ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි 

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීම නිෂ්ඵල ක්‍රියාවකි. එයින් අශ්වයාට පැන යාමට නොදී රඳවා ගැනීමට නම් අශ්වයා ඉස්ථාලයේ සිටියදීම එහි දොරටුව වසා දැමිය යුතුය.  


එහෙත්, අපේ රටේ බොහෝ විට සිදුවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට සමාන ක්‍රියාකාරකම් බව ප්‍රකට කරුණකි. මීට පෙර මෙරට බලයට පත්වූ හැම ආණ්ඩුවකටම පාහේ ගැලපෙන උදාහරණයක් වූ ඒ කතාව වඩාත් ගැලපෙන්නේ වත්මන් ආණ්ඩුවටය. අප එසේ කියන්නේ මීට පෙර මෙරට පහළ වූ හැම ආණ්ඩුවකම පාහේ අඩු වැඩි වශයෙන් සිදුවූ බොහෝ වැරදි සහ අඩුපාඩු වත්මන් ආණ්ඩුව යටතේ බහුල වශයෙන් සිදුවෙමින් පවතින බැවිනි.  


එසේ වුවද ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙරට ජනතාව පොදු ජන පෙරමුණට ද 2/3 ක අති විශාල බලයක් ලබාදෙන ලද්දේ මෙතෙක් සිදුවූ වැරදි සහ අඩුපාඩු ඔවුන් අතින් සිදුවන අයුරින් දක්වමින් සුසුම් හෙළීමට නොවේ. ජනතාව එමගින් බලාපොරොත්තු වූයේ අභිනව පොදු ජන පෙරමුණේ පාලනය යටතේ ශ්‍රී ලංකාව නව මාවතක් ඔස්සේ දියුණුව කරා පිය නගනු ඇතැයි යනුවෙනි. එහෙත් මේ වන විට මෙරට බහුතර ජනතාව තුළ පැවති එම උණුසුම් බලාපොරොත්තු එකින් එක කඩ වී යමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.  


ඒ සඳහා දැක්විය හැකි මුල්ම උදාහරණයක් වන්නේ ඉකුත් වසරේ මාර්තු මාසයේදී පමණ මෙරටට පැමිණි චීන කාන්තාවකගෙන් බෝ වූ බවට සැලකෙන කොවිඩ්-19 හෙවත් කොරෝනා වයිරසයයි. එම චීන කතගෙන් පැතිරුණු කොරෝනා පළමු රැල්ල සීමිත කාලයක් ඇතුළත මැඩපැවැත්වීමට එවකට හැකි වුවද ඉන් අනතුරුව පැතිරුණු දෙවැනි හා තුන්වැනි රැල්ල බස්නාහිර පළාතෙන් පටන්ගෙන මුළු රට පුරා පැතිරී ගියේ ආණ්ඩුවේ සහ මෙරට සමස්ත ජනතාවගේ නොසැලකිලිමත්කමේ ප්‍රතිඵලයක් වශයෙනි.  


මේ වන විට එම කොරෝනා තුන්වෙනි රැල්ල කොතරම් බරපතළ තත්ත්වයකට පත්වී ඇද්දැයි කිවහොත් අද මුළු රටේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂය සීමාව ඉක්මවා තිබේ. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 10,500 කට ආසන්නය. මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වයිරසය මෙරට පැතිරුණු මුල් අවස්ථාවේදීම රජයට කියා සිටියේ එම වයිරසය පැතිරීම වළක්වා ගැනීමට නම් දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවය. ඔවුන් එලෙස දැඩි ක්‍රියාමාර්ග වශයෙන් හැඳින්වූයේ ජනතාව අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් හුරුකරවීම, එන්නත්කරණය සහ වයිරසය පැතිරීම වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් ආසාදිතයන් බහුල වශයෙන් වෙසෙන ගම්බිම් වසා දැමීම වැනි සරල ක්‍රියාමාර්ග වුවද ආණ්ඩුවෙන් ඒ පිළිබඳ දක්වන ලද්දේ දුර්වල ප්‍රතිචාරයකි.  


