ලංකාව තුළ යම් පිරිහීමක් ගැටලුවක්, අර්බුදයක් පැන නැගුන සෑම අවස්ථාවකදීම ඊට පුනර්ජීවනයක් ලබා දීමට පැමිණෙන ගැලවුම්කාරයෙකු පිළිබඳව වූ ගුප්ත මතකයක් හා විශ්වාසයක් ලාංකික ජන සමාජයේ මුල් බැසගෙන පවතී. බොහෝ දෙනෙකුගේ අදහසට හා විශ්වාසයට අනුව ඔහු හැඳින්වූයේ ‘‘දියසේන කුමාරයා’’ යනුවෙනි. අනෙක් අර්බුද කෙසේ වෙතත් යම් අවස්ථාවක බුදු දහමේ යම් පිරිහීමක් ඇති වූ අවස්ථාවල දී පෙර මෙන්ම වත්මන් වැඩිහිටියෝ ද බුදු දහමට පුනර්ජීවනයක් ලබා දීම සඳහා පැමිණෙන දියසෙන් කුමාරයාගේ ආගමනය පිළිබඳව කතාබහ කරති.   

මෙම වකවානුවේ දී ශ්‍රී ලංකාව ආගමික, සාමාජයීය, දේශපාලන හා ආර්ථික අර්බුදයකට ලක්ව ඇත. වෙනදා මෙන්ම මෙම අර්බුද හමුවේ ද රට ගොඩ ගැනීමට පැමිණෙන දියසෙන් කුමාරයෙකු පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි කතාබහකට ලක්ව ඇත. විවිධ ජ්‍යොතිෂකරුවන් හා අනාවැකිකරුවන් සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම දියසෙන් බලාපොරොත්තුව සමාජ ගත කරමින් සිටී. එම නිසා මේ පිළිබඳව යම් විමර්ශනාත්මක සොයා බැලීමකට යොමුවීම වැදගත් යයි සිතමි.   


දියසෙන් සංකල්පය පිළිබඳව මූලික කතාව අපට ප්‍රසිද්ධියේ හමුවන්නේ අනගාරික ධර්මපාලතුමාගේ වකවානුවේය. එම වකවානුව ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවැති වකවානුවය. එම අවස්ථාවේ මෙරට ජන විඥානය බටහිරට නතුවෙමින් පැවැතුණි. අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ එදා සිටි දෑ හිතකාමී ජනනායකයන් මෙය හැඳින්වූයේ දේශීයත්වයේ ගෙල සිඳීමක් ලෙසය. එම නිසා අනගාරික ධර්මපාලතුමා ඇතුළු ජනනායකයන් සිංහල ජනතාවට පවතින තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම සඳහා මෙම දියසෙන් සංකල්පය යොදාගත් බව පැහැදිලි වේ. උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් උඩ බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදීම මරා දමන්න මෙම කළු සුද්දන්ට හැකි බව මතක තියා ගනිල්ලා’’ අනගාරික ධර්මපාලතුමා විසින් 1926 - 1927 වර්ෂවල දිගින් දිගටම සිදු කරන ලද මෙම ප්‍රකාශය මෑත කාලීනව ද සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම මගින් රට පුරා ප්‍රචලිතවීමත් සමගම දියසේන කුමාරයා පිළිබඳව නව පරපුර තුළ පවා බෙහෙවින් උනන්දුවක් ඇතිවී ඇත.   


