මෙරට හිස්ව ඇති සෑම බිම් අඟලක්ම වගා කිරීමට වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයා පසුගිය කාලයේ උත්සහ ගත්තේය. හිස්ව ඇති මුඩු බිම් වනජීවි ඉඩම් වන සංරක්ෂණ ඉඩම් ගැන ඇමැතිවරයා අවධානය යොමු කළත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ඉඩම් කෙරෙහි ඇමැතිවරයාගේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි. මේ ආකාරයට මධ්‍යම රජයේ මෙන්ම පළාත් සභා ආශ්‍රිතව ගොවිපොළවල් සහ පුහුණු මධ්‍යස්ථානවල ඉඩම් ඇති අතර ඒවා බොහොමයක් වල් වැදී ඇත. එසේම හොඳට ගොවිතැන් කරන තැන් ද තිබේ.
- බිඳුණුවැව ආයතනයේ ප්‍රකාශකයෙක්
එහෙත් අප කියන්නට යන්නේ හොඳට ගොවිතැන් කරන තැන් නොවේ. ගොවිතැන් කිරීමට හොඳට භූමිය සහ සෑම පහසුකමක්ම තිබිලත් ඉන් නිසි ප්‍රයෝජනයක් නොගන්නා තැනක් ගැනය. නමුත් මෙම තැන්වල නිලධාරීන් බොහොමයක් සිටියත් රටේ කෘෂිකර්මාන්තයට ඔවුන්ගෙන් වෙන දායකත්වය කෙබඳු දැයි ඔවුන්ම නොදනී. එහෙත් ඔවුන් මේ රටේ මුදල් නම් නාස්ති කරමින් විශාල පාඩුවක් කරන්නේ ගන්න වැටුපට ද සරිලන සේවයක් ද නොකරමිනි. මේ අප කියන දෙයක් නොවේ. මේ කතාව අපට කියන්නේ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් පවසන දෙයකි.
මෙම ස්ථානය ඌව පළාත් සහාවට අයත් බිඳුණුවැව බණ්ඩාරවෙල පිහිටි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයයි. මෙම ආයතනය අක්කර 42ක භුමි භාගයකින් යුක්තය. මෙම ආයතනය මගින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින නිලධාරිහු මෙන්ම ගොවියන් පුහුණු කිරීම සිදු කරති. වසරකට නිලධාරීහු 800ක් පුහුණුව ලබති. ගොවීහු 500ක් මෙහි වගා පුහුණුව ලබති. කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙකු සහ සංවර්ධන නිලධාරිහු 8ක් මෙහි සේවයේ යෙදී සිටිති. එසේම කම්කරුවෝ 54ක් ඇතුළු 83 දෙනෙකු සේවයේ යෙදී සිටිති. මේ අය වෙනුවෙන් මාසිකව වැටුප රුපියල් ලක්ෂ 35ක් පමණ ගෙවති. ඒ වෙනත් නඩත්තු කිරීම් හැරය. අභ්‍යාස ආයතනය ලබන ආදායම මාසයකට ලක්ෂ 4ක් පමණය. මෙම අභ්‍යාස ආයතනයේ සිටින නිලධාරීන්ගෙන් මෙම අභ්‍යාස ආයතනයට හෝ රටට කිසිදු ප්‍රයෝජනයක් නෑ. මේ භූමිය වගා කළොත් සල්ලි ආකරයක් බව අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
සමහර දිනවල සේවයට නොපැමිණෙන මෙහි ඇතැම් නිලධාරීන් අත්සන් කොට වැටුප් ලබන බවට තොරතුරු ඇතැයි අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. මේ ආයතනයේ අවශ්‍යතාව වෙනුවෙන් ලබා දෙන ඉන්ධන ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික වාහනවලට යොදාගෙන ඇත. මේ අභ්‍යාස අායතනය ගැන ඌව පළාතේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවධානය යොමු වී නැති බව ද අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
