ශ්‍රී ලංකාවේ සබන් භාවිතයේ ආරම්භයත් සමඟ එය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස මෙරට ආරම්භ කෙරිණි. මෙරටින් ලබාගත් අමුද්‍රව්‍ය යොදාගෙන සබන් නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුවූ අතර එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ ව්‍යාපාරිකයකු වූයේ උපාලි විජයවර්ධනයි. උපාලි සමූහ ව්‍යාපාරය සබන් මහා පරිමාණයෙන් සෑදීමේ කර්මාන්තායතනයක් ආරම්භ කළ අතර ඉන් පසු ඇතැම් ව්‍යාපාරිකයෝ උපාලි විජයවර්ධනගේ කර්මාන්තශාලාවේ තම සබන් නිෂ්පාදනය කර ඇසුරුම් කර තම වෙළෙඳ නාමවලින් අලෙවි කරන්නට වූහ.

 

සබන් යනු නැතිවම බැරි ද්‍රව්‍යයකි. සබන් මිල අධික ලෙස ඉහළ යනු ඇතැයි කියවුණු ප්‍රචාරයක් හේතුවෙන් පසුගිය දිනවල තොග පිටින් සබන් එකතුකරගත් ආකාරය ද දක්නට ලැබිණි.   

නමුත් අදින් දශක ගණනාවකට එපිට ශ්‍රී ලාංකිකයන් නම් සබන් ගැන දැන සිටියේ නැත. ඔවුහු පෙනෙල කොළ ඉස්ම යොදා ජලයේ පෙන සාදාගෙන තම රෙදි සෝදා ඇඟත් සෝදා ගත්හ.   


නමුත් මෙරට පාලනය කළ යුරෝපීයයන් ඇඟ දැවටූ ‘පැමෝරා’ නම් බෝල සබන් වර්ගයක් ටිකෙන් ටික සාමාන්‍ය ජන සමාජයට පැමිණීමත් සමඟ සබන් මෙරට ජනතාවගේ අවශ්‍යතාවක් බවට පත්විය.   
පැමෝරා බෝල සබන් අතීතයේ ඉතාමත් සිත්ගන්නා සුළු සහ සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැලකිණි. බොහෝ විට ඒවා තෑගි භාණ්ඩ ලෙස ද හුවමාරු වූ බව කියවේ.   


නමුත් සබන් යනු ඉතාමත් පහසුවෙන් ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කරගෙන යා හැකි නිෂ්පාදනයකි.   
සබන් භාවිතය පිළිබඳ අපට පැරණිතම සාක්ෂිය ලැබෙන්නේ බැබිලෝනියා ශිෂ්ඨාචාරයෙනි. ක්‍රිස්තු පූර්ව 2,800 තරම් ඈත කාලයේ දී බැබිලෝනියාවේ විසූ ජනතාව සත්ව තෙල් සහ ශාක වර්ගවල අළු දහනය කර සබන් හා සමාන වූ ද්‍රව්‍යයක් නිපදවා භාවිතයට ගෙන තිබේ.   


ඔවුන් එදා රෙදි සහ සිරුරු පිරිසිදු කරන්නට මේ සේදුම්කාරකය භාවිත කරන්නට ඇත. රසායන විද්‍යාව අනුව සබන් යනු තෙල් සහ මේද, භෂ්මයක් සමඟ රසායනිකව ප්‍රතික්‍රියාකර සාදන ද්‍රව්‍යයකි. මේ සඳහා ශාක තෙල් සහ සත්ව මේදය යොදා ගනී.   


සබන් අණුවක එක් පසෙකින් ජලයට කැමති කොටසක් (අණුවේ හිස) අනෙක් පැත්තේ ජලයට අකමැති තෙල්වලට කැමති කොටසක් (අණුවේ වලිගය) පවතී. මේ නිසාම මේද ද්‍රාව්‍ය වලිගය කුණු සමඟ සම්බන්ධ වී කුණු පැල්ලම ඇඳුමෙන් ගලවා දමයි. සිරුරේ ආලේප කරන සබන්වල දී ද සිදුවන්නේ එයයි.   
ශ්‍රී ලංකාවේ සබන් භාවිතයේ ආරම්භයත් සමඟ එය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස මෙරට ආරම්භ කෙරිණි. මෙරටින් ලබාගත් අමුද්‍රව්‍ය යොදාගෙන සබන් නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුවූ අතර එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ ව්‍යාපාරිකයකු වූයේ උපාලි විජයවර්ධනයි. උපාලි සමූහ ව්‍යාපාරය සබන් මහා පරිමාණයෙන් සෑදීමේ කර්මාන්තායතනයක් ආරම්භ කළ අතර ඉන් පසු ඇතැම් ව්‍යාපාරිකයෝ උපාලි විජයවර්ධනගේ කර්මාන්තශාලාවේ තම සබන් නිෂ්පාදනය කර ඇසුරුම් කර තම වෙළෙඳ නාමවලින් අලෙවි කරන්නට වූහ.   