කොරෝනා වසංගතය නිසා සති තුනකට වැඩි කාලයක් තිස්සේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තරම් තත්ත්වය උග්‍ර අතට හැරුණේ ආණ්ඩුවේම නොසැලකිලිමත්කමේ ප්‍රතිඵලයක් වශයෙනි.  
එහිදී ආණ්ඩුවට අවශ්‍ය වූයේ ජනතාව කොරෝනා ආසාදිතයන් බවට පත්වී අකාලයේ මිය යෑම වළක්වා ගැනීමට නොව රටේ ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන යාමටය. අපට පෙනෙන අන්දමට නම් එම ක්‍රියාවලියේදී ආණ්ඩුව ප්‍රමුඛස්ථානය ලබාදී ඇත්තේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිපැදීමට වඩා රටේ ආර්ථිකය ගොඩනගා ගැනීම කෙරෙහිය. දැනට සති තුන හතරක පමණ කාලයක් තිස්සේ මුළු රට පුරාම නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක කර තිබියදී පවා මෙරට නිදහස් ආයෝජන කලාපයන්හි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්නේත්, වරාය, ගුවන්තොටුපළ සහ ඉදිකිරීම් අංශයේ සියලු වැඩ කටයුතු පෙර පරිදි සිදුවෙමින් පවතින්නේත් ඒ අනුවය.  


කොළඹ නගර සීමාව ඇතුළත කොරෝනා වයිරසය සහ ඊට අයත් ප්‍රභේද ඉතා දරුණු ලෙස පැතිර යමින් පවතින නිසා කොළඹ නගරයට පැමිණීමෙන් හැකිතාක් දුරට වළකින ලෙස කොළඹ නගරාධිපතිනිය ඉකුත්දා මෙරට සමස්ත ජනතාවගෙන්ම කාරුණිකව ඉල්ලීමක් කර තිබුණේය. එසේම එම කාලය පුරාවටම රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ද පනවා තිබුණේය. එවන් තත්ත්වයක් තිබියදී පවා කොළඹ නගරය වෙත පැමිණි රථවාහන සංඛ්‍යාවේ අඩුවක් තිබුණේ දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි. ජනතාව රජය මගින් පනවනු ලබන නීති රෙගුලාසිවලට අනුගත නොවුණේ රජයේම වැරැද්ද නිසා බව අපගේ අදහසයි.  
එය තවත් අයුරකින් කිවහොත් කොවිඩ්-19 හෙවත් කොරෝනා නමැති මාරාන්තික වයිරසය පිළිබඳ ජනතාව තුළ පැවති බිය හා සැකය දුරු කිරීමට මුල්වී තිබුණේද ආණ්ඩුවේ ක්‍රියාකලාපය බව නොරහසකි. ඒ කොරෝනා වයිරසය පැතිරෙමින් තිබියදී පවා විදේශීය සංචාරකයන්ට මෙරටට පැමිණීම සඳහා ගුවන්තොටුපළ විවෘත කර දීමෙනි. එහිදී ආණ්ඩුව ප්‍රකාශ කළේ ආරක්ෂිත බුබුළු යටතේ සංචාරකයන් පැමිණීමෙන් මෙරට ජනතාවට හෝ එම සංචාරක පිරිසට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවයි.  
මේ අතර අභිනවයෙන් පත්වූ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අනුව කොරෝනා වයිරසය පැතිරීම නිසා දේශීය ආර්ථිකයට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 1500 ක් පමණ වේ. ආණ්ඩුව නිසි කලට නිසි පියවර ගෙන තිබුණා නම් එම පාඩුව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබුණේය.  


අපට පෙනෙන අන්දමට නම් ආණ්ඩුව ප්‍රශ්න අනාගෙන හත්පොලේ ගාගෙන තිබුණේ කොරෝනා වසංගතයෙන් පමණක් නොවේ. වී සහ සහල් ප්‍රශ්නයෙන් ද එළවළු, අර්තාපල් සහ ලොකු ලූනු ගොවීන්ගේ ප්‍රශ්නයෙන් ද කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නයෙන් ද ආණ්ඩුව වැඩ අනාගෙන තිබුණේය. සහල් ප්‍රශ්නය සම්බන්ධයෙන්ද මේ වනවිට ආණ්ඩුව සිටින්නේ පෞද්ගලික වී මෝල් හිමියන්ට වඩා සෑහෙන්න තරම් පිටුපසිනි. මහා පරිමාණ මට්ටමේ සහල් මෝල් හිමියන් තමන්ගේ සහල් සඟවා ගෙන පාරිභෝගිකයන්ගෙන් ගසා කෑම නතර කිරීමට වෙළඳ ඇමැතිවරයාට නොහැකි විය. ඔහු ගැසට් පිට ගැසට් නිකුත් කරමින් සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට සැලසුම් සැලසුව ද එම මිල ගණන්වලට සහල් අලෙවි කරන වෙළඳසැල් සොයාගැනීම කළුනික සොයා ගන්නවටත් වඩා අසීරු කාරණාවක් විය.  