දියසේන නම ඉතිහාසයේ අපට ප්‍රථමයෙන් හමුවන්නේ දෙවැනි රාජසිංහ රජ සමයේය. එම රාජ්‍ය සමයේ දී රචනා කරන ලදැයි සැලකෙන සුමන පුත්‍රය නම් රචනාවෙන් යයි කීම ඉතාමත් සුදුසුය. එය පුත්‍ර පීඨකයට අයත් යැයි සැලකෙන සූත්‍රයක් නොවේ. එහෙත් එය එසේ බව හැඟවීමට ‘‘ඒවං මෙසුතං ඒකට සමයං භගවා’’ යනුවෙන් ඇරැඹෙයි. එහි ඊළඟට පැවසෙන්නේ ‘‘සුමනකූටං දිවාගුහං භගවන්තෝ දේසිතං සුමන සුත්තංති’’ යන පාඨයයි. එම පාඨයෙන් එහා පාලි භාෂාව භාවිත නොකරන මෙම ලේඛනය ඉතිරි කොටස සම්පූර්ණ කරනු ලබන්නේ අව්‍යක්ත සිංහළ භාෂාවෙනි. එහි බුදුරදුන්ගේ ලංකාගමනයේ සිට ලන්දේසි ආක්‍රමණය තෙක් තොරතුරු කෙටියෙන් දක්වා තිබේ. ඒ අනුව සලකා බලන විට ජනතාව තුළ රට දැය සමය බබුළුවා දීමට ඉදිරිපත්වන දියසේන නම් කුමරෙකු පිළිබඳව ජනතා හදවත් තුළ නව බලාපොරාත්තු දැල්වීමට සකස් කළ අමුතුම ආකාරයේ සූත්තරයක් බව පෙනේ. එම සුත්‍රයෙන් පෙන්වන්නේ කුමාරයෙකු ගැන නොවේ. රජ කෙනෙකු පිළිබඳවය. එමෙන්ම ඔහු ඉන්දියානුවෙකි. අඩුම තරමින් ලාංකිකයෙකු ද නොවේ. දස දහස් සේනාව පිරිවරා දහතුන් වසරක් දඹදිවට රජකම් කොට ඔහු ලක්දිව මහබටුතොටට ගොඩ බසිනුයේ දඹදිව සේනාවක් ද සමගිනි. ඉන්පසු මෙරට අනුරාධපුරයට සිත් බඳින මෙම දියසෙන් රජු එහි ඇති සියලු දාගැබ් ප්‍රතිසංස්කරණය කොට විසි දෙවසරක් ලංකාවේ රාජ්‍ය කොට අභාවප්‍රාප්තවන බව එම සුත්‍රයෙහි විස්තර කෙරෙයි.   


කෙසේ වෙතත් මෙහි විස්තරය පිළිබඳව සිතා බලනවිට වැටහී යන්නේ එහි සඳහන් වන්නේ ඉන්දීය ආක්‍රමණයක් බවයි. දියසෙන් නම් කුමාරයෙකු හෙවත් රජකෙනෙකු පිළිබඳව සුමන සුත්‍රයට එකතුවී ඇත්තේ ඒවනවිට මහනුවර ජනසමාජයේ පැතිර තිබූ යම් විශ්වාසයක් බවක් එහි මුලබීජය කෝට්ටේ යුගයේ දී ලියැවුණු ‘‘පැරකුම්බා සිරිත’’ නම් කාව්‍ය ග්‍රන්ථයේ ඇති බවත් ඒ පිළිබඳව කරනු ලැබූ වැඩිදුර සොයා බැලීම්වල දී පෙනී යයි. කෝට්ටේ රජ කළ ප්‍රබලතම නරපතියාණන් වූ හයවෙනි පරාක්‍රම බාහු රජු (ක්‍රි.ව. 1402-1476) උදෙසා ලියන ලද ප්‍රශස්ති කාව්‍ය වන පැරකුම්බා සිරිතේ කර්තෘවරයා පවා අවිනිශ්චිතය. ‘‘කියග මගිය එනු කොහි සිට’’ යනුවෙන් ඇරැඹෙන එහි 116 වන පද්‍ය පංතියේ ශ්‍රීපාදය වැඳ ආපසු එන මගියෙකු සහ අතරමග දී හමුවන බමුණෙකු අතර ඇතිවන දෙබසක් ලෙසින් ලියැවී තිබේ. එහි දී එම මගියා බමුණාට පවසනුයේ බුද්ධ වර්ෂයෙන් වසර දෙදහස් පන්සීයක් සපිරෙන තැන ලෝක නායක රජෙකු (රජෙකු එතියි දියනා) පැමිණෙන බව සමන් සිරිඳුන් ප්‍රකාශ කළ බවත් එම ලෝක නායකයා ඒ වන විට කෝට්ටේ රජ කරන සයවන පරාක්‍රම බාහු (පැරකුම් රජ මෙදිනා) බවත්ය. ඒ අනුව නූතනයේ ඉතා ජනප්‍රියව ව්‍යවහාරවන මෙය පැරකුම් රජු පිම්බීම පිණිසම ප්‍රබන්ධකර ඇති රචනාවක් බව වැඩිදුරටත් මෙය අධ්‍යයනය කළහොත් කෙනෙකුට හැඟීයාම වැළැක්විය නොහැක.   