තවත් බොහෝ සබන් කර්මාන්තකරුවෝ මෙරට බිහි වූහ.   
මෙරට සබන් නිෂ්පාදනයේ තවත් දැවැන්තයකු වූයේ බී.සී.සී, (British Ceylon Corporation) ආයතනයයි. රෙදි සේදීමට භාවිත කළ බාර් සබන් ඔවුන්ගේ නිෂ්පාදන අතර වඩාත් ජනප්‍රිය විය. අදටත් මේ නිෂ්පාදන වෙළෙද පොළේ ඇතත් ඒවා එතරම් ජනප්‍රිය නැත. අතී‍තයේ දී තරම් කඩේට ගොස් බාර් සබන් දෙන්න යැයි ඉල්ලන ගැමියන් අද දක්නට නැත. අද ඔවුන් ඉල්ලා සිටින්නේ වෙනත් වෙළෙඳ නාමවලින් ඇති බහුජාතික සමාගම්වලින් නිෂ්පාදනය කරනු ලබන සබන් වර්ගයි.   


වර්තමානයේ මෙරට සබන් වෙළෙඳ ඒකාධිකාරිය මුළු මනින් ම බහුජාතික සමාගම් සතුව ඇත. සබන් කැටයක් ඉල්ලනවා වෙනුවට ඒ ඒ වෙළෙඳ නාමවලින් යුතු සබන් වර්ග ඉල්ලන තරමට අද පාරිභෝගිකයන් අතරට ඒ වෙළෙඳ නාම රිංගා තිබේ.   


එය සිදුකර ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයක් මගිනි.   
රුපියල් කෝටි ගණන් වැය කර සිදුකරන රූපවාහිනී සහ ගුවන්විදුලි දැන්වීම් සහ පුවත්පත් දැන්වීම් ඔස්සේ බහුජාතික සමාගම් සිය ‍නාමය ජනතාවගේ සිත පත්ලටම කිඳා බස්සවයි. ගමේ ගොඩේ කඩවල නාම පුවරුවේ සිට බිත්ති වසා දමමින් අලවන ස්ටිකරය දක්වාම දැක්වෙන්නේ බහුජාතික සමාගම්වල සබන් නිෂ්පාදනයන්හි වෙළෙඳ නාමයන් ය. ඒ හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ සබන් වෙළෙඳ පොළෙන් අති බහුතර ප්‍රමාණයක් බහුජාතික සමාගම් කිහිපයක් විසින් ආක්‍රමණය කර තිබේ.   
මේ සඳහා තවත් හේතුවක් බලපා තිබේ. 

 

සබන් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල ගුණාත්මක බව වැදගත් සාධක කිහිපයක් බලපායි. අමුද්‍රව්‍යවල ගුණාත්මක බව, මිශ්‍රණයේ ඇති ද්‍රව්‍ය එකිනෙක හා ගැලපීමේ ප්‍රමාණය එයට ප්‍රධාන වන අතර නිෂ්පාදනය හොඳින් පවත්වාගෙන යාමට නම් අමුද්‍රව්‍යවල මිල, පුද්ගල හා පරිසරයට ඇති ආරක්ෂාව මෙන්ම නිෂ්පාදනය වෙළෙඳ පොළට ඉදිරිපත් කරන පෙනුම සහ එහි ක්‍රියාකාරීත්වය ප්‍රධාන සාධක වෙයි.   