මේ අතර ආණ්ඩුව හදිසි නීතිය යොදා ගනිමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු ද පත්කර සඟවාගෙන සිටින සහල් තොග අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණද ඒවා පාලන මිලට අලෙවි කිරීමට සැලසුම් කර තිබුණේ එම සහල් තොගවල වටිනාකම මෝල් හිමියන් හට ගෙවන අයුරිනි. එලෙස ටොන් සිය ගණනින් හොර රහසේ ගබඩා කර තිබූ සීනි තොග අත්අඩංගුවට ගැනීමට පසු සිදුවී තිබුණේ ද ඊට සමාන සිදුවීමකි.  
සීනි ආනයනකරුවන්ගෙන් රජයට අය කර ගැණුනු රුපියල් 50ක බදු මුදල ඉකුත් මාර්තු මාසයේ සිට ශත 25 දක්වා රජය මගින් අඩු කර තිබුණේ එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමේ අදහසිනි. එම බදු අඩු කිරීමේ වාසියෙන් උපරිම ප්‍රයෝජනය ගත් මෑත පරිමාණ සීනි ආනයනකරුවන් තුන්සිය ගණනින් සීනි ගෙන්වා තම තොග ගබඩාවල සඟවාගෙන තිබුණේ කෘත්‍රීම සීනි හිඟයක් නිර්මාණය කර අධික මිලට එම සීනි තොග අලෙවි කිරීමේ අදහසිනි. ඒ අනුව විවෘත වෙළෙඳපොළේ සීනි කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 220/- ටත් ඉහළ මිල ගණන්වලට ය.  


එසේ වුවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් මීට මාස කිහිපයකට පෙර නිකුත් කර තිබුණු අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වූ අන්දමට සීනි කිලෝවක් සහ පරිප්පු කිලෝවක් අලෙවි කළ හැකි මිල රුපියල් 100/- අඩු විය. එහෙත් එම මිල ගණන්වලට සතොස වෙළෙඳසල් හෝ සමුපකාර ප්‍රාදේශික හෝ අලෙවි නොකෙරිණි. ඇතැම් සතොස අලෙවිසැල් කිහිපයක් පමණ එම මිල ගණන්වලට සීනි සහ පරිප්පු අලෙවි කෙරුණ ද දින ගණනාවක් ඇතුළත එම සීනි සහ පරිප්පු තොග අවසන් වී තිබුණේය.  


අන්තිමේදී සිදුවූයේ රුපියල් 50ක්ව තිබූ සීනි බද්ද ශත 25 ට අඩු කිරීම නිසා රුපියල් බිලියන 35ක අලාභයක් විඳ දරා ගැනීමට රජයට සිදුවීමයි.  


මහමග ධාවනය කෙරෙන මගී ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන ඇති ලොරි සහ වෑන් රථ බොහෝමයක්ම පාහේ ඒවායේ හිමිකරුවන් විසින් ලබාගෙන ඇත්තේ ලීසිං සමාගම් හරහා බව ප්‍රසිද්ධ කරුණකි. කුමන හෝ හේතුවක් නිසා මාස කිහිපයක ලීසිං වාරික ගෙවීමට පැහැර හැරුණ විට ඒවා එම අයිතිකරුවන්ගෙන් බලෙන් අත්පත් කර ගැනීමට එම ලීසිං සමාගම් පෙළඹී සිටින්නේ බොහෝ කලකට පෙර සිටය. කෙසේ වෙතත් ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට කොරෝනා වසංගතය පැතිරුණු අවස්ථාවලදී එම වාහන ධාවනය නතර වී තිබුණේ එම ප්‍රදේශයන්හි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ බැවිනි. නැතහොත් වෙනත් සාධාරණ හේතුවක් මුල්කරගෙනය.  


මෙහිදී රජය මැදිහත් වීම මත එම ලීසිං වාරික ගෙවීම පැහැර හැර ඇති වාහන හිමිකරුවන්ගෙන් එම වාරික සහ හිඟ මුදල් අය කිරීම සහ ඒ පිළිබඳ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගවලට එළැඹීම කල් දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම ලීසිං සමාගම්වලින් ඉල්ලීමක් කර තිබුණේය. එහෙත් මහ බැංකුවේ එම උපදෙස්වලට අනුව කටයුතු කර තිබුණේ ලීසිං ආයතන ඉතාමත් සුළු ප්‍රමාණයකි. ඒ අනුව සෙසු සියලුම ලීසිං ආයතන මහ බැංකුව මගින් නිකුත් කර තිබුණ එම චක්‍රලේඛය තඹ දොයිතුවකටවත් මායිම් නොකළා පමණක් නොව ලීසිං වාරික ගෙවීමට නොහැකි පුද්ගලයින්ගේ වාහන බලෙන් අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබුණේය. එය මුළුමනින්ම රජයේ උපදෙස්වලට එරෙහිව යාමක් වුවද ඒ ගැන විස්මය පළ කරනවාට වඩා වැඩි යමක් කිරීමට රජයට නොහැකි විය.  