එසේ නමුදු ඉන් මනාව පැහැදිලිවන කරුණක් නම් පැරකුම්බා සිරිතෙහි සඳහන් වන සේ ලෝක නායක රජෙකු පිළිබඳව මිස දියසේන නම් කුමාරයෙකු පිළිබඳව සඳහන් නොවන බවය. නමුදු එම රජතුමා පිළිබඳව එම සංකල්පය එවක සමාජයේ ජනප්‍රිය ව්‍යවහාරයේ දී දියසේන නමින් හඳුන්වන ‘‘කුමාරයෙකු’’ බටව පත්ව ඇත.  
මෙම දියසේන කතාවේ එන දඹදිවින් පැමිණෙන කොටස ලාංකීය ජනසමාජයට එතරම් ගෝචර නොවන නිසාදෝ එය වෙනස්වී එම කුමරු අප රටේ උපදින බව සඳහන් ප්‍රවාද පසු කාලීනව ගොඩනැගී ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති බව පෙනී යයි.   


ඒ අනුව ප්‍රබන්ධ වූ කාව්‍ය මගින් දියසේන කුමරු උපදින නැකත, ඔහු හඳුනාගත හැකි ලක්ෂණ පවා සිත්ගන්නා ආකාරයෙන් රචනා වී තිබේ. එදා දැඩි ලෙස බුදු දහම පරිහානියට පත්ව තිබූ සමයක බුදු සසුනේ පුනර්ජීවනයක් බලාපොරොත්තුව සිටි ජනතාවට ඉමහත් බලාපොරොත්තු දෙන කාරණයක් බවට පත් වී ඇත. නුවර කලාවියෙන් හමුවූ පැරැණි කඩඉම් පොතක දියසේන කුමරුන් පිළිබඳව සඳහන් විස්තරයකට අනුව මහියංගණ ස්තුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා කොත්පළඳවන දිනට කොහේ සිටියද දෙවියන් දියසේන කුමරුන් එතැනට කැඳවන බව එහි සඳහන්ව ඇත. එහෙත් 1877 වසරේ ප්‍රතිසංස්කරණය ඇරඹූ මහියංගණ ස්තූපයේ කොත් පැළඳීමක් 1890 වසරේ සිදුවුවත් ඇතැමුන් අපේක්ෂා කළ පරිදි දියසේන කුමරුවන් එහි පැමිණි බවක් වාර්තා නොවේ. එසේම 1907 වසරේ ඇතිවූ බරපතළ සුළඟකින් මහියංගණ ස්තූපයේ කොත ගිලිහී දාගැබට හානි වූ අතර 1929 වසරේ යළි එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹීමට 1931 වසරේ පිහිට වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය හෙබ වූ ඩී.එස්. සේනානායක මහතා කටයුතු කළේය. එවකට ඩී.එස්. සේනානායක මහතා මිනිපේ කෘෂිකර්ම යෝජනා ක්‍රමය ආරම්භ කර තිබුණි. මහියංගණ චෛත්‍යය පිහිටා තිබුණේ ද ඒ ආසන්නයේය.   


‘‘හරි දැන්නෙ අපිට තේරුනේ දියසේන කුමාරයා කියන්නේ ඩී.එස්. සේනානායක මහත්තයට. ඒ නමේ ඩී. කියන්නෙ දිය කියන එක එස් කියන්නෙ සේන කියන එක. ඔය හරි අගේට ගැළපෙන්නෙ’’ බොහෝ දෙනෙක් එසේ කියමින් ඩී.එස්. සේනානායක මහතා දියසේන කුමරු බවට ප්‍රකාශ කළහ. ඩී.එස්. සේනානායක මහතා ප්‍රතිසංස්කරණය ඇරැඹූ මහියංගණ චෛත්‍යයේ කොත් පැළඳවීම 1961 වසරේ සැප්තැම්බර් 21 වැනි දින ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා විසින් සිදුකරනු ලැබු අතර දෙවියන් ඔය පවසන දියසේන කුමාරයා ඒ උත්සවයටත් එක් කළ බවක් දැනගන්නට නැත.   


