IMG-LOGO

චීනයේ සිච්කෝ පැරණි පන්නයේ ගල් ඇති රූ වීදි දිගේ දවසක්

                      
සිචිකොව් නගරයේ පදික වේදිකාවේ

චීන ජනතාව අතර පවතින මතයක් වන්නේ - චීනයේ චොන්ග් චිං නගරයේ සිටිමින් සිචිකොව් (Ciqikou) නගරය වෙත නොයන්නේ නම්, අදාළ අය චොන්ග් චිං වෙත පැමිණීමෙන් පලක් නැතිය යන්නයි. සිචිකොව් යනු චීනයේ චොන්ග් චිං නගරයේ ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් පුරාණ නගරයකි. රස අංකුර උත්තේජනය කිරීමට සහ අද්විතීය සිහිවටන (පෝසිලේන් භාණ්ඩ, ඇඳුම් පැලඳුම් ආදිය) මිලදී ගැනීමට මෙය කදිම ස්ථානයකි. සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන් අනූන විහාරස්ථාන, කඩ සාප්පු, පැරණි පන්නයේ ගල් ඇතිරූ වීදි සිචිකොව් හි සුවිශේෂීත්වය තවත් වැඩි කරයි.

සුවිශේෂී කුලුනු මාලිගා


සිචිකොව් පුරාණ නගරය ප්‍රථමයෙන් ක්‍රිස්තු පූර්ව 998 සිට 1003 දක්වා ඉදිකරන ලද අතර - එය මුලින්ම හැඳින්වූයේ බයියාචං (Baiyachang) ලෙසිනි. චින්ග් (Qing) රාජවංශයේ ආරම්භයේ දී (1636 -1912) බයියා චං පෝසිලේන් නිෂ්පාදනය සහ විකිණීම සඳහා ප්‍රසිද්ධ වූ අතර, පෝසිලේන් වෙෙළඳසල් 70කට අධික ප්‍රමාණයක් එකල තිබී ඇත. වෙනත් නගරවල බොහෝ වෙෙළඳුන් පෝසිලේන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි බව ඉතිහාසයේ සඳහන් වේ. ‘පෝසිලේන්’ යන්න චීන භාෂාවෙන් උච්චාරණය කරනු ලබන්නේ “සිචි” (ciqi) ලෙසිනි. එබැවින් එකල බයියා චං ලෙස හැඳින් වූ මෙම ප්‍රදේශය පසුව සිචිකොව් ලෙස හැඳින්විණි.
 
සිචිකොව් හි වීදි 12 ක් ඇති අතර, ඒ එක් එක් වීදිවල ඇති බොහෝ ගෘහනිර්මාණ මින්ග් හෝ චින්ග් රාජවංශවල වාස්තු විද්‍යාත්මක ශෛලියෙන් ඉදිකර තිබේ. මෙහි වීදිවල ඇති මාර්ග සියල්ලම පැතලි ගල් අතුරා සාදා ඇත. චොන්ග් චිං නගරයට ආවේණික වූත්, විශේෂිත වූත්, විශේෂාංග වෙෙළඳසල් සහ පැරණි විලාසිතාවේ තේපැන් හල් නගරය පුරා දැකිය හැකිය. සිචිකොව් යනු දේශීය රසයන් රස විඳීමට කදිම ස්ථානයකි.  උණුසුම් තේ කෝප්පයක් ඇණවුම් කර ‍එය රසවිඳින අතරතුර - ස’චුවාන් ඔපෙරා හෝ ස’චුවාන් චින්ග්යින් වැනි ජන රංගනයන් ද නැරඹීමේ හැකියාව පවතියි. සිචිකොව් ඔබව චොන්ග් චිං හි පැරණි කාලය වෙත ගෙන යන්නේ ඒ අයුරිනි. 
 

මාලිගා ගෙවල්


 

පැරණි ගොඩනැගිලි


 


විශේෂිත ජන නිවාස
 

ස'චුවාන් ඔපෙරාහි රංගන ශිල්පිනියක්


 

නගරයේ ගෘහනිර්මාණ සියල්ලම නැගෙනහිර ස’චුවාන් වාස්තු විද්‍යාත්මක ශෛලියට අයත් වේ. බොහෝ නිවාසවල මූලික ව්‍යුහයන් උණ බම්බු සහ ලීවලින් ඉදිකර ඇත. අළු පැහැති උළු වහලක් හා  සුදු පැහැති බිත්ති මූලික ලක්ෂණ වේ. මීට අමතරව, කාමරවල ලී කුලුනු මකර හෝ ෆීනික්ස් රූපවලින් කැටයම් කර ඇත. සාමාන්‍යයෙන්, විසිත්ත කාමරය සාප්පු පිටුපසට වන්නට පිහිටා ඇති අතර - පසුපස නිවාස සාමාන්‍යයෙන් ධනවත් වෙළෙන්දන් ජීවත් වූ වාසස්ථාන වේ. 
 
නැගෙනහිර ස’චුවාන් ජන නිවාස දැකීමට සිචිකොව් යනු කදිම ස්ථානයකි. 1890 දී පමණ ඉදිකරන ලද ජොන්ග් පවුලේ නිවස - චිං රාජවංශයේ පැරණි ඇඳන් සහ මේසවලින් සමන්විත වේ. එහි බීජිං  වාසස්ථානවල රසය ඇති අතර, දකුණු චීනයේ ගෘහ නිර්මාණ ශිල්පයේ සියුම් අංගයන් ද ඊට ඇතුළත් වී ඇත. විශාල කණු සහිත ගොඩනැගිලි ද මෙම නගරයේ ඉතා සුවිශේෂී අංගයක් වේ. මිනිසුන් තවදුරටත් කුලුනු ගොඩනැගිලිවල ජීවත් නොවන අතර, පාරිසරික වාස්තු විද්‍යාත්මක ස්වරූපයන් අගය කිරීමක් ලෙස - වර්තමානයේ දී ඒවා මහජන ප්‍රදර්ශනය උදෙසා පවතියි. මෙම ගෘහ පැරණි ජනයාගේ නොපසුබට උත්සාහය ඔවුහු පිළිබිඹු කරති.
 

