මනෝප‍්‍රිය ගුණසේකර

ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවට පත් විමට රට සංවර්ධනය කිරීමට බව පවසමින් මහජන වරමින් පත්වු මහජන නියෝජිතයින්ගේ සහ රජයේ උසස් නිළධාරීන්ගේ ක‍්‍රියාවන් හේතු වී ඇතැයි ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු වෙනුවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහත්වරුන්ට දඬුවම් නියම කරමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  අද සඳහන් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර තිබු චෝදනා සාධාරණ සැකයකින් තෙරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් හිටපු වෙළඳ ඇමැති නලින් ප‍්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

වසර 10කට පෙර කළ මෙම අපරාධය සම්බන්ධයෙන් වසර 06ක කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පිටු 84කින් යුත් තීන්දුව ප‍්‍රකාශට පත්කළ විනිසුරු මඬුල්ල චෝ්දනාවන්ට විත්තිකරුවන්් වරදකරුවන් කරමින් ඔවුන්ට අදාළ දඬුවම් නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප‍්‍රදීප් හෙට්ටිආරච්චි (සභාපති), ප‍්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තීීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණී.

2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.

මෙම සිද්ධියට අදාළව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස හිටපු සභාපති වත්මන් වෙළඳ ඇමැති නලින් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණී.

පැමිණිල්ලේ නඩුව අවසන් වු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැ`දවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටියත් විත්තියේ ඉල්ලීම් ප‍්‍රතිෙක්‍ෂප කරමින් විත්තියේ සාක්කි කැඳවීමට තරම් ප‍්‍රමාණවත් නඩුවක් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇතැයි තීරණය කළ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්කි විභාග කිරීමට තීරණය කෙරිණී.

ඒ අනුව විත්තිකරුවන් වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කෙරුණු අතර පැමිණිල්ලේ මෙන්ම විත්තියේ සාක්කි විමසීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී විත්තිකරුවන් වන හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස. හිටපු සභාපති මෙන්ම හිටපු වෙළඳ ඇමැති නලින් ප‍්‍රනාන්දු මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ. තීන්දුව ප‍්‍රකාශට පත්කිරීම ආරම්භ කරමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇතැයි විනිසුරු මඬුල්ල සඳහන් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නඩුවේ පැමිණණිලලේ සාක්කි විභාගය අවසන් කළ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව පවසමින් අපරාධ නඩු විදාන සංග‍්‍රහයේ 200 වගන්තිය යටතේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්ති පාර්ශවයේ නීතිඥවරුන් කළ ඉල්ලීම් ප‍්‍රතික්ශේප කරමින් විත්තියේ සාක්ෂි කැඳවීමට තීරණය කළ බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල සාක්ෂි විභාගය අවසානයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළේ යැයි සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බවට තීන්දු කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර දඬුවම් අඩු කිරීම සඳහා විත්තිකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිරීමට අවශ්‍ය නම් එම ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී පලමු විත්තිකාර හිටපු වෙළඳ ඇමැති නලින් ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනාවන්ට පාදක වු ක්‍රියාවෙන් තම සේවාදායකයා කිසිඳු ලාභයක් ලබාගෙන නැතැයි කීය.

ඉහළින් ලැබුණු උපදෙස් අනුව භාණ්ඩ ආනයනය කර ලබාදීම තම සේවාදායකයා කර ඇතැයිද එය තම සේවාදායකයාගේ රාජකාරිය යැයිද චෝදනාවේ සඟන් වැරදි කරීමට තම සේවාදායකයාගේ කිසිදු දායකත්වයක් දක්වා නැතැයිද කී ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා මෙම කරුණු සලකා තම සේවාදායකයට ලිහිල් දඬුවමක් දෙන්නැයි ඉල්ලා සිටයේය.

තම සේවාදායකයට අත්වු මෙම ඉරණම තුළින් මැති ඇමතිවරු කියන, කියන දේවල් කරලා අමාරුවේ වැටුනම තමන්ට සහනයක් ලැබෙන් නැති බවත් අන්තිමට සිය රාජකාරී සමයේ කළ සියලු හොඳ ඔවුන්ට නැති වන බවට රජයේ සේවකයින්ට පණිවිඩයක් ලැබෙන්නේ යැයිද ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා විනිසුරු මඩුල්ල හමුවේ පැවසීය.

දෙවැනි විත්තිකාර මහින්දානන්ද අලූත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා කරුණු දක්වමින් දේශපාලනඡුයකු වශයෙන් රටට විශාල සේවයක් කර ඇති පෙර වැරදි නැති තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

මේ වන විට 61 වැනි වියේ පසුවන තම සේවාදායකයාට එරෙහිව නඟා ඇති මෙම චෝදනාවන්ට පාදක වු සිද්ධිය වී ඇත්තේ මීට වසර 06ක කාලයකට පෙර යැයිද මේ වනවිටත් සියලු දේශපාලන කටයුතු වලින් ඈත්වී සිටින තම මාගේ සේවාදායකයා යළි දේශපාලනයට පැමිණීමේ අරමුණක් නැතැයිද කී ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා තම සේවාදායකයාට යළි සමාජගත විය හැකි අන්දමේ ලිහිල් දඩුවමක් දෙන්න්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙන සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂක නීතීඥ අනුත්තරා ජයසිංහ මහත්මිය කරුණු දක්වමින් තම ධුරයන් හී ඇති බලතල අයුතු ලෙස යොදවමින් විත්තිකරුවන් මෙම වැරදි කර ඇතැයි පැවසුවාය.

රට සංවර්ධනය කිරීමට බව පවසමින් මහජන වරමින් පත්වු මහජන නියෝජිතයකු සහ ඔවුන්ගේ බහට අවනත වු රජයේ නිලධාරීයකු ලෙස කටයුතු කළ පුද්ගලයකුගේ ක‍්‍රියාවන් හේතුවෙන් මෙම වරද සිදුව ඇතැයි පෙන්වා දුන් නීතීඥ අනුත්තරා ජයසිංහ මහත්මිය මහජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා අයවැයෙන් වෙන්කල මුදල් වලින් විත්තිකරුවන් මෙම වරද කර ඇත්තේ රාජ්‍ය සේවකයින් ලෙස කටයුතු කරමින් යැයිද කීවාය.

අයවැයෙන් මහජන යහපත උදෙස් වෙන් කළ රුපියල් මිලියන 53කට අධික මුදලක් විත්තිකරුවන් දැන දැනම විනාශ කර ඇතැයිද එය ජනතාවට වු මහවිශාල පාඩුවක් යැයිද මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයින් මෙන්ම රජයේ සේවකයින් සිටින්නේ රට සංවර්ධනය කිරීමට බව පෙන්වා දුන් අනුත්තරා ජයසිංහ මහත්මිය විත්තිකරුවන්ගේ මෙවැනි ක‍්‍රියා කලාපයන් අඩු වැඩි වශයෙන් ලංකාව බංකොලොත් වීමට හේතු වු බවද පෙන්වා දුන්නාය.

මෙවැනි ආකාරයේ වැරදි කිරීමට බලපොරෙත්තුවෙන් මේ වන විටත් දේශපාලනයේ සහ රාජ්‍ය සේවයේ පුද්ගලයින් සිටිය හැකි හෙයින් ඔවුන්ටද පාඩමක් වන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටි අනුත්තරා ජයසිංහ මහත්මිය නිතීය සැමට සමාන බව පොදු මහජනතාවට හැඟී යන ආකාරයේ තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටියාය.