බුදු සාදු බුදු සාදු
සඳුන් ගසක් වෙන්නම් මම
සමන්වැලක් වෙන්නම්
ඔබගේ පාමුල සමන් මලක් වී
සුවඳ මලින් සරසන්නම්...

ඇයගේ සුවඳවත්, අරුත්බර ගැයුම ලාංකීය දේශයට ඇහෙන්නට සැලැස්වූයේ එම ගීතයෙනි. ඒ වන විට ඇය පසුවූයේ ළමා වියේය. ඇයට ආදරය කරන, ඇයට ළබැඳි ලාංකීය දේශයේ බොහෝ දෙනා අතර පසු කලෙක ඇය ප්‍රචලිත වූයේ දේශයේ යශෝරාවය යනුවෙනි. ඕ විශාරද ආචාර්ය නන්දා මාලිනිය යැයි කිසිවකුහට අමුතුවෙන් වටහා දිය යුතු නැත. ස්වකීය සප්ත ස්වර් සෞන්දර්යය චාරිකාවේදී බොහෝ දෙනා අතර යෙහෙළියක, සොහොයුරියක, මිතුරියක, හිතවතියක, මවක මෙන් සමීප වීමට ඇයට හැකිවිණි. ඒ ඇයගේ ගැයුම නිසාමය. 

දේශයටම ගැළපුණ ඇය සතු වූ සරලබව, අව්‍යාජ බව තවත් හේතුවක් විණි. දිරිය දියණියක, දිරිය ගැහැනියක, දිරිය මවක ලෙස ඇය ආ ගමන සමාජයට ගෙන දුන්නේ අරුත් සම්පන්න කාන්තාවකගේ චරියාවට එහා ගිය පූර්වාදර්ශයකි. අපට අපේකමට, අපි හැමෝටම අපේ කෙනෙක් වගේ දැනුණ, හැඟුණ නන්දා මාලිනිය අපෙන් සමුගෙන තෙමසක් සපිරුණි. ඒ හරියටම මෙම නොවැම්බරයේ 20 වැනිදාටය. භෞතිකව ඇය අප අතර නැතත්, ඒ සොඳුරු මිහිරි පිරිණු ගී රාවය ජීවමානය. විශාරද ආචාර්ය නන්දාමාලිනිය දැයෙන් සමුගෙන තෙමසක් සපිරුණු මොහොතේ අපට දැනුණ ඇය ගැන ලියැවෙන සටහනකි මේ.

හිතාදර සඳුන් ගමගේ සොයුර 2022 වසරට මාගේ සංගීත ආශ්‍රමය ආරම්භ කර වසර 37ක් සපිරෙනවා. වසර 37ක් සමරන මේ මොහොතේ වසර 37ක් පුරාවට ඔබ  පුවත්පතේ පළකර දුන් මෙම ප්‍රවෘත්තිය මට මහත් වූ ශක්තියක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය ද පළ කරමි”

මේ ඇය මා හට 2021 වසරේ නොවැම්බරයේ හත්වෙනිදා එවා තිබූ ලිපියකින් උපුටා ගත් කොටසකි. 

ඇයට පුවත්පතක ප්‍රවෘත්තියක් පළකරවා ගැනීමට අවැසි වූ විට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇයට සමීපව සිටි මාධ්‍ය මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් කාරුණිකව ඉල්ලීම් කළේ මෙලෙසින් ඇයගේම අත්අකුරින් ලිපියක් යොමු කරමිනි. දේශයක් හඳුනන ඇයට ඕනෑ නම් ඇමතුමක් පමණක් දී ඒ ඉල්ලීම කළ හැකිව තිබිණි. ඒත් ඇය ඒ ඉල්ලීම කළේ ලිපිය තැපෑලට යොමු කිරීමෙන් පසුවය. නැතහොත් පත්තර ආයතනවලට එන හිතවතකු අත ඒ ලිපිය එවීමට ඇය කටයුතු කළාය.

‘‘සඳුන්..... මම නන්ද අක්කා. සංගීත ආශ්‍රමය ගැන සටහනක් එව්වා. පුළුවන්නම් පළ කර දෙන්න.... ඔයා හොඳින් නේද.... එහෙනං සඳුන් තියන්නම්.’’

යැයි ඇය දුරකතනයෙන් අමතා කතා කළ අවස්ථා මේ මොහොතේදීත් මට ඇසෙන තරම්ය.

ටොරොන්ටෝ සංචාරය අතරතුර...

ඇය නන්දක්කා, යැයි කියද්දී, ඒ සෑම ඇමතුමකදීම මා ඇය ඇමතූයේ ‘‘ලොකු නෝනා” යනුවෙනි. එවැනි ආමන්ත්‍රණයකට ඇය අකමැති නොවූයේ, ඇය කෙරෙහි ඇති ගරුත්වය නිසාම එසේ ආමන්ත්‍රණය කරන බැව් වටහා ගත් නිසාය. කෙසේ වෙතත් ලොකු නෝනා යැයි ඇමතූ අවස්ථාවලදී ඇය මා හට ප්‍රතිචාර දැක්වූයේ සිනහවකිනි. මුල් වරට මට ඇය හමුවූයේ 1998 වසරේදී පමණය. පුවත්පත් ක්ෂේත්‍රයේ රැකියාව අරඹා වසරක් යාමට මත්තෙන් ඇය හඳුනා ගන්නට ලැබීම මට ගෙන දුන්නේ සොම්නසකි. සතුටකි.

සඳුන්ට කියලා සඳැල්ලට පිංතූර ටිකක් ගන්න තියෙනව නම් හොඳ යැයි, මා මිතුරු සමුද්‍ර වෙත්තසිංහ හට ඇය පවසා තිබිණි. පසුව එවකට අප ප්‍රධාන කතුවරයා වූ සිරි රණසිංහ සූරීන් මට ඒ ගැන දැනුම් දුන්නේය. සඳැල්ල වෙනුවෙන් ෆොටෝ ෂූට් එක කිරීමට මා තෝරා ගත්තේ එවකට පොල්හේන්ගොඩ දී සෝමසිරි අලකොලාංග සහ හැරල්ඩ් පීරිස් විසින් පවත්වාගෙන ගිය “චමත්කාර්” ගැලරි ස්ථානයයි. එදා එම ස්ථානයට නන්දා මාලිනිය පැමිණියේ ආචාර්ය සුනිල් ආරියරත්නයන් ද සමගය. ඒ දෙපලගෙන් මට ලැබුණේ ඉහළ අගැයීමකි. ඡායාරූප කලාවෙන් වෙනස් ගමනක් යා හැකි යැයි මා ගැන අනාවැකි කියමින්, දිරිගැන්වීම මට ගෙනදුන්නේ මහා මානසික ශක්තියකි.

එදා ගත් එම ඡායාරූපය සඳැල්ල මුල් පිටුවේ පළවීමෙන් පසුව ඇය මා අමතා ඉහළින්ම ඒ ගැන පැසසුවාය.

“කොහොම හරි මාව පාට කළා නේද? අපේ ලාල් හෑගොඩ කිව්වෙ එතෙක් ගත්ත නන්දාගේ හොඳම ෆොටෝ එකක් කියලයි”

ඇය එදා මා අමතා කීවේ එලෙසිනි. 

නන්දා මාලිනිය යනු බොහෝ දෙනකුගේ දක්ෂතා හඳුනාගෙන ඒ සියලු දෙනා වෙනුවෙන් අත්වැලක් සැපයූ අව්‍යාජ කලාකාරියක වූවාය. ඒ ගැන ගෙන හැර දැක්වීමට ඕනෑතරම් නිදසුන් තිබේ. ආධුනිකයකුගේ පොතක් එළිදැක්වීමේ උලෙළකට වේවා, වෙනත් ඕනෑම අවස්ථාවකදී ඇයහට ඇරයුම් කළේ නම්? ඇය අනිවාර්‌යෙන්ම ඊට සහභාගි වූවාය. එහිදී පංතිය, පාට, පක්ෂ, ඇති නැති පරතර නොබැලූ ඇය, බොහෝ දෙනාගේ ජීවිතවලට ගෙනදුන්නේ ආදරණීය ආලෝකයකි.

දේශයටම ගැලපුණ ඇය සතු වූ සරලබව, අව්‍යාජ බව තවත් හේතුවක් විණි. දිරිය දියණියක, දිරිය ගැහැණියක, දිරිය මවක ලෙස ඇය ආ ගමන සමාජයට ගෙන දුන්නේ අරුත් සම්පන්න කාන්තාවකගේ චරියාවට එහා ගිය පූර්වාදර්ශයකි.

