IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පිට්ටනියක් හෝ ක්‍රීඩා භාණ්ඩ නොමැතිව සබරගමුවේ පළමු තැනට ආ ප්‍රාථමික පාසල

සබරගමුව පළාත් ප්‍රාථමික මලල ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය ලැබූ නිකගොඩ සීලරතන විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්

 

සුපිරි පාසල්වල තණ ඇල්ලූ පහසුකම් සහිත ක්‍රීඩාංගණවල හොඳ සපත්තු පැලඳ ක්‍රීඩා පුහුණුවීම් සිදු කර තරග කරන පාසල්  දරුවන් අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා. එමෙන්ම අඩු පහසුකම් සහිත දුෂ්කර පාසල්වල සපත්තු නොමැතිව අබලන් ක්‍රීඩාංගණවල ක්‍රීඩාකර ජයග්‍රහණ අත්කරගන්නා දරුවන්ද මේ රටේ සිටිනවා. අප මේ කියන්නේ එවැනි දුෂ්කර පාසලක් පිළිබඳවයි. 


අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතිදුෂ්කර පාසලක් වෙන පිඹුර සීලරතන විද්‍යාලය මෙවර පැවැති සබරගමුව පළාත් ප්‍රාථමික ක්‍රීඩා උළෙලේ දී පළාතේ ප්‍රාථමික විද්‍යාල දහසක් අතර තරග වැද ඔවුන් ප්‍රථම ස්ථානය හිමිකර රන් පදක්කම් හිමිකරගෙන තිබේ. එහෙත් එම ජයග්‍රහණය එම පාසලේ දරුවන් පාසල වෙත රැගෙන එන්නේ අනේක කම්කටොලු‍ බාධා මැදය. එම පාසලට ක්‍රඩා පුහුණුවීම සඳහා සුදුසු ක්‍රීඩාංගණයක් නොමැත. තිබෙන ක්‍රීඩාංගණය  ‘ක්‍රිඩාංගණයක්’ ලෙස නම් කළ නොහැක. ගල් මතු වූ කෙටි බිමක් පාසල් ක්‍රීඩාංගණය ලෙස ඔවුහු භාවිත කරති. 


එමෙන්ම පාසල තුළ ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ නොමැති අතර, තිබෙන ඒවාද කාලයාගේ ඇවෑමෙන් කැඩී බිඳී ගොසිනි. පාසල් ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩා සඳහා යොදාගන්නා දැල් වර්ග, බෝල් කෝට් හෝ කිසිදු උපකරණයක් නොමැත. එදා වේල සරිකර ගන්නා, අඩු ආදායම්ලාභී පවුල්වල දෙමාපියන්ගේ දරුවන් මේ පාසලේ ඉගෙනුම ලබති. එහෙත් අඩු පහසුකම් යටතේ වුවත් ඔවුන්ගේ හැකියාවන් මිලින වෙන්නට ගුරුවරු, දෙමාපියෝ ඉඩ නොතබති.
මෙවර පැවැති සබරගමුව පළාත් ප්‍රාථමික මලල ක්‍රීඩා උළෙලේ දී පැවැති තරගවලින් තුන ශ්‍රේණියේ දරු දැරියන් කඩුලු‍ මතින් දිවීම, හිටි දුර , ඉස්ටිෆින්, හරස් පැනීම , බෝලේ විසි කිරීම යන ක්‍රිඩා අංශවල කණ්ඩායම් වශයෙන් තරග වැද  රන් පදක්කම හා එම අංශවලින්ම කණ්ඩායම් වශයෙන් තරග වැද හතර ශ්‍රේණියේ සිසු-සිසුවියන්  ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්ව, සමස්ත ලකුණු මට්ටමෙන් එම පාසල ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ. 

