තෙල් පෝලිම්වල මියගිය පුද්ගලයන් අතර ආසන්නතම මරණ දෙක වාර්තා වූයේ පසුගිය 23 වැනිදා පොතුවිල් සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශවලිනි. 

 පෝලිම්වලදී මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති මොහොතක එහි බැරෑරුම් බව ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට සාමාන්‍ය ජනතාව තුළ උනන්දුවක් වගේම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙළක් නොදකින නිසාම ඒ පිළිබඳ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට වෛද්‍ය විද්‍යාත්මක අවධානය යොමු කිරීමට කාලෝචිත යැයි සිතන්නෙමු. ‘ඉවරයක් නැතුව මියැදෙන තෙල් පෝලිම්වල සිදුවන මරණ අපට අඩු කරගන්න බැරිද?   
 නෑ පුළුවන්....’ තෙල් පෝලිම් ගෑස් පෝලිම්වලදී ජීවිතය ඔබේ මරුවා කැඳවාගෙන යන්න කලින් ඔබ දැනගත යුතු සෞඛ්‍ය ආරක්ෂිත කාරණා පිළිබඳව කතා කරන්නට කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සම්බන්ධ කරගත්තෙමු.   


පැය ගණන් පෝලිම්වල ගතකරන යුගයක පෝලිම්වල සිදුවන හදිසි අනතුරු මරණ නිරතුරුවම අපට අසන්නට ලැබෙනවා. මේ නිසා පෝලිම්වලට යන්න පෙර ඔබ අවධානය යොමුකළ යුතු කාරණා බොහෝමයක් තියෙනවා. ලංකාවේ පෝලිම් ආශ්‍රිතව සිදුවූ මරණ ගත්තම මේ වන විට මරණ 24 ක් වාර්තා වෙලා තියෙනවා. එහෙත් ඒ පිළිබඳ ලොකු අවධානයක් යොමුවෙලා නැහැ. ඒ නිසාම ඒ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක අවධානයක් යොමු කිරීම කාලෝචිතයි කියලා අප සිතනවා.   


 උෂ්ණත්වය අධිකවීමත් සමඟ වාහන තුළදී පුද්ගලයින් මියයාම ලෝකයට අලුත් දෙයක් නෙමෙයි. එහෙත් මේ වෙනකොට ලංකාවේ පෝලිම් ආශ්‍රිත වාහනවල එවැනි මරණ බහුලව සිදුවීම අපිට අහන්නට සිදුවෙලා තියෙනවා.   


 ලංකාවේ ඉන්ධන අර්බුදය සමඟ ඇතිවුණු පෝලිම් ක්‍රමය තාමත් නිමා නොවන ලෙස දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම පෝලිම් ආශ්‍රිතව වාහන තුළ පුද්ගලයින් මියයාම වෛද්‍ය විද්‍යාත්මකව බලන කල භූමි පාරිසරික, දේශගුණික ජීව විද්‍යාත්මක වශයෙන් බහුලව බලපෑම් එල්ල වෙනවා.   


 ලංකාවේ වාහන තුළ පුද්ගලයන් මියයෑම පිළිබඳ වෛද්‍ය විද්‍යාව තුළ කලින් හඳුනා ගැනීමට ප්‍රමාණවත් අවධානයක්    යොමු නොවුනද ‘උණුසුම් මෝටර් රථ මරණ’ (Hot Car Death) පිළිබඳ ලෝකයේ බොහෝ රටවල් හඳුනාගෙන තිබෙනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් වාහනයක් තුළ පුද්ගලයකු මියයෑමේ ප්‍රධාන තත්ත්වයන් දෙකක් යටතේ හඳුන්වා දෙන්න පුළුවන්.   


1. Heat Stroke   
2. Heat Exhaustion   


මෙතනදී Heat Stroke තත්ත්වයකදී කෙනෙකු මියයෑමේ අවදානම ඉතාම ඉහළයි. පෝලිම් ආශ්‍රිතව වාහන ඇතුළත සිදුවන හදිසි මරණවලට හේතුවන අතුරු කාරණාවන් ලෙස අධිරුධිර පීඩනය, හෘදයාබාධ, දැඩි මානසික ආතතිය, විජලනයට ලක්වීම හඳුන්වා දෙන්න පුළුවන්.   


