේ සළාක ක්‍රමයට පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දීමයි. මෙය තවත් ලෙසකින් කිවහොත් කූපන් ක්‍රමයට ඉන්ධන බෙදා හැරීමයි. වැඩිහිටියන්ට මේ කූපන් ක්‍රමය අලු‍ත් දෙයක් නොවේ. 1970-1977 පාලන සමයේදී පාන්, හාල්, සීනි, ආදී බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවූයේ කූපන් ක්‍රමයටය. නමුත් නව පරපුර මේ කූපන් ක්‍රමය අත්විඳ නොමැත. කෙසේ නමුත් මේ වනවිට කූපන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත.

උතුරේ ජනතාව විශේෂයෙන් වව්නියාවේ ජනතාව යුද සමයේ සලාක මුද්දර ක්‍රමයට ඉන්ධන ලබාගත් බව රටේ බොහෝ දෙනා දන්නේ නැත. නමුත් සත්‍ය කතාව නම් වව්නියාව ජනතාව වසර ගණනාවක් තිස්සේ තම ඉන්ධන අවශ්‍යතාව සපුරාගනු ලැබුවේ රජයෙන් මුදලට දෙනු ලැබූ ඉන්ධන සලාක මුද්දරයෙනි.


මෙවැනි ඉන්ධන මුද්දරයක් නිකුත් කිරීමට සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එවකට පැවැති සාම ගිවිසුමෙන් ඒකපාර්ශ්වීයව ඉවත්වී 1990 දී හදිසියේම දෙවැනි ඊලාම් යුද්ධය ආරම්භ කිරීමත් සමගය. කොටි සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කරන අවස්ථාව වනවිට වව්නියාවේ ගම්මාන කිහිපයක දහස් ගණනක් සිංහල ජනතාව පදිංචිව සිටියෝය. එමෙන්ම කඳවුරු ගණනාවක මෙන්ම පොලිස් ස්ථාන රැසක හමුදා හා පොලිස් නිලධාරිහු ස්ථානගතවී සිටියහ. එවකට වව්නියාව ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා විසින් එකල අපූරු ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. ඔහු විසින් වව්නියාව හා පදවිය ප්‍රදේශය මැදිකර ආරක්ෂක වැටක් ඉදි කිරීමට කටයුතු කරන ලදී. මෙම ආරක්ෂක වැටෙන් දකුණු ප්‍රදේශය සිංහල ගම්මාන හා ආරක්ෂක අංශ කඳවුරු පිහිටි අතර උතුරු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා කොටි කඳවුරු පිහිටා තිබිණ. 