 


සබන් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල ගුණාත්මක බව වැදගත් සාධක කිහිපයක් බලපායි. අමුද්‍රව්‍යවල ගුණාත්මක බව, මිශ්‍රණයේ ඇති ද්‍රව්‍ය එකිනෙක හා ගැලපීමේ ප්‍රමාණය එයට ප්‍රධාන වන අතර නිෂ්පාදනය හොඳින් පවත්වාගෙන යාමට නම් අමුද්‍රව්‍යවල මිල, පුද්ගල හා පරිසරයට ඇති ආරක්ෂාව මෙන්ම නිෂ්පාදනය වෙළෙඳ පොළට ඉදිරිපත් කරන පෙනුම සහ එහි ක්‍රියාකාරීත්වය ප්‍රධාන සාධක වෙයි.   
ශ්‍රී ලංකාවේ සබන් කර්මාන්තය ආරම්භයේ දී මේ කිසිවක් මෙරට පාරිභෝගිකයාට ගැටලු‍වක් වූයේ නැත. නමුත් මෙරටින් ලබාගත හැකි අමුද්‍රව්‍යවල ගුණාත්මක බව අඩුවීමත් බහුජාතික සමාගම්වලින් විදේශ රටවලින් වඩාත් ගුණාත්මක අමුද්‍රව්‍ය ගෙනවිත් මෙරට දී මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සහ ඇසුරුමේ සිට එහි අවසාන පෙනුම දක්වාම අත දිගහැර වියදම් කරමින් වඩාත් සිත්ගන්නාසුළු පෙනුමක් සහ හැඩයක් සහිත නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය සබන් කර්මාන්තය ටිකෙන් ටික අභාවයට යන්නට විය. 

 
උපාලි විජයවර්ධන ආරම්භ කළ සබන් කර්මාන්තයට සහ බීසීසී ආයතනයේ සබන් කර්මාන්තයට ද සිදු වූයේ එයයි. උපාලි කන්සියුමර් ප්‍රඩක්ට්ස් වෙතින් සබන් වර්ග කිහිපයක්ම මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබීය.   


ඔහුගේ මරණයෙන් පසුව පවා එක් සබන් වර්ගයක් මෙ‍රට වෙළෙඳ පොළ තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා තිබූ අතර එය බහුජාතික සමාගම්වලට අභියෝගයක් වී තිබිණි. එවිට එම සමාගම් කළේ උපාලිගේ කර්මාන්තායතනයට තම සබන් වර්ග නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමයි. ඉන් පසු ක්‍රමයෙන් උපාලි කන්සුමර් ප්‍රඩක්ට්ස් වෙතින් නිෂ්පාදනය වූ ඒ සබන් වර්ගය ක්‍රමයෙන් වෙළෙඳ පොළ අළෙවිය අඩු වූ අතර අදටත් බොහෝ සමාගම්වල සබන් නිෂ්පාදනය වන්නේ උපාලි කන්සියුමර් ප්‍රඩක්ට්ස් සමාගම සතු කර්මාන්තායතනයේ ය.   


බහුජාතික සමාගම් විසින් මෙරට සබන් කර්මාන්තකරුවන් විනාශ කළ බවට හොඳම උදාහරණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. 

 
අදින් වසර කිහිපයකට පෙර කළුතර දිස්ත්‍රික්කයේ එක් සබන් නිෂ්පාදකයකු එම ප්‍රදේශයේ වෙළෙඳ පොළ ඒකාධිකාරියක් පවත්වාගෙන ගිය අතර එම ප්‍රදේශයේ බහුජාතික සමාගම්වල සබන් අලෙවිය ඔවුන් බලාපොරොත්තු වූ ඉලක්කයට ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වී තිබිණි.   


එම ප්‍රදේශයේ ජනතාව අතර කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ ප්‍රාදේශීය සබන් නිෂ්පාදනය කූඩැල්ලන් ඉවත් කිරීමට වඩාත් සුදුසු බැවින් ඔවුන් එය මිල දී ගන්නා බවයි. රබර් වතුවල සහ තේවතුවල සේවය කරන්නන් අතර මේ සබන් වර්ගය වඩාත් ජනප්‍රිය විය. ඒ සබන් වර්ගයම ඔවුහු රෙදි සෝදන්නටත් භාවිත කළහ.   