මෙම ආයතනයේ විගණනය කිරීමට එන නිලධාරින් මේවා ගැන නිසි විගණනයක් නොකරනව යැයි අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. විගණනයට එන අය විගණනය පසෙකලා එළවළු, බිත්තර රැගෙන යනවලු යැයි ඒ මහතා පෙන්වා දෙයි. එසේම මේ ආයතනයේ වසර පහකට වඩා සේවය කරන අය බොහොමයක් සිටින අතර ඒ අයට ස්ථාන මාරුවීම් නැති බවද අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. මේ ගැන ජාතික විගණන දෙපාර්තමේන්තුවද විමසීම් කර ඇති නමුත් කිසිදු දෙයක් වී නැත. මෙහි වසර 12කට වඩා සේවය කරන අය ද බහිරවයෝ මෙන් අරක්ගෙන සිටිති. ඒ අය ඔවුනට ඕනෑ ලෙස අභ්‍යාස ආයතනයේ කටයුතු මෙහෙයවන බවද අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
සමහර කම්කරුවන් මෙහි රැකියාවට විත් අත්සන් කොට පාසල් ප්‍රවාහනයේ යෙදෙන අයද සිටිති. එසේ ගිය අයෙකු පසුගිය කාලයේ අනතුරට ද පත් වී ඇත. නමුත් මේ සියලු දේ එළියට එන්නේ නැත. සියලු දේ යටපත් කරමින් අනෙකුත් සේවකයන් පාලනය කිරීමට තිදෙනෙක් ක්‍රියා කරති. මෙහි එක් නිලධාරියෙකු බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉදිකරන නිවසේ වැඩ කිරීමට අභ්‍යාස ආයතනයේ සේවකයන් යොදාගෙන ඇති බව ප්‍රසිද්ධ රහසකි. මේ අභ්‍යාස අයතනයේ සිදුවෙන දූෂණ වංචා ගැන සෙවීමට එකල හිටපු ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට ද හදිසියේම අභ්‍යාස ආයතනය වෙත පැමිණ ඇත. එම අවස්ථාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා අත්සන් කොට නිවසට ගොස් සිටි බවට අනාවරණය වූ බව අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
මෙම අභ්‍යාස ආයතනයේ කිරි හරක් 13 දෙනෙක් සිටිති. කිකිලියන් 120 ක් පමණ සිටිති. මෙහි කම්කරු සේවකයෝ 54ක් සිටිති. නමුත් මෙම අභ්‍යාස ආයතන භුමිය කැලෑවෙන් වැසි ඇත. එම කැලෑ කපා වගා කිරීමට කිසිදු උපදෙසක් එම නිලධාරින්ගෙන් නොලැබෙන බව අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. මේ කැලෑව වවා ඇත්තේ හරකුන්ට කෑම සපයා ගැනීමට යැයි කියා නිලධාරින් රවටන බව අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරියගෙන් ද මෙම අභ්‍යාස ආයතනය නගා සිටුවීමට කිසිදු වැඩක් වී නැති බව එම ආයතනයේ ප්‍රකාශකයෙකු ද අප වෙත සනාථ කළේය. එම ප්‍රකාශකයා පෙන්වා දෙන පරිදි මෙම ආයතනයේ සියලු පහසුකම් සහිත ලංකාවේ හොඳම පටක රෝපණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ඊට රුපියල් කෝටි ගණනක් වියදම් කර ඉදි කළත් ඉන් නිසි ප්‍රයෝජන නොගන්නා බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. ආයතනයේ තිදෙනෙක් කරන මේ අසාධාරණ වැඩේට විරුද්ධ වූ අයට ස්ථාන මාරුවීම් ද ලබා දී ඇති බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.
බිඳුණුවැව ආයතන භූමියේ කැලෑව වැවී ඇති අයුරු.