හඳුනාගත් දින සිට ඇය මට දැනුණේ මගේ පවුලේ කෙනකු ලෙසිනි. ඇය මා ලියූ කියූ දේ ගැන විපරම් කර බලා අගැයිය යුතු තැන්වලදී ඇමතුමක් දී ඒ ගැන කියා සිටියේ දිරියක් වෙමිනි. අව්‍යාජකම සහ සරල බව නිසාම ඇය අපට දුරස්ථ නොවුණි. නමුදු නිබඳවම මා -  ඇයට දැක්වූයේ ගරුත්වයකි. දවසක් ප්‍රේම් දිසානායකයන් මා අමතා “සඳුන් නන්දක්කගෙ පිංතූර ටිකක් ගන්න ඕනෑ. ‘සාරි පොඩිත්තක් සංයුක්ත තැටියේ (CD) කවරයට” යැයි කීවේය. ප්‍රේම් දිසානායකයන්ට පසුව කතා  කළේ ඇයයි. ඇයගේ සුභාවිත ගීතාවලියේ ස්වර්ණමය ගී පොකුරක් රැගත් ‘සාරි පොඩිත්තක් වෙනුවෙන් ඡායාරූප ගැනීමට ලැබීම මගේ ඡායාරූප දිවියේ කඩඉමක් මෙන්ම හැරවුමක් විය. ඉනික්බිතිව තවත් සංයුක්ත තැටියක කවරයක ඡායාරූප ගැනීමට අවස්ථාව ලබාදීම මා දකින්නේ මා ලද ජාත්‍යන්තර සම්මාන ලෙසය.

ඒ සියල්ලටත් වඩා තවත් සුවිසෙස් අවස්ථාවක් මට ලැබිණි. ඒ 2013 වසරේදීය. එම වසරේ ජූනි මස කැනඩා දේශයේ ටොරෙන්ටෝ ඇතුළු නගර කීපයක ඇයගේ ප්‍රසංග සංවිධානය කර තිබිණි. එම සංගීත ප්‍රසංග සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ කැනඩා දේශයට ගොස් සැබෑ ධෛර්ය සම්පන්න ලෙස ජීවිතය ගතකරන අභිමානවත් ලාංකිකයකු වන අප හිතාදර සුදේශ් මුතුනවගොන්නය. නන්දා මාලිනිය, රෝහණ වීරසිංහයන් ඇතුළු පිරිස සමග මා ද නවාතැන් ගත්තේ සුදේශ්ගේ මන්දිරක් බඳු නිවසේය. නන්දා මාලිනිය මොනතරම් නම් සරල, අව්‍යාජ චරිතයක්දැයි මා ප්‍රායෝගිකව වටහා ගත්තේ එම සංචාරයේදීය. ඇය වෙනුවෙන් කියා විශේෂ කෑම සෑදීම නොකළ යුතු බව සුදේශ්ගේ ආදරණීය බිරිඳ ඉරෝෂා හට කීවාය. 

පෙර පුහුණුවක

එතෙරදී ප්‍රසංගයකට සහභාගි වන අයුරු සහ ඒ වෙනුවෙන් රිහසල් කළ හැටි පවා වෙලාවට, කලාවට සිදුවිණි. වෙලාවට වැඩ කිරීමට ඇය ඉතාම කැමති වග අපට වටහා ගත හැකි විය. ටොරොන්ටෝවේ ෂෝ එකේ සියලු ප්‍රවේශපත් කලින්ම අලෙවි වී තිබිණි. ඇයගේ ප්‍රසංගවලදී එතෙර මෙ​ෙතර කියා වෙනසක් නොතිබුණි. කොහොමටත් ප්‍රේක්ෂකයන්ගේ එකදු හිස්  පුටුවක් හෝ ඉතිරි වූයේ නැත. එදා ටොරොන්ටෝවේ ප්‍රසංගය වඩා සුවිශේෂ වූයේ එයින් පසුව යළිත් එම කලාපයේ ප්‍රසංගයකට ඇය සහභාගි නොවේවි යැයි ප්‍රචාරය වී තිබුණු බැවිනි. එදින ප්‍රසංගය ඇරඹීමට පෙර පැවැතියේ මඳ වැසි සහිත කාලගුණයකි. ඇය රැගෙන ශාලා පරිශ්‍රයට පැමිණීමට වගකීම පැවරී තිබුණේ සුදේශ්ගේ බිරිඳ ඉරෝෂා වෙතය. සුළු ප්‍රමාදදෝෂයක් නිසා ශාලාවට පැමිණීම මඳක් ප්‍රමාද වුණි. එනිසා නන්දා මාලිනිය සිටියේ තිගැස්මකිනි. ප්‍රේක්ෂකාගාරය නොඉවසිල්ලෙනි. ඔවුන්ව අපහසුතාවට පත්කරවීමට ඇය අකමැති සේ ය. විනාඩියක දෙකක පමණ ප්‍රමාදය ඇය විශ්වාස කළේ අතපසුවීමක් ලෙසය. වෘත්තීය ශිල්පිනියකගේ ස්වභාවය එසේමය. ආරාධිතයන්ගේ සුරතින් පහන් දැල්වුණි. ඇය වේදිකාවේ ඇයගේ අසුන වෙත පැමිණෙද්දී ලැබුණේ අඛණ්ඩ අත්පොළසන් නාදයකි. ඒ ආදරයට ඇය ගෞරව කළාය. ඉනික්බිතිව ප්‍රසංගය ඇරඹිණි.