අධික උණුසුම් පාරිසරික තත්ත්වයන් තුළදී කෙනෙකුට කරකැවිල්ල, ඔක්කාරය, හිසරදය, සිහිවිකල් බව, නාඩි ගැස්ම වැඩිවීම ඉහළයි නම් වහාම ඒ පුද්ගලයා කෙරෙහි ඒ අවට සිටින අන් අය විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. මොකද මේ ලක්ෂණ Heat Stroke එකක මූලික ලක්ෂණ විය හැකියි.   
 එසේම බාහිර පරිසරයේ උෂ්ණත්වය මොන ආකාරයකින් වෙනස් වුණත් දේහ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය නිශ්චිත අගයක අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු වෙනවා.   


 වර්තමාන සන්දර්භයේදී පාරිසරික උෂ්ණත්වය කෙටි කලක් තුළ අධික ලෙස වැඩි වෙනකොට ශාරීරිකව එහි තියෙන්නා වූ බලපෑමත් වැඩිවීමක් වෙනවා. ඒ අවස්ථාවන්හිදී ශරීරය සිසිල් කර නියමිත තත්වයට ශරීර දේහ ක්‍රියාවන් පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Heat Exhaustion සහ Heat Strokc යන තත්වයන් ද්විත්වයම ඇතිවීමේ ඉඩකඩ වැඩි වන අතර ඒ හරහා කෙනෙක් මරණයට පත්වීමේ හැකියාව පවතිනවා.   


මීළඟට තවත් වැදගත් කාරණයක් තමයි සංවෘත පරිසරයේ දී මෝටර් රථ ඇතුළත ඇතිවන අධික උෂ්ණත්වය හේතුවෙන් ජීව ක්‍රියාවන්ට හානිකර ලෙස බලපෑම් එල්ලවෙලා දේහයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය ඉතාමත් සීඝ්‍රයෙන් කෙටි කාලයක් තුළ ඉහළ අගයකට ගිහින් ශරීරයේ පටකයන්ට හානි සිදුවීමත් සමඟ කෙනෙක් මරණයට පත්වීමේ හැකියාව තියෙනවා. මේ අවස්ථාවලදී Heat Exhaustion යන තත්ත්වය යටතේ අධික උෂ්ණත්වය නිසා ශරීරයට දරුණු අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. ඒ අපහසුතා ගැන අවධානයක් නොදුනහොත් හදිසියේ ඇතිවන Heat Stroke තත්වයේදීද පුද්ගලයකු මරණයට පත්විය හැකියි. 

 
මෙකී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම් කාණ්ඩ   


අවදානම් කාණ්ඩ ලෙස වයස 60 - 65 අතර පුද්ගලයන්, තරබාරු පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන් සහ කුඩා දරුවන් වගේම නිදන්ගත රෝග තිබෙන පුද්ගලයන් විශේෂ අවධානයෙන් පසුවිය යුතු වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් තෙල් පෝලිම්වලට රැගෙන යාම අනුමත කරන්නේ නැහැ. මොකද මේ සඳහන් කළ අවදානම් කාණ්ඩයන්ගේ ශරීරයේ උෂ්ණත්ව පාලන ක්‍රමවේදය නිසිලෙස ක්‍රමානුකූලව සිදුවන්නේ නැහැ. පෝලිම්වල වයස්ගත පුද්ගලයන් මියයාමට ප්‍රධානම හේතුව එයයි.   


 අධිරුධිර පීඩනය. දියවැඩියාව, හෘදයාබාධ ඖෂධවලට විජලනයට ලක්වීම වැඩියි. අධිරුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව සඳහා දෙන සමහර ඖෂධවලට පුද්ගලයකු ඇතැම් විට විජලනයට ලක් කරවන්න පුළුවන්. විශේෂයෙන් හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව යන රෝගයන්ට දෙන සමහර ඖෂධ මුත්‍රා කාරක ඖෂධ ලෙස හඳුන්වනවා. මෙවැනි පරිසරයක් තුළදී එවැනි ඖෂධ ලබාගත් කෙනෙක් පෝලිම්වලට යනව නම් නිතර ජලය පානය කිරීම අනිවාර්ය වෙනවා. එසේ නොවන්නේ නම් ඔවුන්ව පහසුවෙන් විජලනයට ලක්කිරීමේ හැකියාව තිබෙනවා.   


‘විශේෂයෙන් කිවයුතු කාරණය තමයි සමහරු හිතලම වතුර පානය කිරීම කරන්නේ නැහැ. මොකද පෝලිම් අවට මුත්‍රා කිරීමේ පහසුකම් නොමැති නිසා. මේක සිදුනොකළ යුත්තක්. ඔබ පෝලිමක නම් ඉන්නේ පිපාසයක් නැති වුණත් අනිවාර්යයෙන්ම වතුර පානය කළ යුතුමයි.   


