පෙති එකින් එකට බොහෝ සෙනෙහසින් යාව ඇති සුවඳින් පිරුණු විකසිත වූ මලක් සුන්දරය. මලේ එක් පෙත්තක් හෝ ගිලිහි ඇත්නම් එයට විකසිත මලක් යැයි කියන්නට නොහැක. මුතු ඇටයෙන් ඇටය එකට යා කළ මුතු පොට සුන්දර ය. ඉන් එක් මුතු ඇටයක් හෝ බිඳ වැටී ඇත්නම් එය මුතු පොටක් යැයි කියන්නට නොහැක. පවුලකට ද එසේම ය. දෙමාපියන් දරුවන් එක්ව සිටින විට එය සොඳුරු කැඳල්ලකි. පවුලකි. එය සුන්දර ය. එහෙත් ඒ සොඳුරු කැඳැල්ල බිඳි, විසිරි ඇත්නම් එය කැඳල්ලක්, පවුලක්, කුටුම්භයක් යැයි කියන්නට නොහැක. එවන් සොඳුරු පවුලක් කුමන හෝ හේතුවක් මත හෝ බිඳි විසිරි ගියහොත් ඉන් විශාලම හානිය වන්නේ පවුලේ දරුවන්ට ය. එම හානීය මහ ඛේදවාචකයක් වන්නේ එය පවුලට පමණක් නොව සමාජයටය. රටට ය. ලෝකයට ය.

සමස්ත ලෝකයම වෙලාගත් බිහිසුණු මෙන්ම අතිශය බරපතළ ප්‍රශ්නයක් වී ඇති මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය කෙරෙන කතාබහ විශාල ය. විවිධ සමාජ ස්ථරවල භාවිත වෙමින් පවතින මෙම මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ දැන් දැන් පාසල් දරුවන් අතර ද පැතිර යමින් පවතින බව ඇසෙන පෙනෙන දකින දෙයින් තහවුරු වෙමින් පවති. දරුවකු මින් මුදවා ගන්නේ කෙසේ ද?, එවන් අවදානම්කාරි දරුවෙකු හඳුනා ගන්නේ කෙසේ ද? මේ බොහෝ දෙනාගේ සිත් සතන් තුළ දැවටෙන ගැටලු‍වකි.


අපට හමුවූ බොහෝ දෙමාපියන් මහත් වූ කම්පාවකින් පවසන්නේ තමන්ගේ දරුවන් මත්ද්‍රව්‍ය කෙරෙහි විශාල පෙලඹවීමක් ඇති බවත් ඉන් දරුවන් මුදවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවත් ය.


“දරුවා වැඩිය ගෙදරට මුහුණ දෙන්නේ නැහැ. දහසැරයක් ඇහුවොත් තමයි කටින් උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඒත් ඇයි අපේ දරුවෝ අපිට මෙහෙම කරන්නේ. පුතා අපි එක්ක කතා නොකළට යාළු‍වෝ එක්කනම් තිස්සෙම කතා බහ කරනවා. කාමරේ දොරවහ ගෙන ඉන්නවා. ඇහුවම කියන්නේ පාඩම් කරනවා කියලා“ එක් මවක් පවසා සිටියේ එසේ ය.


“මම නම් කියන්නේ දරුවෙක් මත්ද්‍රව්‍යවලට හරි වෙනත් මොනවා හෝ නරක දේකට පෙලඹෙනවා නම් ඊට මුලින්ම වගකියන්න ඕනේ අම්මා තාත්තා කියලා. විශේෂයෙන් අම්මා සහ දරුවන් අතර හොඳ ආදරණිය සන්නිවේදනයක් තියෙන්න ඕනේ. වාසනාවට මගේ පුතාල දෙන්නා මේවාට යොමුවෙලා නැහැ. ඊට ගොදුරු වුණු තමන්ගේ යාළු‍වන්ව එයින් මුදා ගන්නත් පුතාලා උත්සහ කරනවා. මම සමහර වෙලාවට ඒ දරුවෝ එක්ක කතා කරනවා. මුලින් මට වැඩිය මුහුණ දුන්නේ නැති වුණත් ඒ දරුවන්ට මම හොඳ අසන්නෙක් වීම නිසා දරුවෝ මා එක්ක ඔවුන්ගේ ප්‍රශ්න කතා කරනවා.