 


අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අතිදුෂ්කර පාසලක් වෙන එම විද්‍යාලය මෙම ජයග්‍රහණය ලබාගැනීම පිළිබඳව ප්‍රදේශවාසින් සිය ප්‍රශංසාව පුද කර සිටී.
ඔවුන් පාවිච්චි කරන ක්‍රීඩා භාණ්ඩ දුටු කෙනෙකුගේ ඇස්වලට කඳුළු එන්නේ නිතැතින්මය. ඔවුන් ක්‍රීඩා තරගයකට සූදානම් වෙන්නේ දුප්පත් ගෙදරක බතක්, ව්‍යාංජනයක් සැදෙන අයුරින්ය. එහා ගෙදරින් පොල් බෑයක්, අනෙක් ගෙදරින් ලූනූ පළු‍වක්, තවත් ගෙදරකින් මිරිස් කරලක් ඉල්ලා ගන්නවා මෙන් මෙම දරුවන්ට ක්‍රීඩා පුහුණුවීම් කිරීමට සිදුවී ඇත්තේ සහෝදර පාසල්වලින් වොලිබෝල්, යගුළි, හෙල්ල ආදී ක්‍රිඩා උපකරණ ඉල්ලාගනිමිනි. එම පාසල්වල ද ක්‍රීඩා පුහුණුවීම් සිදුවේ නම් ඔහුන් පාවිච්චිකර ලබාදෙන තුරු බලා සිටිමට මෙම දරුවන්ට සිදුවේ. ඔවුන් සතුව ඇති එකම ක්‍රීඩා උපකරණය පරිත්‍යාගශීලියකු දුන් පාවිච්චි කළ වොලිබෝලයක් පමණකි. අනෙක් ක්‍රීඩා භාණ්ඩ ඔවුන් කොහෙන් හෝ පාසලකින් ඉල්ලා රැගෙන විත් ආපසු ගෙනවිත් දිය යුතුය.


ප්‍රාථමික ක්‍රීඩා තරගාවලිවල අංගයක් වෙන හැඬල් විත් මෙඩිසින් බෝලය උපයෝගී කරගෙන සිදුකරන ක්‍රීඩාව සඳහා එම බෝලයක් පාසල සතුව නොමැතිකමින් ඔවුන් පරණ වොලිබෝලයක් දෙකට කපා හැඬල් එකක් ප්ලාස්ටික් බෝතල් අණ්ඩකින් සකස්කර පුහුණුවීම් සිදු කර එම ඉසව්ව ජයග්‍රහණය කර තිබේ. එම බෝලය දමන ක්‍රීඩා උපකරණය නොමැතිකමින් කෝටුවල ලණු එල්ලා පන්දු විසිකර පුහුණුවීම් සිදුකර තිබේ. එලෙසම, අනෙකුත් ක්‍රීඩා අංග ඔවුන් ජයග්‍රහණය කර පළාතේ පළමු තැන හිමිකර ගන්නේ කිසිදු පාසල් උපකරණයක් හෝ ක්‍රීඩාභාණ්ඩ නොමැතිවය. නොපසුබස්නා ධෛර්යය හා කැපවීම, ආත්ම විශ්වාසය මත මෙම දරුවන් පළාතේ අනෙකුත් ප්‍රාථමික පාසල් දහසක් පමණ අතරින් ඉදිරියට ඒමට සමත්ය.


මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නිකගොඩ සීලරතන විද්‍යාලයේ විදුහල්පතිනි එච්.ඒ.ඩබ්ලිව්. කාන්ති මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය.
“නිකගොඩ සීලරතන විද්‍යාලය කියන්නේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ අයගම කොට්ඨාසයේ තියෙන  අතිදුෂ්කර පාසලක්. අපේ පාසලේ දරුවන් විශාල ජයග්‍රහණයක් ලබලා තියෙනවා. අවම පහසුකම් කියලවත් නැහැ මේ පාසලට. විශේෂයෙන්ම දරුවන්ට ක්‍රීඩා කරන්න නිසි පිට්ටනියක්, ක්‍රීඩා උපකරණ නැහැ අපට. අඩුම තරමේ බෝලයක්වත් නැහැ. එහෙම තියෙද්දි අපේ පාසලේ දරුවෝ මගේ දක්ෂ ගුරු මණ්ඩලය එක්ක මෙම ජයග්‍රහණය ලබලා තියෙනවා. ගුරුවරුන්ගේ ඇප කැපවීම මත සබරගමුව පළාතේ විශාල පාසල් ප්‍රමාණයක් එක්ක තරග කරලා ප්‍රාථමික මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම අරන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තියෙනවා. ක්‍රීඩා භාර ආචාර්ය හර්ෂනි එදිරිසිංහ මහත්මිය ඇතුළු ගුරුවරුන්ට මේ අවස්ථාවේදී ස්තූති කරන්න කැමැතියි. නිවිතිගල කලාපයට කාලෙකින් ලැබුණු ජයග්‍රහණයක් මේක. සබරගමුව පළාත තුළ අයගම කොට්ඨාසයත් , නිවිතිගල කලාපයත් දිදුලවන්න සමත් වෙලා තියෙනවා. එය මට අභිමානයක්. මේ සඳහා අප පාසලේ ක්‍රීඩා භාර ගුරුවරුන්,  දෙමාපියන් කාලය ශ්‍රමය වැය කරලා තියෙනවා. ක්‍රීඩා ජයග්‍රහණ මෙන්ම විභාග ජයග්‍රහණ රැසක්ද අප පාසල හිමිකරගෙන තියෙනවා. අපේ පාසලේ දරුවන් වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන් අය ඉන්නවානම් ඒක මේ අහිංසක දරුවන් වෙනුවෙන් කරන ලොකු උපකාරයක්.’’


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් වල නිරතවෙන ගුරුවරයකු වෙන සුජිත් ධර්මසේන මහතා ප්‍රකාශ කළේ,
“අපේ පාසලේ දරුවන් හරි දක්ෂයි. කොට්ඨාස, කලාප, තරගවලින් අපි ප්‍රථම ස්ථාන අරන් ඉන් පසුව පළාත් තරගවලට සහභාගිවෙලා තුන ශ්‍රේණියේ රන් පදක්කම අරන් පළමු තැනටත්, හතර වැනි ශ්‍රේණියේ ලෝකඩ පදක්කමත් ලබාගන්න පුළුවන් වුණා. ඇත්තටම මේ ජයග්‍රහණය ලබාගැනීමේ දී අපට හුඟාක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවුණා. මොකද, අපේ පාසලේ ඉන්නේ ගොඩක් දුප්පත් මව්පියන්ගේ දරුවෝ. රාජ්‍ය සේවකයන්ගේ දරුවෝ මෙතන නැහැ. දරුවන්ගේ මව්පියන් දුප්පත් කියලා එයාලගේ දක්ෂතා පොඩ්ඩක්වත් අඩු නැහැ. ඒත් දරුවන්ගේ දක්ෂතා ඔප්නැංවෙනකොට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. මොකද, අවශ්‍ය ක්‍රීඩා උපකරණ පාසල තුළ නැහැ. ඒ වගේම, නිසි ක්‍රීඩාංගණයක් පාසල සතුව නැහැ. මීටර් විස්සක් වගේ දුර පස් කපලා දාපු ස්ථානයක් තමයි ක්‍රීඩාංගණය විදිහට තියෙන්නේ. ඒ විදිහට තරග වැදිලා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. අපේ දරුවන්ට උදව් කරන්න පුළුවන් කවුරු හරි ඉදිරිපත් වුණොත් මේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවලා ගන්න පුළුවන්” යනුවෙනි.


මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පියෙකු වන කේ. එස්. ප්‍රසන්න පත්මසිරි මහතා


“අප පාසල ප්‍රදේශයේ දුෂ්කර පාසලක්. එහෙම තියෙද්දි මෙම දරුවන් මෙම ජයග්‍රහණය ලබාගත්තේ. අපේ පාසලේ දරුවන් කොට්ඨාස, කලාප , පළාත් ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා. ඒත් දරුවන්ට ක්‍රීඩා කරන්න ක්‍රීඩා උපකරණ පාසල සතුව නැහැ. හැඬල් බෝල් කියන ක්‍රීඩාව කරන්න බෝලයක් නැතිව පරණ බෝලයක් දෙකට කපලා හදා ගත්තේ. ඒ වගේම නිසි ආකාර ක්‍රීඩාංගණයක් පාසල සතුව නැහැ. මීටර් හත වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා ළමයින් පුහුණු කරන්න අයගම රාහුල විද්‍යාලයටත්, පල්ලේකඩ විද්‍යාලයටත් දරුවන් රැගෙන යන්න වෙලා තියෙනවා. හර්ෂනී එදිරිසිංහ මිස් ඇතුළු සියලු‍ම ගුරුවරුන්ට ගොඩක් ස්තූතියි. මේ දරුවන් වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන් පරිත්‍යාගශීලීන් ඉන්නවනම් ලොකු පිනක්’’ .


නිකගොඩ සීලරතන විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවකුගේ  මවක වන ගමගේ ශ්‍රියානි මල්කාන්ති මහත්මිය ප්‍රකාශ කළේ,


“මගේ දරුවත් මේ පාසලේ ඉගෙනුම ලබන්නේ. එයත් මේ පාර සබරගමුව පළාත් මලල ක්‍රීඩා උත්සවයට සහභාගිවෙලා තුන ශ්‍රේණියේ කණ්ඩායම් තරගවලට සහභාගි වෙලා රන් පදක්කමක් හිමිකර ගත්තා. ඇත්ත වශයෙන්ම කියනවනම්, එදා වේල හම්බ කරන් කන දුප්පත් මව්පියන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලක් නිකගොඩ පිඹුර සීලරතන විද්‍යාලය කියන්නේ. මේ තරගවලින් ජයග්‍රහණය කරන්න දෙමාපියන් ලොකු කැප කිරීමක් කළා. කනකර ආභරණ උගස් තියලා තමයි මේ ළමයින් ක්‍රීඩා තරගවලට යැව්වේ. ළමයින්ට ක්‍රීඩා කරන්න උපකරණ කිසිවක් නැහැ. කිසිම කෙනෙක් අපේ ස්කෝලේ දිහා බලන්නේ නැහැ. හුඟක් අඩුපාඩු තියෙනවා මේ ඉස්කෝලේ. පුළුවන් විදිහට තමයි ළමයින් එක්ක ගිහින් මේ විශිෂ්ට ජයග්‍රහණය ලබාගත්තේ. අපේ දරුවන් වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන් අය ඉන්නවනම් ලොකු පිනක්”.

 