බහුජාතික සමාගම් කළුතර සබන් අළෙවි කරන වෙළෙඳ ආයනවලට ලබාදෙන ලාභය වැඩි කර තිබිණි. නමුත් එයින් සබන් අළෙවියේ ස්වභාවය වෙනස් වූයේ නැත. ඔවුන්ගේ අළෙවි උපාය වැරදී ගිය විට සමාගම් සිදුකළේ කළුතර ප්‍රාදේශීය නිෂ්පාදකයා අමුද්‍රව්‍ය මිල දී ගන්නා තැන් සොයා ගැනීමයි. ඔවුන්ට එම පොල්තෙල් සැපයුම්කරු සොයාගත හැකිවිය. අවසානයේ පොල්තෙල් නිෂ්පාදකයා වෙත ගිය බහුජාතික සමාගම් ඔහු සතුව තිබූ සියලු‍ පොල්තෙල් මිල දී ගත්තේ තවත් මාස කිහිපයකට සියලු‍ පොල්තෙල් මිල දී ගැනීම සඳහා අත්තිකාරම් මුදල් ද ලබා‍ දෙමිනි.   

 

රුපියල් කෝටි ගණන් වැය කර සිදුකරන රූපවාහිනී සහ ගුවන්විදුලි දැන්වීම් සහ පුවත්පත් දැන්වීම් ඔස්සේ බහුජාතික සමාගම් සිය ‍නාමය ජනතාවගේ සිත පත්ලටම කිඳා බස්සවයි. ගමේ ගොඩේ කඩවල නාම පුවරුවේ සිට බිත්ති වසා දමමින් අලවන ස්ටිකරය දක්වාම දැක්වෙන්නේ බහුජාතික සමාගම්වල සබන් නිෂ්පාදනයන්හි වෙළෙඳ නාමයන් ය. ඒ හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ සබන් වෙළෙඳ පොළෙන් අති බහුතර ප්‍රමාණයක් බහුජාතික සමාගම් කිහිපයක් විසින් ආක්‍රමණය කර තිබේ.


කළුතර සබන් ඒකාධිකාරියක් පවත්වාගෙන ගිය ප්‍රාදේශීය නිෂ්පාදකයාට අවසානයේ අමුද්‍රව්‍ය නොමැති විය. ඔහුගේ ව්‍යාපාරය මාස කිහිපයකින් නැත්තටම නැතිවී ගියේය.   


පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් සුළු පරිමාණ සබන් නිෂ්පාදකයකු වෙළෙඳ පොළ සැළකිය යුතු කොටසක් අල්ලා ගනිමින් ඉදිරියට පැමිණෙන්නට විය. ඔහුගේ නිෂ්පාදනය ප්‍රදේශය පුරා ජනප්‍රිය වී රටේ විවිධ ප්‍රදේශවලින් ද ඉල්ලු‍ම් ලැබෙද්දී බහුජාතික සමාගම් කළේ ඔහු සබන් නිෂ්පාදනය කරන්නේ සත්ව තෙල්වලින් බවට ප්‍රචාරය කිරීමයි. අවසානයේ සබන් නිෂ්පාදකයා කළේ තම සබන්වල සත්ව තෙල් අඩංගු නැති බවත් සත්ව තෙල් ඇතැයි සනාථ කරන්නේ නම් රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් ද පිරිනමන බවත් සබන් දවටනයේ මුද්‍රණය කිරීමයි.   


එසේ වුව ද බහුජාතික සමාගම් පසුබට වූයේ නැත. ඔවුන්ගේ සේවකයන් මෙම සබන් නිෂ්පාදකයාගේ සමාගමට උපක්‍රමිකව ඇතුළු කර ඔහුගේ පවුලේ සාමාජිකයන් හා පවා සම්බන්ධතා ගොඩනගන තත්ත්වයට කුමන්ත්‍රණ කර අවසානයේ එම සමාගම පරිහානිය කරා ගෙන යාමට කටයුතු කරන ලදී. පසුව මෙම සබන් ව්‍යාපාර කඩා වැටෙද්දී ඉන්දියාවෙන් පැමිණි ව්‍යාපාරිකයකු ඔහුගේ වෙළෙඳ නාමය සහ වෙළෙඳ සළකුණ ද සමගින් එය මිල දී ගත්තේය.   