දරුවා ආශ්‍රය කරන්නේ කවුද? ෆෝන්වල තිස්සෙම එල්ලිලා ඉන්නේ ඇයි?, මේවා තදින් නෙමෙයි අම්මා දරුවාගේ හොඳම මිතුරිය විදියට සෙනෙහසින් කතා බහ කරලා මේවා වළක්වා ගන්න පුළුවන්. මෙහිදී අතිශයින්ම කනගාටුදායක කාරණයක්. ඔබට කියන්න තියෙනවා එනම් තමන්ගෙම දරුවා සමග එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරන අම්මා කෙනෙක් ඒ දරුවන් අතර හිටියා. ඇත්තටම ඒක හරිම ඛේදනීයයි. තවත් සමහර දරුවන්ට මින් මිදීමේ ලොකු වුවමනාවක් තියෙනවා. ඒත් බාහිරෙන් එන බලපෑම වැඩි නිසා දරුවෝ අසරණ වෙනවා “ කොළඹ ඉහළ පෙළේ ආයතනයක විධායක නිලධාරිනියක් වන පුතුන් දෙදෙනෙකුගේ මවක් වූ ඇය මහත් වූ කම්පාවෙන් කියා සිටියේ එසේ ය.


“සමහර දරුවෝ prescription එකක් අරන් ඇවිත් සමහර ඖෂධ වර්ග ඉල්ලනවා. ඒවා තද වේදනා නාශක ඖෂධ. වෛද්‍යවරයෙක් විසින් යොමු කරන ලද prescription එකක් අරන් ආවොත් අපි එම ඖෂධ ලබා දීමට බැඳිලා ඉන්නවා. නමුත් අපිට තේරෙනවා නම් මේ දරුවා මෙය අවභාවිතාවක් සඳහා කරන්නේ කියලා අපි එය කිසිසේත්ම ලබා දෙන්නේ නැහැ. බොහෝ දරුවන් මේ ආකාරයට අධි වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට එනවා. අපිට අත්දැකීම් තියෙනවා. අපි කිසිසේත්ම දරුවන්ට එම ඖෂධ ලබා දීමක් කරන්නේ නැහැ.. නමුත් අපි එහෙම කළා කියලා මෙය වැළැක්වීම අසීරුයි. බොහෝ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්න බව අප දන්නවා. ෆාමසි හිමිකරුවෙක් පවසා සිටියේ එසේ ය.
ඇසෙන දකින පෙනෙන හැම දෙයින්ම පැහැදිලි වන්නේ දරුවන් සම්බන්ධයෙන් කෙරෙන මේ කතා බහ අතිශය බියකරු බව ය. පවතින මෙම තත්ත්වයේ බැරෑරුම්කම සැබෑ බරකින් ගත යුතුව තිබෙන බව ය. මත්ද්‍රව්‍ය නිවාරණයන්, පැතිරයාම්, මෙන්ම මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ අරමුණින් සිය කාර්යයන් ඉටු කරන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර ලබාදීම, පුනරුත්ථාපනය කිරීම ඇතුළු කාර්යභාරයන් රැසක් ඉටු කරන අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ (පර්‌යේෂණ) ඒ.ටී. දර්ශන මහතාගෙන් මෙම කාරණා සම්බන්ධයෙන් මෙන්ම දරුවන් සම්බන්ධයෙන් ද අප විමසා සිටියේ එම පසුබිම දැඩිව සැලකිල්ලට ලක් කරමිනි.


ඔහු මෙහිදී දැඩිව අවධාරණය කරමින් පවසා සිටියේ පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වීමේ අවදානම් සහගත තත්ත්වයක් රටේ මතුව තිබෙන බවත්, මේ තත්ත්වය වහාම වළක්වා ගත යුතුව තිබෙන බවත් ය.


“දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය කියන එකේදී සිද්ධීන් තැනින් තැනින් වාර්තා වෙනවා. ඒවා කිසිම විදියකින් සාමන්‍යකරණය කරන්න බැහැ. ඒවා හයිලයිට් කරන්නත් බැහැ. අපි කළ යුත්තේ ළමයින් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමට පුලු‍වන් සහ ඔවුන් අවදානමට ලක්වෙන්න පුළුවන් අවදානම් සාධක මොනව ද කියලා හඳුනා ගැනීම.