ආරක්ෂක වැට ඉදි කිරීමෙන් කොබ්බෑකඩුව මහතා බලාපොරොත්තු වූයේ කොටි සාමාජිකයන් සිය දහස් ගණනින් නිදහසේ පැමිණ සිංහල ගම්මාන හා හමුදා කඳවුරු වෙත එල්ල කරන ප්‍රහාර අවම කිරීමයි. එම සැලැස්ම සාර්ථක වූ අතර ආරක්ෂක වැට ඉදි කිරීමෙන් පසු කොටි සංවිධානයෙන් දැවැන්ත ප්‍රහාර එම ප්‍රදේශයට එල්ල වූයේ නැත. කෙසේ නමුත් ආරක්ෂක වැට ඉදි කිරීමත් සමඟ ඉදිරි ආරක්ෂක වළල්ල එසේත් නැතහොත් FDL යන වචනය ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෙන්ම උතුරේ ජනතාව අතරද ව්‍යවහාර වන්නට විය. එමෙන්ම ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේ පිහිටි සිංහල ගම්මාන මායිම් ගම්මාන ලෙස හඳුන්වන්නට විය. 
කිලෝ මීටර් සියයක් (100ක්) පමණ දිගට ඉදිකර තිබූ ආරක්ෂක වැට තුළ මීටර් 100-200 පරතරයකින් ආරක්ෂක බංකර ඉදිකර තිබිණ. කොටි සාමාජිකයන් එහා මෙහා යෑම හා සැපයුම් වැළැක්වීම සඳහා දිවා රාත්‍රි දෙකෙහි යුද හමුදාව හා පොලිසිය ආරක්ෂක බංකරයන්හි රැකවල්ලා සිටියහ. කෙතරම් රැකවල්ලා සිටියද වැව් වගුරු බිම් ආදී ආරක්ෂක වැට ඉදිකර නොමැති ස්ථාන අතරින් කොටි සාමාජිකයින් සුළු පිරිස් එහා මෙහා යෑම සිදුවිය. ආරක්ෂක වළල්ලෙන් උතුර එනම් මුදා නොගත් ප්‍රදේශ වෙත ඩීසල් හා පෙට්‍රල් සැපයුම යුද හමුදාව විසින් තහනම් කර තිබිණ. එසේ වුවද ආරක්ෂක වළල්ලේ ඇතැම් ස්ථාන හරහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සංවිධානය විසින් ඔවුන්ගේ පාලන ප්‍රදේශ වෙත ඉන්ධන ප්‍රවාහනය කරන්නට වූහ. 
වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙතින් මිලදී ගන්නා ඉන්ධන කොටි පාලන ප්‍රදේශ වෙත මෙලෙස ප්‍රවාහනය කෙරිණ. මේ තත්ත්වය වැළැක්වීම සඳහා වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම සීමා කෙරිණි. මෙම සීමා කිරීම නිසා වව්නියාවේ පිරවුම්හල් වෙත ඉන්ධන පැමිණියේ ඉතා කලාතුරකිනි. එසේ පැමිණි දින අද දකින්නට තිබෙනවාක් මෙන් දිගු ඉන්ධන පෝලිම් ඇතිවිය. එහිදී ජනතාව විශාල ලෙස පීඩාවට පත්වූහ. ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස විවිධ සංවිධාන රජයෙන් ඉල්ලීම් කරන්නට වූහ. එකල උතුරේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රධාන පාර්ශ්වයක් වූයේ ආරක්ෂක අංශයන්ය.
වව්නියාවේ ඉන්ධන ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ආරක්ෂක අංශ හා පරිපාලන නිලධාරින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව වව්නියා ජනතාවට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබිණි. එහිදී ඉන්ධන සලාක මුද්දර ලබා ගැනීම සඳහා රථවාහන හිමියෙකු සපුරාලිය යුතු මූලික සුදුසුකම වූයේ සිය රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙන පොත, වලංගු ආදායම් බලපත්‍රය හා වලංගු රක්ෂණ සහතිකය අනිවාර්යයෙන්ම තිබිය යුතු වීමය. 


අනතුරුව අදාළ ලියවිලි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගෙන් සහ අදාළ ප්‍රාදේශීය ලෙක්ම්වරයා වෙතින් සහතික කරගත යුතුය. රජයේ නිලධාරින් වෙතින් සහතික කරන ලද ලියවිලි රැගෙන යුද හමුදා සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වෙත යා යුතුවේ. 211 බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වව්නියාව නගර ආසන්නයේ ‘රම්‍ය නිවස’ නම් ස්ථානයේ පිහිටා තිබුණි.


එම ස්ථානයේ රාජකාරි කරන නිලධාරීන් වෙත ලියවිලි භාරදුන් විට ඉන්ධන සලාක මුද්දර ලැබේ. යතුරු පැදියකට මසකට පෙට්‍රල් ලීටර 15ක්ද ත්‍රි රෝද රථ, මෝටර් රථ සඳහා මසකට ලීටර් 25කද මුද්දර ලැබේ. මෙම මුද්දර ලීටරය හා ලීටර 2 වශයෙන් තිබිණ. සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රමාණයට අමතරව ඉන්ධන අවශ්‍යවන පිරිස් සිටී නම් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා හේතු සාධක සනාථ කර වැඩි මුද්දර ප්‍රමාණයක් ලබාගත හැකිය.