මේ අතර ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට රට පුරා පැතිරුණු කොරෝනා වයිරසය නිසා රට වසා දමා තිබියදී තම දෛනික ආදායම් මාර්ග අහිමි වූ පවුල්වලට අවස්ථා දෙකකදී රුපියල් 5000/- බැගින් කඩිනමින් ලබාදුන්නේය. අවස්ථාවේ හැටියට එය එම පවුල්වලට සුළු වශයෙන් හෝ සහනයක් විය. ඒ සමගම රුපියල් 1000/- 2000/- සහ රුපියල් 5000/- වශයෙන් වටිනා වියළි ආහාර පාර්සල් පවා ලබාදී තිබුණේය.  
එහෙත් මෙවර ආදායම් මාර්ග අහිමි වූ පවුල්වලට ලබාදී තිබුණේ රුපියල් 2000/- ක සොච්චම් දීමනාවකි. ආහාර පාර්සල් බෙදාහැරීමක් මෙවර සිදු නොවීය. රජය එවැනි පියවරක් ගෙන තිබුණේ රජයේ මුදල් තත්ත්වය අයහපත් බැවිනි. කොරෝනා වසංගතය නිසා රට කොතරම් ආර්ථික අතින් පහළ වැටී සිටිනවා දැයි කිවහොත් රජයේ බොහෝමයක් ඉදිකිරීම් ව්‍යාපෘති අතරමග නතර වී ඇත. රජයේ ඇතැම් මහා පරිමාණ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ පෞද්ගලික අංශයේ කොන්ත්‍රාත්කරුවන්ට ලැබිය යුතු චෙක්පත් නිකුත් කිරීම මාස ගණන් ප්‍රමාද වී තිබේ.  


එවැනි දෑ සිදුවන්නේ කොරෝනා උවදුර නිසා රජයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 1500 කින් අඩුවී ඇති නිසායැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේය. එසේම කොරෝනා වසංගතය නිසා රටට සිදුවී ඇති වින්නැහියද අපට සිතා ගත හැකිය. ඒ සමගම අපට සිතා ගැනීමට පවා අපහසු කරුණක් වී ඇත්තේ ඉකුත් දිනවල විද්‍යුත් මාධ්‍යයන් අනාවරණය කෙරුණු පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් කණ්ඩිය මත රුපියල් කෝටි ගණනාවක් වැය කරමින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට රජයට තිබුණු උනන්දුව ගැනය. ඊට අමතරව තවත් රුපියල් කෝටි ගණනාවක් වැය කර කන්තලේ ප්‍රදේශයේ වැව් කණ්ඩිය මත එවැනි ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට සූදානම් වන බව ද විද්‍යුත් මාධ්‍යයෙන් අසන්නට ලැබුණේය.  
මේ අතර අසන්නට ලැබුණු තවත් පුවතකට අනුව රජය රුපියල් බිලියන 229 ක් පමණ වටිනා අලුත් මුදල් නෝට්ටු ඉකුත්දා මුද්‍රණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙලෙස අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කර රට තුළ සංසරණයට එකතු කිරීමෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ රටේ බඩු මිල ඉහළ යාමය. එමගින් රටේ දුප්පත් ජනතාවට සිදුවන වින්නැහිය ගැන කිසිදු තැකීමක් නොකර ආණ්ඩුව මෙලෙස වගකීම් රහිත හැසිරීමකට යොමු වී ඇත්තේ කුමන බක පණ්ඩිතයකුගේ උපදෙස් මත දැයි ආණ්ඩුවේ ප්‍රධානීන් දැන්වත් සොයා බැලිය යුතුය. එසේ නොකර එම ඊනියා ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අනුව තවදුරටත් කටයුතු කිරීමට ගියොත් ඉකුත් යහපාලන ආණ්ඩුවට සිදුවූ වින්නැහිය වත්මන් ආණ්ඩුවට ද සිදුවීම නොවැළැක්විය හැකිය.