විහාරස්ථාන
         
පැරණි වීදී
සිචිකොව් හි අවට ඇවිදිමින්, ඔබ කිසියම් ගෘහ නිර්මාණ නටබුනක් පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් විමසුව හොත්, ඔබට  නිසැකයෙන්ම අසන්නට ලැබෙනුයේ “එය පුරාණ පන්සලක්” යන්නයි. අතීතයේ සියලු ආකාරයේ විශේෂිත උත්සව අවස්ථා විහාරස්ථාන භූමියේ පවත්වා ඇත. වර්තමානයේ සංරක්ෂණය කර ඇති විහාරස්ථාන අතුරින් බාඕලුන් විහාරස්ථානය (Baolun Temple)  සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනියි. 
 
මෙම විහාරස්ථානය තන්ග් රාජවංශයේ දී සාදා ඇති අතර, බැයියන් කඳු පන්තිය ආසන්නයේ පිහිටා ඇත. මෙම විහාරස්ථානය චොන්ග්චිං හි ඇති සුප්‍රකට බෞද්ධ විහාරස්ථානවලින් එකකි. පුරාවෘත්තයට අනුව, මින්ග් රාජවංශයේ දෙවන අධිරාජ්‍යයා වන ජියන් වෙන් අධිරාජ්‍යයා ඔහුගේ මාමා වන ජූදි (මිං රාජවංශයේ තුන්වන අධිරාජ්‍යයා ඔහුව හැඳින්වූයේ යොන්ගල් අධිරාජ්‍යයා ලෙසයි) බලයෙන් පහ කිරීමෙන් පසු බා ඔලුන් විහාරයේ සැඟවී සිට ඇත.  
 
චීනයේ මකරා යන සත්ත්වයා - අධිරාජයා නිරූපණය කරන හෙයින්, “මකරුන් සැඟව සිටි පන්සල” ලෙස ද මෙම විහාරස්ථානය හැඳින්වේ. විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 300කට අධික ප්‍රමාණයක් වැඩ සිටිති.
 

තේ හල් 
 
සිචිකොව් පුරාණ නගරයේ ඇති එක් සුවිශේෂී අංගයක් වන්නේ තේ හල්ය. අතීතයේ දී, සිචිකොව් තේ හල්වලින් පිරී තිබූ අතර, චොන්ග් චිං හි  පැරණි තේ හල් 100 කට වඩා තිබී ඇති බව - ඉතිහාසයේ සඳහන් වේ. එකල නැවියන් මෙන්ම මෙම තොටුපොළ පසු කරගෙන යන ඕනෑම අයෙක් ගිමන් නිවා ගැනීමට මෙම තේ හල් වෙත පැමිණීමට ප්‍රිය කළහ. මෙම තේ හල් තේ පානය කිරීමට පමණක් නොව, විනෝදාස්වාදය සඳහා ද කදිම ස්ථානයක් විය, මන්ද බොහෝ තේ හල් ස’චුවාන් ඔපෙරා සහ ප්‍රසංග වැනි ජන කලා සංදර්ශනවලින් සමන්විත වී තිබූ හෙයිනි. 
 
             

පැරණි ගොඩනැගිලි


 

වර්තමානයේ, තේ හල් තවමත් සිචිකොව් හි එක් ප්‍රචලිත අංගයකි.  පැරණි වීදියේ දැනට තේ හල් 13 ක් පමණ ඇත. සියලුම තේ හල් අතරින් වඩාත් ප්‍රචලිත වන්නේ ශුචාං තේ හල වන අතර, මෙය කලාකරුවන් ගේ තේ හල ලෙසද හඳුන්වනු ලබන්නේ,  එය ජන කලාවන් ගෙන් පරිපූර්ණ වූ ස්ථානයක් වන නිසාය. එහි විවිධ ඔපෙරා ප්‍රසංග ඇති අතර, ස’චුවාන් ඔපෙරා රඟදක්වන විට නිමක් නැතිව මිනිසුන් තේ හවුලට එන අතර, තේ හලේ අමතර ආසන නොමැති තරම් ය.
 
චීනයේ පැරණි රසයට ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයකි සිචිකොව්. චොන්ග් චිං නගරයේ අනන්‍යතාව විදහාපාන මෙම පුරාණ නගරය චීන ජනතාව ද නිතර යෑමට ප්‍රිය කරන ස්ථානයකි. රාත්‍රී කාලයේ විදුලි පහන් ආලෝකයෙන් සැරසුණු සිචිකොව් නගරයේ ඇත්තේ වෙනස්ම ආකාරයේ දර්ශනයකි. චීන ජනතාව දහවල් කාලයටත් වඩා බොහෝ විට රාත්‍රී කාලයේ දී මෙය නැරඹීමට විශේෂ කැමැත්තක් දක්වන්නේ ද මේ නිසා ය.
 
ලිහිණි ලියනගේ
ඡායාරූප | තිළිණ ජයරත්න



අදහස් (0)

චීනයේ සිච්කෝ පැරණි පන්නයේ ගල් ඇති රූ වීදි දිගේ දවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site