ගොවිජන එකමුතුව මෙම ආයතනයේ
චාරිකාවක නිරතවෙමින්
බිඳුණුවැව පුහුණු මධ්‍යස්ථානයේ සිටින ආයතන ප්‍රධානියාට සෘජු තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැත. ඒ මේ අය අතර සිදුවී ඇති ඇතැම් ගනුදෙනු හේතුවෙනි. මෙහි නේවාසිකාගාරයේ සිය හිතවතුන්ට නවාතැන් දෙන ඇතැම් නිලධාරින් කිසිදු මුදලක් අය කරන්නේ නැත. එසේම එන සමහර කෘෂිකර්ම ව්‍යාපෘතිය සඳහා වෙන් වෙන මුදල් ගැනද ගැටලු සහගත තැන් ඇති බව එම ප්‍රකාශකයා පවසයි. මෙම අයතනයේ ප්‍රධානියා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කෙනෙකු වුණාට මෙහි පාලනය කරගෙන යන්නේ සංවර්ධන නිලධරියෙකු බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. නේවාසිකාගාරය භාරව සිටින මේ පුද්ගලයා මුළු ආයතනයම පාලනය අතට ගෙන ඇති බව බිඳුණුවැව පුහුණු ආයතනයේ ප්‍රකාශකයා අප වෙත කියා සිටියේය. ඔහුට යම් දේශපාලන හයියක් ද ඇත. ඔහු වසර පහකට වඩා එකම තැන සේවය කොට ස්ථාන මාරුවීම් ලැබීමට නිර්දේශ වූ අයෙකි. නමුත් ඔහු යන්නේ නැති බව අප වෙත තොරතුරු කී ප්‍රකාශකයා පෙන්වා දෙයි. මීට පෙර හමුදා සේවයේ ද සිට ඇති මේ පුද්ගලයා පුහුණු ආයතනය ඇතුළේ හමුදා පාලනයක් ගෙන යාමට උත්සාහ ගනී. එසේම සේවකයන්ට දැඩි බලපෑමක් කරන බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. ආයතන ප්‍රධානියාගේ කීමට ද නතු නොවී නේවාසිකාගාරයෙන් කාමරයක් සියලු පහසුකම් සහිතව තනා ගෙන ඇත. එම නේවාසිකාගාරය සහ අවට පිරිසුදු කර ගැනීමට පමණක් කම්කරුවන් යොදවා ගන්නා අතර ආයතනයේ සංවර්ධන කටයුතු සඳහා කිසිම සේවකයෙක් යෙදවීමට බැරි බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.
බිඳුණුවැව පුහුණු ආයතනයේ සිදුවෙන අකටයුතුකම් සෙවීමට ඌව පළාත් සභා විගණන නිලධාරින් පැමිණිය ද ඔවුන් මේ ක්‍රියා ගැන ඇහැක් ඇර බලන්නේ නැත. මේ නිසා බිඳුණුවැව පුහුණු ආයතනය අද පාලනය වෙන්නේ සංවර්ධන නිලධාරියෙකුගේ කීමටය. මෙම ආයතනය නගා සිටුවීමට නම් ආයතනයට වින කරන නිලධාරින් තිදෙනා ඉවත් කරන දෙන මෙන් එම ප්‍රකාශකයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම ආයතනයට කිරි, බිත්තර එළවළුවලින් යම් ආදායමක් ලබයි. වගා කොට දියුණුවක් ලබන ආයතනයකට නම් මෙහි ඕනෑ තරම් වගා කිරීමට අවස්ථාව ඇත. මේ අයතනයේ දියුණු වීමට ඇති එකම තැන පටක රෝපණ අංශයයි. රුපියල් කෝටි ගණනක් වියදම්කොට තනා ඇති පටක රෝපණ අංශයෙන් අද ගන්නා ප්‍රයෝජනයක් නැත. එය හොඳින් වැඩි දියුණු කළා නම් මුළු ආයතනයටම වැටුප් ගෙවා හොඳින් ලාබ ලැබීමට ආදායම් උපයා ගත හැකි බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.