බහුජාතික සමාගම් මෙරට සබන් අලෙවියේ ඒකාධිකාරිය දැන් වසර ගණනාවක සිට අත්පත් කරගෙන ඇතත් තවමත් ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ සබන් නිෂ්පාදකයෝ සිටිති.   
විවිධ දේශීය නාමයන් යටතේ ඔවුන් තම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන අතර බහුජාතික සමාගම් සමඟ හරි හරියට තරඟ වදිති.   


ඇතැම් ප්‍රදේශවල ඇති තෙල් මෝල් හිමියෝ ද තම අතුරු නිෂ්පාදනයක් ලෙස සබන් කර්මාන්තයේ නියැලෙති. ඒ සබන් වර්ග ද තෙල් මෝලේ ම හෝ ඒ අවට වෙළෙඳ සැල්වල අලෙවි වෙයි. බීසීසී සබන් ද තවමත් වෙළෙඳ පොළේ දක්නට ඇත.   


මීට අමරතව පිටකොටුවේ වීදි කිහිපයක ම දේශීය සබන් නිෂ්පාදන මහා පරිමාණයෙන් අලෙවි වෙයි. ඒවායින් ඇතැම් ඒවා බහුජාතික සමාගම්වල නිෂ්පාදන නාමයන්ට සමාන නම්වලින් හා එම බහුජාතික සමාගම්වල සබන් දවටනවලට සමාන දවටනවලින් යුතු වීම ද විශේෂත්වයකි. ගමේ කඬේට මේ සබන් ගෙන ගිය විට බහුජාතික සමාගමේ සබන් කැටයක් යැයි සිතා රැවටී ඒවා මිල දී ගන්නා අවස්ථා ද තිබේ. මේවා අතර ඉන්දියාවෙන් අනවසරයෙන් ගෙන එන සබන් වර්ග ද අලෙවි වන බව ප්‍රසිද්ධ කරුණකි   
පිටකොටුවේ අලෙවි කරන මෙවැනි සබන් කැට බහුජාතික සමාගමක් සබන් කැටයක් විකුණන මුදලට වඩා 60%ක් 40%ක් පමණ අඩු මිලට අලෙවි වෙයි.   


මේ අතර අනුරාධපුරය ඇතුළු සිද්ධස්ථාන බහුල ප්‍රදේශයන්හි දොළොස්මහේ පහන වැනි පහන්වල එකතුවන තෙල් භාවිතයෙන් සබන් නිෂ්පාදනය කරන ගෘහස්ථ නිෂ්පාදකයෝ ද බිහිවී සිටිති. එමෙන්ම පොල්තෙල් නිෂ්පාදකයන්ගෙන් බාල වර්ගවල පොල්තෙල් මිල දී ගෙන ඒවායින් සබන් නිෂ්පාදනය කරන පිරිස් ද රට පුරා ප්‍රදේශ ගණනාවක විසිරී සිටිති.   


තවමත් ශ්‍රී ලංකාවේ සබන් නිෂ්පාදනය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස පවතින්නේ ඔවුන්ගේ දායකත්වයෙනි. එලෙස ඔවුන් ප්‍රාදේශීය සුළු වෙළෙඳ පොළක් අල්ලාගෙන සිටින විට බහුජාතික සමාගම්වලට එය ගැටලු‍වක් නැත. නමුත් එවැනි ‍නිෂ්පාදකයකු තම නිෂ්පාදනයකට ප්‍රාදේශීය වශයෙන් හෝ අභියෝගයක් එල්ල කළහොත් ඔවුන් ඉතාමත් සූක්ෂම ලෙස විනාශ කිරීමට බහුජාතික සමාගම් පැකිලෙන්නේ නැත.   
මේ බහුජාතික සමාගම්වල ඒකාධිකාරිය හේතුවෙන් මෙරට නිෂ්පාදකයන්ට හැමදාමත් සිදුවන්නේ තම ව්‍යාපාර ආරම්භ කර කෙටි කාලයකින් අතහැර දැමීමටය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට ප්‍රධාන අභියෝගයක් වන්නේ මෙවැනි බහුජාතික සමාගම්වල ඒකාධිකාරිය බව සබන් කර්මාන්තයෙන්ම තහවුරු වෙයි.


විශේෂ ස්තුතිය - ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන අධිකාරියේ පුහුණු පාඨමාලා සඳහා සම්පත් දායකත්වය සපයන දුලිනි ජාගොඩ මහත්මියට. 

 

 

 

 

සටහන
සජීව විජේවීර