අනෙක් කාරණය තමයි තරබාරු පුද්ගලයන් තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය සමබරව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු වෙනවා. මොකද ඔවුන්ගේ දේහයේ රැඳෙන උෂ්ණත්වය වැඩි වෙනවා. එවැනි දේහයන් සිසිල් කරගැනීමේ හැකියාවන් ඉතාම අඩුයි.   


 විශේෂයෙන් අව්ව සහිත පරිසරයක වාහන නතර කරලා තිබෙන අවස්ථාවලදී වාහන ඇතුළත තියෙන උෂ්ණත්වය බාහිර පරිසරයට වඩා වැඩි වෙනවා. වාහනයේ වීදුරු අර්ධ වශයෙන් විවෘත තිබුණද විනාඩි 30 ක් ඇතුළත 30c - 40c වගේ ප්‍රමාණයක් උෂ්ණත්වය වැඩිවෙන්න පුළුවන්. මේ අවස්ථාවලදීත් ඔක්කාරය, කරකැවිල්ල වැනි ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ අනුව පසුගිය කාලය තුළ මෙරට ඉන්ධන පෝලිම් මරණ සලකා බලන කල ඉහත සාධකයන්හි සෘජු සබැඳියක පැවැත්ම බැහැර කළ නොහැකි වෙනවා.’   
තෙල් පෝලිම්වල දින ගණන් ඉන්න ඔබ අඳින ඇඳුම වගේම ඇඳුමේ වර්ණය ඉතාම වැදගත්.   
තෙල් පෝලිමක ඉන්නකොට හොඳට වතුර පානය කරන්න ඕන වගේම තෙල් පෝලිමට යද්දි ඇඳන් යන ඇඳුම් ගැනත් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. අඳුරු පැහැති, කළු වැනි හෝ තද වර්ණයන් සහිත ඇඳුම් තුළින් ශරීරයට දැනෙන අපහසුතාවන් වැඩියි. ඩෙනිම් වැනි ඝන ඇඳුම් ඇදීම සුදුසු වන්නේ නැහැ. එමගින් ශරීරයේ උෂ්ණත්වය තවත් වැඩිවීමක් සිදුවෙනවා. මේ නිසා සුදු පැහැති කපු ඇඳුම් ඇදීම ඉතාම සුදුසු වෙනවා. සුදු වර්ණයට තාපය අවශෝෂණය අවම නිසා ශරීරයට දැනෙන පහසුවත් වැඩි වෙනවා.   


 සෙවණක විවේකය ඉතාම වැදගත්:-   


තෙල් පෝලිමක ඉන්න කොට වාහනේ ඇතුළෙම පැය ගානක් වාඩිවෙලා එකම ඉරියව්වෙන් ඉඳීම සෞඛ්‍යයට ඉතාම අහිතකර වෙනවා. ගස් සෙවණ, හොඳින් වාතාශ්‍රය තිබෙන විවෘත පරිසරයක ඉඳීම සෞඛ්‍යයට හිතකර වෙනවා. මේ අතර විවේකීව ඉඳීමත් ඉතාම වැදගත් වෙනවා.   


උස් ගොඩනැගිලි ආශ්‍රිත අතුරු පාරවල් පෝලිම්වල ඉන්න අය ප්‍රවේසමෙන්:-   


කොළඹ වගේ ප්‍රදේශවල උස් ගොඩනැගිලි ආශ්‍රිත අතුරු පාරවල් හරහා තිබෙන තෙල් පෝලිම්වල ඉන්න අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවන් කිහිපයක් තියෙනවා.   


 උස් ගොඩනැගිලිවලින් පරාවර්තනය කරන රස්නය සහ තාර පාරෙන් පිටකරන විකිරණ තුළින් නික්මෙන තාපය නිසා ඒ භූමිය තුළ අධික උෂ්ණත්වයක් මේ අවට කුඩා කලාපවල තියෙනවා. ඒ නිසා ඉන්ධන පිරවුම්හල් අවට තියෙන අධික උෂ්ණත්ව ප්‍රාදේශීය කලාප ගැන විශේෂ අවධානයෙන් යොමුකළ යුතු වෙනවා. මෙවැනි ස්ථානවලදී පිපාසය තිබුණත් නැතත් හොඳට වතුර පානය කිරීම කළයුතු වෙනවා. ඒ වගේම තමන් ඉන්න පරිසරයේ උෂ්ණත්වය පිළිබඳ සංවේදීභාවයෙන් සිටීමත් වැදගත් වෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන් මරණයට පත්වීමටත් හේතුව වන්නේ මේ ප්‍රාදේශික කලාපවලින් උෂ්ණත්වය අධිකව ජනනයවීමයි.   
තෙල් පෝලිම් තුළ දී බියර්, මත්පැන්, ශක්තිජනක පානයන් භාවිතා කිරීම මරණයට අතවැනීමක්.   