පටක රෝපණ අංශයේ වැඩට තාක්ෂණ නිලධාරීන් නැත. ඉන්නේ එක් කෘෂිකර්ම උපදේශක කෙනෙක් පමණි. මෙම ගොවිපොළේ සංවර්ධන නිලධාරීන් සහ කළමනාකරණ නිලධාරින් සිටියහ. ඔවුන්ගේ සේවය කාර්යාලයට පමණක් සීමා වී ඇති බව බිඳුණුවැව පුහුණු ආයතනයේ ප්‍රකාශකයා පෙන්වා දෙයි. විගණන නිලධාරීන් පැමිණියත් පටක රෝපණ අංශයෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම පෙන්වා දුන්න ද එම නිලධාරීන්ට ඒ ගැන ගණනක් නැති බව ද එම ප්‍රකාශකයා පවසයි. මෙම පටක රෝපණ අංශයෙන් පටක රෝපණය සඳහා යොදා ගන්නා බීජ පැළ 500-1000ක් හැදීමට පුළුවන. එම පැළ නෙතවුස් එකකට දැමූ පසු ඒවා ද දිනකට 500- 1000ක් අතර හැදීමට පුළුවන. රජයේ ආයතනයක හොඳ බීජ පැළ නිෂ්පාදනය කරන විට ඊට හොඳ ඉල්ලුමක් තිබේ. නමුත් මෙම ආයතනයේ පරිපාලනය හරියට නොකරන නිලධාරීන්ට ඒ ගැන දැනුමක් නැත. මෙය වැඩි දියුණු කිරීමට ද උනන්දුවක් ද නැති බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.
දිනකට පැළ 500-1000ත් පටක රෝපණයෙන් පැළ නිපදවනවා අලෙවි කර ආදායම් උපයනවා වෙනුවට මේ පරිපාලනයට මාසෙකට පැළ 10ක් වත් අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බව බිඳුණුවැව පුහුණු ආයතනයේ ප්‍රකාශකයා පවසයි. උපරිම වශයෙන් මාසයකට පැළ 75-100ක් නිපදවන්නේ නැත. අඩුම තරමේ මාසයකට පැළ සියයක් විකුණුවා කියා ලේබනවල සටහන් වී නැති බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. පටක රෝපණය ගැන දන්නා හොඳ කෘෂිකර්ම උපදේශකවරු එළියේ ඕනෑ තරම් සිටිති. ඒ අය මීට යොදවා මින් උපරිම ප්‍රයෝජනයක් ගත යුතුබව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. එසේ නැත්නම් තාක්ෂණ නිලධාරීන් යොදවා හෝ පටක රෝපණ අංශයෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන ලාබ ඉපැයිය යුතු බව ද එම ප්‍රකාශකයා පවසයි.
මේ අතර එම පුහුණු ආයතනයේ තවත් ප්‍රකාශකයෙකු පෙන්වා දෙන්නේ එම ආයතනයේ මේ විනාශය සිදු වූයේ පසුගිය වසර 4-5 ඇතුළත දී බවය. මේ වෙන විට ආයතනය කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති බව ද එම ප්‍රකාශකයා ද පෙන්වා දෙයි. ඊට ප්‍රධාන හේතුව ආයතනය පාලනය වෙන්නේ එක් සංවර්ධන නිලධාරියෙකුගේ කීම නිසා බවද එම ප්‍රකාශකයා ද පෙන්වා දෙයි.
බිඳුණුවැව පුහුණු මධ්‍යස්ථානයට එල්ල වෙන සියලු චෝදනා ගැන එම ආයතනයේ ප්‍රධානි කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) කිත්සිරි විමලචන්ද්‍ර මහතාගෙන්ද විමසා සිටියෙමු. එහිදී කිත්සිරි මහතා පැවසුවේ මෙවැන්නකි.
- කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ
එක් එක් අය බිඳුනුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය ගැන නගන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මේක ඇත්තටම පුහුණු ආයතනයක්. විශේෂයෙන් ඌව පළාතේ කෘෂිකර්ම තාක්ෂණ නිලධාරීන්ට පුහුණුව ලබා දෙන තැනක්. ඒ යටතේ අපි ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව අපි හොඳටම කරනවා. බිම්මල් බීජ නිෂ්පාදනය ගැන ගොවීන්ට පුහුණුව ලබා දෙනවා. ඒ ගැන කියා දෙන්න පුහුණු ආදර්ශ ගොවිපොළක් පවත්වාගෙන යනවා. අපි ගොවීන්ට බීජ හදලා දෙනවා. අපේ තියෙන්නේ ගොවිපොළක් නොවේ. අපේ ළඟ කිරි හරක් ඉන්නවා. මේ හරක්ට දිනකට තණකොළ කිලෝ ග්‍රෑම් 600ක් විතර ඕනැ. ඒ නිසා මව් බීජ වගා කර ඇති තැන්වල තණකොළ වවා තිබෙනවා. ඒවා තමයි සත්තුන්ට දෙන්නේ. අපට තණකොළ කපන්න ඉන්ධන තිබුණේ නෑ. ලැබුණු ඉන්ධන අපේ පුද්ගලික වාහනවලට ගහගත්තේ නෑ. ඉන්ධන ක්‍රමානුකූලව ආයතනයේ වාහනවලට සහ වැඩවලට යොදා ගන්නවා. ඉන්ධන නැති නිසා තණකොළ වැවිලා. ඒවා හරකුන්ට කපලා දෙනවායි කිත්සිරි විමලචන්ද්‍ර මහතා කීය.