ඒ සමගම තවත් අදහස් දියසේන කුමාරයා පිළිබඳව සමජය තුළට කාන්දුවන්නට විය. ඒ වනවිට අප රටේ ජාතික තලයේ යම් යම් විප්ලවීය මං සලකුණු තැබූ යුග පුරුෂයන් හට පවා දියසේන නම පටබැඳුණු අතර ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර සහ ශ්‍රී ලාංකීය සමාජවාදයේ පියා නමින් හැඳින්වෙන පිලිප් ගුණවර්ධන ආදී ජාතික වීරයන් ද ඒ අතර විය. පැරකුම්බා සිරිත කෘතියෙහි සඳහන් වූ අන්දමට එම ලෝක පාලන රජු බිහිවනුයේ බුද්ධ වර්ෂයෙන් වසර දෙදහස් පන්සීයක් ඇවෑමෙන් නම් එහි ව්‍යවහාරික වර්ෂය වන්නේ 1956 වසරය. එමෙන්ම ශ්‍රී ලාංකීය සිංහලකම සහ බෞද්ධකම පදනම් කරගත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයන් ඔස්සේ මෙරට නවතම විප්ලවයක් කළ හැකි බවට ජනමතයක් ගොඩ නැගූ එස්.ඩබ්ලියු.ආර්.ඩී. බංඩාරනායක මහතා බුද්ධ වර්ෂයෙන් වසර දෙදහස් පන්සීය ඇවෑමෙන් බිහිවන දියසේන කුමාරයා ලෙසින් හඳුන්වා දෙන්නට ඔහුට හිතවත් දේශපාලන කණ්ඩායම් උනන්දු වූ අතර ඔවුන් අතරින් කැලණිය රජමහා විහාරීය භික්ෂු පරපුර ප්‍රමුඛ වූ බටව ඓතිහාසික සාක්ෂි ඇත. එහෙත් එවක බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදිම 1956 වසරේ බලයට පත් බණ්ඩාරනායක මහතා එම වසරේ වෙසක් පුන් පොහෝ දින නිදහස් චතුරස්‍රයේ දී කළ කතාවකින් පළකොට සිටියේ අමුතුම අදහසකි. එනම් දියසේන කුමාරයා තමන් නොව මෙම පොදු ජන විප්ලවයට දායකවූ රටේ ජනතාව බවය.   
මේ හැරුණු කොට සමාජ කරළියේ දියසේන කුමාරයා තමන් බව කියා පාමින් ජනතාවට විකට රසයක් ගෙන දුන් ප්‍රසිද්ධ පුද්ගලයෝ ද එවකට සිටියහ. වාසල අධිකාරියේ සිංහරාජ නන්දිමිත්‍ර සිල්වා හෙවත් ‘‘ටිප්ටොප් සිල්වා’’ නමැති දන්තාලේප ව්‍යාපාරිකයා ඔවුන් අතරින් විශේෂ වූවෙකි. එහෙත් ඔහුගේ එම දියසේන කතාව දන්තාලේප අලෙවිය පිළිබඹු කළ ප්‍රචාරක උප්පරවැට්ටියකැයි ඇතුම්හු ප්‍රකාශ කළහ.   
දියසේන කුමාරයාගේ පහළ වීමෙන් ඒකාන්ත ලෙසම අප රට යළි සුඛිත මුදිත වෙතැයි විශ්වාස කරන පිරිස් විසින් ගොඩ නගාගත් සංවිධාන ද ඇත. කළුතර ප්‍රදේශයේ එවැනි සංවිධානයකට සම්බන්ධවී සිටි වලස්මුල්ල ප්‍රදේශයේ ෂෙල්ටන් නම් තරුණයෙකු ‘‘සුදර්ශ’ නමැති ආධ්‍යාත්මික නමකින් පෙනී සිටිමින් තම ආධ්‍යාත්මික සංවර්ධනය ඉහළ මට්ටමට නංවාගනු පිණිස සිරිපා හිමයේ භාවනා කරමින් සිටින අතර මිනිස් වාසයෙන් තොර ඉසව්වක දී නිව්මෝනියාව වැලඳීමෙන් මරුමුවට පත්විය. ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගයේ ඇහැලකණුව අද්දර වැටී තිබූ ඔහුගේ මළ සිරුර එවක ශ්‍රීපාදස්ථානය මුර කළ තිස්ස කුමාරට හමුවන විට එම තරුණයා මියගොස් දින තුන හතරක්ම ඉක්ම ගොස් තිබුණි.   