හුළං ගිය වොලිබෝලයකින් ක්‍රීඩා කරන දරුවන්

හිල් වී හුළං ගිය වොලිබෝල් එකක් අතැතිව සිටින දැරියක්

නිකගොඩ පිඹුර සීලරතන විද්‍යාලයේ අබලන් ක්‍රිඩාංගණය


මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන, ක්‍රීඩා තරගවලට සහභාගි වූ දරුවන් ප්‍රකාශ කළේ  ‘අපි හුඟක් අමාරුවෙන් පුහුණුවීම් කරලා මේ ජයග්‍රහණය ලබාගත්තේ. අපිට ක්‍රීඩා පුහුණුවීම් සිදු කරන්න පිට්ටනියක් , ක්‍රීඩා උපකරණ නැහැ. තියෙන ඒවා කැඩිලා. අපි ක්‍රීඩා කරන්න ආසයි, ඒත් පහසුකම් නැහැ. අපි ආසයි ජාතික මට්ටමට ගිහිල්ලා, විදෙස් රටවලත් තරග කරලා අපේ රටට රන් පදක්කම් රැගෙන එන්න. අපිට උදව් කරන්න පුළුවන් නැන්දලා මාමලා ඉන්නවනම් ලොකු පිනක්.’
මේ රටේ දුෂ්කර ප්‍රදේශවල පාසල්වල දරුවන් කැපවීමෙන් ක්‍රීඩා කර ජයග්‍රහණ ලබා ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගි වී රන් පදක්කම් රැගෙන විත් තිබේ. එයට ඉතිහාසය සාක්කි දරයි. මේ පුංචි පැටවුන්ගේ සිහිනය ද තමන්ගේ හැකියාවෙන් ලක්මව රනින් බැබලවීමටය.  ‘ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු’ යනුවෙන් මෙවර සබරගමුව පළාත් ප්‍රාථමික මලල ක්‍රීඩා උත්සවය නම් කර තිබේ. එහෙත්  එහි ජයග්‍රහණය ලැබූ නිකගොඩ පිඹුර සීලරතන විද්‍යාලයේ දරුවන් ජයග්‍රහණය පිළිබඳව ප්‍රීතිමත් වුවද එම ජයග්‍රහණ පිටුපස ඇත්තේ කඳුළු කතාවකි. මෙම දරුවන්ගේ හඬට ඇහුම්කම් දී ඔවුන්ට උදව් උපකාර කිරීමට කෙනෙකු, පිරිසක් හෝ යම් ආයතනයක් ඉදිරිපත් වෙන්නේනම් එය ඔවුන්ට කරන විශාල උපකාරයකි. නැතහොත් ඉතිහාසයේ මෙන් කැලයේ පිපෙන මල් කැලයේම පරව යනු නියතය. ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය  ක්‍රීඩාංගණය සකස් කර  ක්‍රීඩා උපකරණ ලබාදෙන ලෙසය.

 

 

 

කලවාන 
■ උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

 



අදහස් (0)

පිට්ටනියක් හෝ ක්‍රීඩා භාණ්ඩ නොමැතිව සබරගමුවේ පළමු තැනට ආ ප්‍රාථමික පාසල

ඔබේ අදහස් එවන්න

තක්සලාව

තුන්කල් සැරි සැරූ ලේඛකයා
2024 ජුලි මස 26 10 0

මෙරට කෘතහස්ත ලේඛකයන් පවා කෙළින්ම අත නොගැසූ ඉසව් කරා තම නිර්මාණාත්මක පරිකල්පන රටාව මෙහෙයවමින් සහෘදයන් කුල්මත් කළ ලේඛක පරපුරක මුදුන් මුල ලෙස කේ. ජයතිලක


ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
2024 ජුලි මස 26 14 0

ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙල ඊයේ (26) එරට ජනාධිපති එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


ඉන්දියාව පරදන දිනයක් මේ සතියේ එයි ද?
2024 ජුලි මස 26 11 0

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ඇරඹෙන්නේ බොහෝ විට ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. පල්ලෙකැලේ දී සෙනසුරාදා ඇරඹෙන විස්සයි20 තරගයෙන් පසු


මොහොතකට ලොව නතර කළ පරිගණක තාක්ෂණ දෝෂය ’ක්‍රවුඩ්ස්ට්‍රයික් ’ අවලංගුයි
2024 ජුලි මස 26 10 0

තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලයේ පිහිටෙන්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වී අවසන්ය. දෛනික කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. තොරතුරු තාක්ෂණයේ උදව්වෙ


පැරිස් ඔලිම්පික් යන අපේ අයගේ වත ගොත
2024 ජුලි මස 23 24 0

සිකුරාදා (26) නිල වශයෙන් ආරම්භ වන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ප්‍රංශයේ පැරිස් නුවර මේ වන විට සූදානම්ය. එහිදී රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙ


ආගම් බේදයක් නැතිව සහනය පතා එන කොච්චිකඩේ පල්ලිය
2024 ජුලි මස 23 25 0

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නත්තල් දේව මෙහෙයන් සිදු කරන පල්ලියක් ලෙසත්, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site