විවේකයෙන් පසු කාලය ගතවෙද්දී ගැයුම මදකට නතරකොට “කෝ මේ අපේ ‘සඳුන්” යැයි ඇය ප්‍රේක්ෂකාගාරය දෙස බලා විමසුවාය. මා සිටියේ ප්‍රසංගය ආවරණය කරමිනි. මා ගැන ඇය ප්‍රේක්ෂකාගාරයට කීවාය. ලැබුණේ ලොකු අත්පොළසන් නදකි. ඉනික්බිතිව සියල්ලෝ මා දෙස බලමින් සිටින අයුරු දැක ගත හැකි විය. ඇය එදා මා හට ගෞරවයක් ගෙන දුන්නේ එලෙසින්ය. ඉන්පසු ඇය වාද්‍ය වෘන්දයේ, මහේන්ද්‍ර, පැස්කුවල්, ධනංජය සෝමසිරි, සුරේෂ් මාලියද්දේ ඇතුළු පිරිස ගැනත් ආදරණීය රෝහණ වීරසිංහයන් මෙන්ම ප්‍රසංගය සංවිධානය කළ සුදේශ් ඇතුළු පිරිසට ස්තුති පළකර සිටියාය. ඇයට මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස බලා ඒ මිනිසුන්ගේ ඇතුළාන්තය කියවා ගැනීමට තිබුණේ හොඳ හැකියාවකි. එහෙත් විශ්වාස කරන්න, දශක දෙකහමාරකට ආසන්න කාලයක් මා ඇය ඇසුරු කර තිබුණ ද, කිසිදා කිසිවකු හෝ ගැන, ඇගයීම් මිසක, ඒ අයගේ හොඳ ගැන ස්තුති කළා මිසක, කිසිවෙකු ගැන හෝ වෛරයෙන් කතා නොකළාය. හිස් වචන කතා නොකළාය.

ලෝකයේ එදිනෙදා සිදුවන දේ ගැන ඇයට තිබුණේ මනා අවබෝධයකි. ඩිජිටල් කරණය වූ මාධ්‍ය ගැන පවා ඇයට තිබුණේ හොඳ අවබෝධයකි. එසේ වූ ඒ මහා කලාකාරිය එදා ප්‍රසංගය නිමාකොට ගිය පසු තවත් දින කීපයක් මා කැනඩාවේ නතර වුණි. පහත මාලයේ මා පමණක් සිටි බැවින්, සුදේශ් සහ ඉරෝෂා ඉහළ මාලයේ මේ මහා කලාකාරිනිය සිටි කාමරයට යන්නැයි කීහ. ඉරෝෂා ඒ කාමරය ලස්සනට සකසා තිබිණි. ඒ කාමරයේ තැන තැන තෑගි භාණ්ඩ සහිත මලු දැකගත හැකි විය. ‘‘“ඇයි මේ තෑගි කාටද?” මම විමිසිලිමත් වීමි. ඒවා නන්දා මාලිනියට කැනඩාවේ ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් ලැබුණු ත්‍යාග හා තිළිණ ය. සාමාන්‍යයෙන් සංචාරයක් ගිය පසු කලාකරුවනට එලෙසින් තිළිණ ලැබේ. ඒත් ඇය ඒවා දමා ගොසිනි.

එයින් මා ඔබට කීමට උත්සාහ ගන්නේ ඇය සතුව තිබූ අත්හැරීමේ ගුණයයි. ලෝකය වටේ ප්‍රසංග වෙනුවෙන් සංචාරය කළ ද ඇය ලෝකය බදාගන්නට හෝ බෙදාගන්නට ගියේ නැත. ඕ නන්දා මාලිනිය නම් වූවාය. ඇය ස්වකීය ආත්මයෙන්ම ගරු කරමින් කටයුතු කළේ මාතෘ භූමිය වෙත යැයි සපථ වේ. ඇය අප දන්නා කල්හි සිට ඇන්දේ ශ්වේත සළුය. සුදු වත ඇඳි ඒ කත මතුපිටින් දුටු ඒ සරල බවට වඩා, ඇතුළාන්තයෙන් පිරිසිදු යහපත් සිතිවිලි, ගති පැවතුම් තිබූ කාන්තාවකැයි මා ඉඳුරාම කියමි.