විවිධ මත්පැන් වගේම විශේෂයෙන් බියර් පානයන්වලින් විජලනයට ලක්වීම බහුලව සිදුවෙන්න පුළුවන්. ඒ වගේම කැෆේන් අඩංගු පාන වර්ග, නේස්කැෆේ, රෙඩ්බුල් වැනි ශක්තිජනක පාන වර්ග, විවිධ පැණි බීම වර්ග පිපාසය සඳහා කිසිසේත්ම පානය කිරීම සුදුසු වන්නේ නැහැ. එම පාන වර්ග මගින් හෘද ස්පන්දන වේගය වැඩිකරනවා. මෙම පානවල අන්තර්ගත රසායනික සංයෝග නිසා මෙවැනි පාන වර්ග භාවිතය මරණයට අතවැනීමක් විය හැකියි.   


පුද්ගලයකු විජලනය ආකාර 2 කට සිදුවිය හැකියි:-   


වතුර අඩුවීම සහ අධික දහඩිය දැමීමත් සමඟ ජලයට අමතරව ශරීරයේ ලවණ සිරුරෙන් බැහැර වීම, මෙවැනි අවස්ථාවන් හිදී දේහයේ අභ්‍යන්තරයේ අයනික සමතුලිතභාවය (සෝඩියම් අයන සහ ෆ්ලෝරයිඩ්) වෙනස්වීමෙන් සෛලවලට අවශ්‍ය වතුර අඩුවීමත් සමඟ විජලනය ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මෙවැනි අවස්ථාවන් හිදී මානසික ව්‍යාකූලතාවයන් ඇතිවිය හැකියි. ඒ වගේම ආමාශය තුළ ජලය අවශෝෂණය අඩුවෙනවා. මෙවැනි අවස්ථාවලදී අයන සහිත අන්තර්ගත පාන වර්ග පානය කිරීම වැදගත් වෙනවා. එහි පෝලිම්වල ඉන්නකොට වතුර පමණක් පානය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අයන අඩංගු ද්‍රාවණ තැඹිලි, දොඩම්, කොමඩු, ජීවනී වගේ දේවල් පානය කළ හැකි නම් ශරීරයෙන් පිටවන ලවණ අයන නැවත ලබා ගැනීමට උපකාරි වෙනවා.   


අධික උෂ්ණත්වයකට ගොදුරුවීමෙන් පුද්ගලයකුට ඇතිවන මූලික ලක්ෂණ:-   


පැය ගණන්, දින ගණන් එකම ඉරියව්වක ඉන්නකොට වමනය, අධික හිසරදය, ඔක්කාරය, සිහිවිකල් බව, අපස්මාර තත්ත්වයන්, අධික ලෙස තරහ යාම. නාඩි ගැස්ම වැඩිවීම වැනි අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නිදන්ගත රෝග සඳහා භාවිතා කරන ඖෂධ පෝලිමේ රැඳී සිටියත් නිසි වෙලාවට ලබාගත යුතු වෙනවා. ඒ වගේම ආහාර ගැනත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මේ ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ ඔබට දැනෙනව නම් අවට ඉන්න පිරිස දැනුවත් කර අවශ්‍ය ප්‍රතිකාරවලට ඉක්මණින් යොමු වෙනව නම් පෝලිම්වල අකාලයේ මිනිසුන් මියයන්නේ නැහැ.   


ඉන්ධන පෝලිම්වල අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවන මෙවැනි මරණ දැනුවත්භාවය තුළින් අපට වළක්වාගන්නට පුළුවන්. තෙල් පෝලිම් මරණ 100% වළක්වා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මේ මොහොතේ ප්‍රජාව වෙත සිදුකරන නිවැරදි වෛද්‍ය විද්‍යා සන්නිවේදනයන්ට අවධානය යොමු කිරීමයි.   
සෑම විටම පෝලිම්වල සිටින අන් අය ගැනත් හැකි අයුරින් විමසිලිමත්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු වන අතර මියයන්නට හේතු දහසක් තිබියදී තෙල් නිසා මිය නොයන්නට ජීවිතය පිළිබඳ මීට වඩා අවධානයෙන් සිටීමට සිහි තබාගත යුතුය.   

 

 

සටහන
නදීෂා අතුකෝරල