ඇත්තටම ළමයින්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන කතා කරන විට සමහර පාසල්වලින් වාර්තා වෙන සිද්ධින් සාමාන්‍යකරණය කිරීමට යාමේදී ප්‍රශ්නකාරි වෙනවා. අපි 2016-2017 වර්ෂවලදී පාසල් දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයට අදාළව කරන ලද පර්‌යේෂණයට අනුව අපට අනාවරණය වූ කරුණු අනුව ළමයින් ඇල්කොහොල්, බියර් වැනි දේට ඉතා අඩු ප්‍රතිශතයක් වගේ තමයි වාර්තා වුණේ. අපි රජයේ පාසල්වලින් ළමයින් 5000 ක් පමණ තමයි මේ නියැදියට තෝරා ගත්තේ. බරපතළ තත්ත්වයේ මත්ද්‍රව්‍යවලට ගිහිල්ලම නැති තරම් තමයි වාර්තා වෙන්නේ. නමුත් දැන් වන විට එම කාලයට සාපේක්ෂව ගත්විට පොඩ්ඩක් විතර වැඩි වෙලා තියෙනවා. හැබැයි අපිට කියන්න බැහැ සමස්ත පාසල් ප්‍රජාවම මේ මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙලා ඉන්නවා කියලා. නමුත් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ අවදානම් සහගත බව වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණය, ඔන් ලයින් අධ්‍යාපනය, තරගකාරිත්වය, පරිසරයේ මත්ද්‍රව්‍ය වැඩිවීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලපෑම මේ සියල්ලම සමග ළමයින් මෙයට යොමු වීමේ අවදානම වැඩි වෙලා තියෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම ඒ තත්ත්වය අපි වළක්වා ගත යුතුම දෙයක් වෙනවා.” ඔහු පවසා සිටියේ එසේ ය.


අන්තරායාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්‌යේෂණ අංශයේ දත්ත අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට පත් වූ දරුවන්ගේ වයස් කාණ්ඩ හා මත්ද්‍රව්‍ය පිළිබඳ දත්ත මෙසේ දැක්වෙයි.


වයස අවුරුදු 14 ට අඩු ගංජා භාවිත කළ දරුවන්ගේ සංඛ්‍යාව 2019 වර්ෂයේ දී 9 ක් වුවද, 2020 සහ 2021 වර්ෂවල දී 06 දක්වා පහත බැස ඇත. 2019 වර්ෂයේ දී අවුරුදු 15-19 අතර වයසේ දරුවන් 2450 දෙනෙකු ගංජා භාවිත කර ඇති බව වාර්තා වෙයි. එය 2020 වර්ෂයේ දී 1855 ක් වුවද, 2021 වර්ෂයේ දී 842 ක් දක්වා අඩුවී ඇත.
හෙරොයින් භාවිත කළ වයස අවුරුදු 14 ට අඩු ළමුන්ගේ සංඛ්‍යාව 2021 වසරේ දී 02 ක් වුවත්, එය 2019 වර්ෂයේ දී 06 ක් ලෙසත්, 2020 වර්ෂයේ දී 04 ක් ලෙසත් වාර්තා වී තිබේ. වයස අවුරුදු 15-19 ත් අතර හොරෙයින් භාවිත කිරීම සම්බන්ධව 2019 වර්ෂයේ දී 554 දෙනෙකු වාර්තා වී ඇත. එය 2020 වර්ෂයේ දී 555 ක් ව තිබූ ඇති අතර 2021 වර්ෂයේ දී 217 දක්වා අඩුවී ඇත.


හෂිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතා කළ වයස අවුරුදු 14 ට අඩු කිසිදු දරුවෙක් 2019, 2020, 2021 යන වර්ෂවලදී වාර්තා වී නැත. එහෙත් 2020 වර්ෂයේ දී වයස අවුරුදු 15-19 ත් අතර ළමයින් 8 දෙනෙකු සහ 2021 වර්ෂයේ දී 01 ළමයෙකු පමණක් වාර්තා වී ඇත. 2019 වර්ෂයේදී අදාල වයස් කාණ්ඩයෙ කිසිදු ළමයෙකු වාර්තා වී නැත.


මේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න මහතා ය


“මුලින්ම කියන්න ඕනෑ කාරණයක් තියෙනවා. අන්තරායාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විදියට අපේ පර්‌යේෂණ අංශය හැම වෙලාවකම උත්සාහ කරනවා විද්‍යාත්මක පර්‌යේෂණ ඔස්සේ නිවැරැදි දත්ත සමාජගත කරන්න. පාසල් දරුවන් වෙනුවෙන් කරපු අන්තිම පර්‌යේෂණ වාර්තාව අපිට කරගන්න පුළුවන් වුණේ 2017 වර්ෂයේදී. පාසල් දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සහ ඒ ආශ්‍රිත උපනතීන් පිළිබඳව දරුවන් පන්දහස් හැත්තෑ පස් දෙනෙක් යොදා ගෙන පර්‌යේෂණයක් කර තිබෙනවා. පාසල් 100 යි, දිස්ත්‍රික් 12 ක දරුවන් යොදා ගෙන කරපු මේ පර්‌යේෂණයේදී වාර්තා වෙනවා මේ දරුවෝ සියයට 84 ක් ජීවිතේ කිසිම දවසක නියැදියට ලක් කරපු දරුවන්ගෙන් සියයට 84 ක් කවදාවත් අත්හදා බලන්න හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ. සියයට 6 ක් වගේ දරුවෝ ප්‍රමාණයක් යම් මත්ද්‍රව්‍ය භාවිතයක ඉන්නවා. හැබැයි ඒ මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය අන්තරායකාර ඖෂධ විදියට ගිහිල්ලා තියෙන ඒවා නෙමෙයි. බොහෝ ඒවා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන.


දරුවෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමක් තියෙනවාද?


මත්ද්‍රව්‍ය භාවිතය කියන්නේ එකක්. දුර්භාවිතය කියන්නේ එකක්. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කියන්නේ තව එකක්. මත්ද්‍රව්‍ය පරාර්ථභාවය කියන්නේ තවත් එකක්. ඇබ්බැහිය කියන්නේ මත්ද්‍රව්‍ය නැතුවම බැරි එකක්. එහෙම පාසල් දරුවෝ නැහැ. එහෙම ඉන්නේ බොහෝම අතළොස්සක්. මේ ගැන දන්නේ නැති නිසා යම් භාවිතයක දරුවෙක් අත්හදා බලන්න පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය හිතන්නේ ඒ පාවිචිචියත් ඇබ්බැහිවීමක් කියලා. ඇබ්බැහි වීම තියෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයේ අන්තයෙයි. එහෙම භාවිතය ඉන්න දරුවෙක් ඉස්කෝලේ එන්නේ නැහැ.


කොළඹ කලාපයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධිතව ස්වේච්ඡා පාසල් උපදේශිකාවක් ලෙස කටයුතු කරන නිල්මිණි අබේසේකර මහත්මිය


රට පුරා මේ වෙනකොට පාසල් දරුවන් ගොදුරු කරගනිමින් ශිග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර ගැන කතා කරනවා නම්, ඒක ඇත්තටම පුළුල් මාතෘකාවක්. එය පාසලකට සීමා නොවි විවිධ පාසල්වලට සම්බන්ධ වෙමින් විශේෂයෙන් බස්නාහිර පළාතේ පාසල් අතර යමින් මේ වන විට දරුවන්ගේ පොදු ප්‍රශ්න මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ ඇබ්බැහිවීම් හා ඒ ආශ්‍රිත වූ විවිධාකාර ගැටලු‍ සම්බන්ධයෙන් පාසල් උපදේශන සේවාවේ මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් කිරීමේ කෙනෙක් හැටියට මට නම් සතුටු විය හැකි මට්ටමක නැහැ. අපේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් වලට වඩා අත්හදා බැලිම් කිරීමට පෙළඹි ඇති බවයි පෙනි යන්නේ. පොදුවේ දෙමාපියන්ට මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ට “ දැනෙන්න ආදරේ කරන්න“ කියලයි. දෙමාපියන් මේ සම්බන්ධයෙන් සංවේදි විය යුතුමයි. කාර්යභාරයකට එහා ගිය වගකීමක් ඔවුන් සතුයි. දරුවාගේ පෞරුෂත්වය ගොඩ නැගීම තුළ තමයි දරුවා ඒ ඒ කාලවලදී ගන්නා තීන්දු තීරණ සහ ප්‍රතික්ශේප කිරීම් ක්‍රියාත්මක වන්නේ. ඒ පෞරුෂය ගොඩ නැගීමේ මුල්ම අඩිතාලම දැමීම දෙමාපියන් සතුයි. ඉන්පසු එය සමස්ත සමාජයට බෙදි යනවා. එය ශක්තිමත් දැලක් වගෙයි. නමුත් එක් තැනකින් ඒ දැල කඩා වැටුණොත් සියල්ලම කඩා වැටෙනවා.

 

 

සටහන 
පද්මිණි මාතරගේ