එකල වව්නියාවේ ඉන්ධන පිරවුම්හලේ අනිවාර්යයෙන් හමුදා සෙබළු දෙදෙනෙක් රාජකාරිය සඳහා යොදවා තිබිණ. එක් අයකු අයකැමි මේසය අසල අසුන්ගෙන සිටි අතර අනෙක් සෙබළා පොම්පකරු අසල රාජකාරි කළේය. පාරිභෝගිකයා අයකැමි අසල සිටින සෙබළාට මුද්දර ලබාදුන් පසු මුද්දර හා සමාන වටිනාකමට සමාන ඉන්ධන ප්‍රමාණයකට බිලක් ලියන ලෙස අයකැමිට දැනුම් දේ. 


අදාළ මුදල් ගෙවූ බිල පොම්පකරු අසල සිටින සෙබළාට දිය යුතුය. සෙබළා පවසන ඉන්ධන ප්‍රමාණය පොම්පකරු පාරිභෝගිකයාට ලබා දේ. මෙම ක්‍රමයේදී අනවශ්‍ය ඉන්ධන පෝලිම් තිබුණේ නැත. තමන්ට හිමි ඉන්ධන සලාකය නිදහසේ ලබාගත හැකිවිය. ඉන්ධන ලබාදීමේදී අව භාවිතා වීම්ද සිදුවූයේ නැත. ඒ මක් නිසාද යත් පිරවුම්හලේ ඉන්ධන සංචිතය උදේ සවස යුද හමුදාව ලබාගන්නා අතර දිනය අවසානයේදි නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයට සමානව සලාක මුද්දර තිබිය යුතු විය. 


එමෙන්ම සලාක මුද්දරය ලබාගත යුතු බැවින් සියලු‍ දෙනා ආදායම් බලපත්‍ර හා රජයේ සහතික නිසි වේලාවට ගත්තෝය. එල්.ටී.ටී.ඊ. තර්ජන නිසා යා හැකි ප්‍රදේශ හා ගමන් සීමාවී තිබීම නිසා ලැබුණ ඉන්ධන සලාකය හොඳටම ප්‍රමාණවත් විය. හදිසියේ හෝ මුද්දර අවසන් වුවහොත් මිතුරෙකුගෙන් ණයට ඉල්ලාගෙන ඊළඟ මාසයේ සලාකයෙන් ගනුදෙනුව පියවීමේ දේවල්ද සිදුවිය. මේ ඉන්ධන සලාක මුද්දර ක්‍රමය 2002 වසරේදී එල්.ටී.ටී.ඊ.ය සමග සටන්විරාම අවබෝධතා ගිවිසුම අත්සන් කරන තෙක් ක්‍රියාත්මක විය.
එයින් පසුව උතුරේ ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ 2006 දී යාපනය අර්ධද්වීපය තුළය. 2006 අගෝස්තු මාසයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් මුහමාලෙයි හමුදා මුරපොළ වෙත එල්ල කරන ලද එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් පසුව යාපනය අර්ධද්වීපය හා රජයේ පාලන ප්‍රදේශ අතර ගොඩබිම් සබඳතා ඇණ හිටියේය. එහිදී මුහුදු මගින් රැගෙන එන සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදා හැරීම සඳහා ඉන්ධන කූපන් ක්‍රමයක් යාපනයේ ජනතාවට හඳුන්වා දෙනු ලැබිණි. 


2009 දී යුද්ධය අවසාන වනතෙක් යාපනය තුළ ඉන්ධන කූපන් ක්‍රමය ක්‍රියාත්මක විය. මීට අමතරව යුද්ධය පැවැති දශක දෙකක කාලය තුළ උතුරු පළාත තුළ ධීවරයින් ඇතුළු විවිධ වෘත්තිකයන්ට මෙන්ම ජනතාවට ඉන්ධන ලබාදීම සඳහා විවිධ නීති ක්‍රම හඳුන්වා දී තිබිණ. ඒ අනුව බලන විට සීමිත ඉන්ධන සංචිත ඉන්ධන බෙදා හැරීමේදී කටයුතු කරන්නේ කෙසේද යන්න උතුරු පළාත තුළින් පාඩම් ඉගෙන ගත හැකි බව කිවහොත් නිවැරැදිය.

 

සටහන
ඕමන්ත ප්‍රියන්ත හේවගේ