අපේ සියලුම සේවකයන් 87ක් ඉන්නවා මමත් එක්ක. අපේ හැම ගනුදෙනුවක්ම ලැබෙන හැම ආදායමක්ම ගිණුම් ගත වෙනවා. මේවා වසර අවසානයේ විගණනයකට ලක් වෙනවා. ජනාධිපතිවරයා එන දවසේ මම හිටියේ රාජකාරි වැඩකට එළියට ගොස් බව ද කිත්සිරි විමලචන්ද්‍ර මහතා පැවසීය.
- පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ
මේ කාරණා ගැන පළාත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියා මාර්ග ගැන දැන ගැනීමට අපි පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයේෂා ගුණවර්ධන මහත්මියට ද කතා කළෙමු. එහිදී පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ පැවසුවේ මෙවැන්නකි.
මෙය පුහුණු ආයතනයක්. එක් එක් කෙනා නගන බොරු චෝදනා තියෙනවා. ආයතනය වටේ තණකොළ වවා ඇත්තේ සතුන්ට කන්න දෙන්න. එම ආයතනයේ කැලෑවල් නෑ. ඔතන වෙලා තියෙන්නේ මවා පෑමක් විතරයි. මම ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ විදියට සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. බිඳුණුවැව සංවර්ධන කටයුතු සහ පුහුණු වැඩ කරගෙන යනවා. ලාබ උපයන්න නම් ගොවිපොළක් වෙන්න ඕනැ. ඒක ගොවිපොළක් නෙමෙයි නිසා ලාබ උපයන්න ඕන නෑ. සේවකයෝ වැඩ කරන්නේ නෑ. සංවර්ධන නිලධාරි කෙනෙක් අනික් සේවකයන්ට බලපෑම් කරනවා කියා මට වාර්තා වෙලා නැති බවද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කියා සිටියාය.
- චෝදනා එල්ල වෙන සංවර්ධන නිලධාරි
මෙම ආයතනයේ සේවකයන්ට බලපෑම් කරන බව කියන සංවර්ධන නිලධාරියාගෙන් ද ඔහුට එල්ල වෙන චෝදනා ගැන අපි විමසා සිටියෙමු. එහිදී එම නිලධාරියා පෙන්වා දුන්නේ තමන්ව මෙම ආයතනයට අනුයුක්ත කළේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියාය. තමා හමුදා සේවයේ නොසිටි බවද එම නිලධාරියා කියා සිටියේය. තමන් එකම තැන වසර පහකට වඩා සේවය කරන්නේ තවත් වසර දෙකකින් විශ්‍රාම යෑමට ඇති නිසා බවද එම නිලධාරියා පවසයි. එසේම තමන් ආයතනය තුළ කිසිදු සේවකයෙකුට බැණ වැදීමක් හෝ බලපෑමක් නොකරන බවත් ඒ බව ආරක්ෂක අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළ හැකි බවත් එම නිලධාරියා පවසයි. එසේනම් මෙම නිලධාරියා සේවකයන්ට තර්ජනය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය ද දැනුවත්ව දැයි අපි දන්නේ නැත.
අපි මධ්‍යම පළාත් විගණන අංශයටද මේ ගැන දැන ගැනීමට කතා කළමුත් දුරකථනයට කවුරුත් ආවේ නැත.
සටහන :
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද
‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්
මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.
බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බිඳුණු වැව පුහුණු ආයතනයේ කෙරුවාව මෙන්න