කප් සුවහස් කල්
පෙරුම් පුරාගෙන
අනන්ත බාධක
දුක් පීඩා මැද
භවෙන් භවය යන ගමනේ
ඔබව සොයා ආවා

ඇය අපව සොයා ආවේ සංගීතවේදිනියක හා ගායන ශිල්පිනියක මෙන්ම ඇදුරුතුමියක ලෙසිනි.

රෝහණ නන්දා

ඒ ආ ගමනට ඇය දුන්නේ අපරිමිත අගයකි. ජනප්‍රියත්වයෙන් මුදල් හම්බ කිරීමට වඩා, ජනප්‍රියත්වයෙන් රටකට, ඒ රටේ සමාජයට ලබා දිය හැකි උපරිම ගරුත්වය, අරුත්වය ඇය ලබා දුන්නාය.

ගායන විෂයේදී බොහෝ විට රේඛීය ශානරයකට, එක් රිද්මයකට ශිල්පීහු රාමුගත වෙති. එහෙත් නන්දා මාලනිය ඇයගේ ගායන විෂය වෙතින් විවිධ අංශ සහ විවිධ විෂයන් ස්පර්ශ කළාය. ඇය තරම් එලෙසින් විවිධ විෂයන් මාතෘකා කරගෙන ගැයූ ගායන ශිල්පිනියක මේ සියවසේ දී අප ජීවිත කාලයේ දී අපට හමුවී නැත. භෞතිකව දකින්නට නොලැබෙන එහෙත් සදාකල්හි අපට රස විඳීමට සැලැස්වූ ඇයගේ ගීත රසවිඳින අතරේ ඔබ ඒ ගැන මොහොතකට විමර්ශනය කර බලන්න. මා දකින විදිහට නම්, මාධ්‍ය ක්ෂේත්‍රයේ අප බොහෝ දෙනා දකින විදිහට නම්, නන්දා මාලනිය යනු මිනිස් ජිවිතයක විවිධ පැතිකඩයන්, හරස්කඩයන් සහ විවිධ මාතෘකා ගැන ගැයුමෙන් අප සමාජය ආමන්ත්‍රණය කරමින් ඒ හරහා අරුත්බර වින්දනයක් ලබා දුන් මහ පොතකි. නන්දා මාලිනිය ජීවිතයට මහා අරුතක් දුන් කාන්තාවක යැයි අපි හඟිමු. විවිධ මාතෘකා සපිරි මහා පොතකින් අපට ගත හැකි දේ බොහෝය. ඉතින් ප්‍රිය සොයුර, සොයුරිය නන්දා මාලනිය නමැති ඒ සොඳුරු පිරුණු කලාකාරියගේ ගීත රස විඳින අතරේ ඇයගේ ජීවිතය කියවීමට උත්සාහ ගන්න. තෙමස් පූර්ණ පිංකම ද ඇය වෙනුවෙන් සිදු කළේ ඉතාම සරලව ය. මා ඇයට පින් අනුමෝදන් නොකරමි. මක්නිසා ද යත් ධර්මාවබෝධය ඇති ඇය ජීවත්ව සිටි කාලයේ දී කළ කී දේ වෙතින් ලැබූ පින් මහිමයෙන්.... නිර්වාණයට ළඟ ලෝකයකට ගිහින් ඇතැයි මම විශ්වාස කරමි. ඇය ගායන ක්ෂේත්‍රයට පිවිස ගැයූ මුල් ගීතයේ පද පෙළකින් පටන් ගත් මේ සටහන එම ගීතයේ අවසන් පද පේළියෙන්ම අවසන් කරනු රිසිය.

ඔබ වැඩි අරණේ
සඳුන් ගසක් වී
සිසිල සෙවන රඳවන්නම්
බුදු සාදු බුදු සාදු.....
නෙළුම් මලක් වෙන්නම්..... මම
නෙළුම් මලක් වෙන්නම්....
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ
මුදු පා පිස්නක් වෙන්නම්.....
බුදු සාදු..... බුදු සාදු....
මම නෙළුම් මලක් වෙන්නම්.....

සටහන – සඳුන් ගමගේ

 ප්‍රසංගයේ සංවිධායක හිතවතුන්ට මැදිව...

 

 

 

2013 ටොරොන්ටෝවේදී