මේ අතර අද මෙන්ම ව්‍යාප්ත සහ සංකීර්ණ මාධ්‍ය ජාලයක් නොතිබූ හතළිහේ, පනහේ සහ හැටේ දශකවල රටේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබුණු දියසේන කුමාරයාගේ උපත ලුණු ඇඹුල් සහිතව වාර්තා කිරීමට එවක පුවත්පත් කතුවරු පසුබට නොවූහ. ඒ සිදුවීම් අතරින් ප්‍රධාන සිදුවීම වාර්තා වූයේ දකුණු පළාතේ මිද්දෙණියට නුදුරු වෑ කඳවල, අබලකොළවැව නම් ග්‍රාමයෙනි. එහි කන්දෙගෙදර නම් නිවසේ විසූ දිළිඳු ගොවි පවුලක උපන් උභයසිංහ ආරච්චිගේ ජයතිලක නම් පවුලේ දෙවැනි දරුවා නිසැක ලෙස දියසේන කුමාරයා බව ජනතාවට ඒත්තු ගැන්වෙන පුවත් මාධ්‍ය මගින් පළවිය. දරුවාගේ ශරීරයෙන් රැස්විහිදීම, සබන්, පියර ආදී උපකරණ සේම නිවසට වුවමනා හාල්, පිටි, සීනි ආදී ද්‍රව්‍ය ඉබේ පහළවීම, කොතරම් පාවිච්චි කළත් නිවසේ භූමිතෙල් බෝතලය අඩු නොවී තිබීම ඒ හාස්කම් අතුරින් කිහිපයක්ය. මෙම අබකොළවැව දියසේන කුමාරයා සම්බන්ධ ප්‍රසිද්ධිය කොතරම් දුර දිග යන ලද්දේ ද කිවහොත් ඔහුගේ උපතින් මඳ කලක් යත්ම දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම දහස් ගණන් ජනී ජනයා සිරුරින් විහිදෙන රැස් හා ඒ අසිරිමත් කුමරුන් දැක ගැනීම පිණිස අබකොළ වැවට සේන්දු වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ කදක් ආපසු හරවා ගැනීමටත් නොහැකි අඩි පාරක්ව තිබූ අබකොළ වැව පාර ඉතා ඉක්මනින් වාහන යන මට්ටම දක්වා සකස් වීමය.   
මේ අතර මෙම දියසේන කුමාරයා යනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ඉදිරිපත්වූ පිට පළාත්වලින් පැමිණි ඇතැම් පිරිස් දියසේන කුමරුන් උදෙසා සම්මාදම් එකතු කරන්නට වූයේ අඩුම තරමින් ඔහුගේ දෙමාපියන්ගේ විමසීමක් පවා නොකරමිනි.   


මේ අතර තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් දියසේන කුමාරයාගේ ඉඳුල් කටගෑම මුල්කරගෙන දින හතක පරිත්‍රාණ ධර්ම දේශනයක් සංවිධානය කර තිබුණි. එවකට පහ හය වියෙහි පසුවූ එම පිරිත් පිංකමට එක් වූ විශ්‍රාමික පිරුවන් ආචාර්යවරයෙකු සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන සමර අබකොළවැව මහතා පවසනුයේ වැඩිහිටියෙකු විසින් තමන් ඔසවා වෙනත් තැනකට ගෙන නොගියේ නම් එදින රැස්වූ ජනතාවට තමන් තැලී පොඩිවී මිය යාමට පවා ඉඩ තිබුණු බවකි. එමෙන්ම එම දියසේන කුමර උපත තවත් පිරිසකට පසුව ජාවාරම් උල්පතක් වූ බව පෙනේ.   


කොතෙක් බලාපොරොත්තු තබා මෙම ජයතිලක දරුවා දියසේන කිරීමට බොහෝ අය උත්සාහ කළත් එය ඉටු නොවිණි. තරුණ වයසේ ඔහු එයට ප්‍රියතාවයක් නොදැක්වූ අතර තමන් දියසේන කුමරු යැයි හඳුන්වනවාට පවා ඔහු විරුද්ධ විය. අවසානයේ ඔහු 88-89 භීෂණ සමයේ තමන් සතුව තිබූ බෝම්බයක් පිපිරීමෙන් මරු තුරුලට ගියේය.   


අද ඔහු හෝ ඔහුගේ මව ජීවතුන් අතර නැත. මෙම ජයතිලක දියසෙන් කුමාරයාගේ පියා අදටත් ජීවතුන් අතරය. නමුත් ඔහුට දියසේන කුමාර කතාව වහ කදුරුය. එතැනින් දියසේන කුමාර කතාව යට ගොස් තිබූ අතර නැවතත් ඇතැම් අනාවැකිකරුවන්, ජ්‍යොතිෂවේදීන් දියසේන කතාව උලුප්පා දක්වමින් සිටී. නූපන් දියසේන කුමරෙකු ඉපදී රට ජාතිය ආගම බේරාගන්නා තෙක් නොසිට ඉපදී සිටින සියලු දෙනාම තමන් දියසෙන් කුමාරවරුන් ලෙස සිතා රට ජාතිය ආගම වෙනුවෙන් කැප වෙන්නේ නම් කොතරම් අගේ ද?

 

කොත්මලේ රංජිත් සිසිර
 කුමාර සූරියආරච්චි