(අංජුල මහික වීරරත්න)

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් මහියංගන පුද බිම වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගනය රජමහා විහාරාධිපති  උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නා හිමි බැහැදැක ආශිර්වාද ලබාගත් අතර උන්වහන්සේගේ  සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත විය.

උන්වහන්සේ මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක්ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.‍

අනතුරුව ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සිව්වන  රන්දෝලි පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශවාසී ජනතාව සමඟ පෙරහර නැරඹීමටද එක් විය. 

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, අම්බිකා සැමුවෙල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.