(විමුක්ති එස් රුද්‍රිගූ)

තමන්ට අසන්නට ලැබී ඇති පරිදි ඉරාන යුද්ධයත් සමඟ තෙල් බැරලයකට ඉහළම මිලක් ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකාව තෙල් බැරලයකට ඇමෙරිකානු ඩොලර් 280 ක මුදලක් ගෙවා ඇති බවත් HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි මහතා පසුගියදා හොංකොං නුවරදී පැවැති ආයෝජන සංසදයකදී ප්‍රකාශ කර තිබිණි.

ඉරාන යුද්ධයෙන් ආසියාවේ තෙල් මිලට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවද ඔහු පැවසුවේය.

බටහිර රටවල් තෙල් බැරලයක් සඳහා ගෙවන මිලෙන් සැබෑ තෙල් මිල නිරූපණය නොවන බවත් ලෝකයේ විවිධ කලාප තෙල් සඳහා ගෙවන්නේ විවිධ මිලවල් බවත් ඔහු සඳහන් කළේය.

ලෝක බොරතෙල් වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාවේ ඉහළ පහළ යමින් පැවතියත් මැද පෙරදිගෙන් තෙල් ලබා ගන්නාවිට බැරලයකට ඩොලර් 140ත් 150ත් අතර ප්‍රමාණයක් ගෙවීමට බොහෝ ගැනුම්කරුවන්ට සිදුවන බවත් HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා පැවැසුවේය.

රතු මුහුද හරහා තෙල් ලබා ගන්නේ නම් බැරලයක් සඳහා ඩොලර් 30ත් 40ත් අතර ප්‍රමාණයක් නැව් ප්‍රවාහන ගාස්තු ලෙස ගැනුම්කරුවන්ට ගෙවීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේම රක්ෂණ ගාස්තුද සියයට පහක පමන ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බවත් එයට යුද රක්ෂණය අයත් නොවන බවත් ඔහු සඳහන් කළේය.

යුද්ධය ආරම්භයත් සමඟ ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කරන බවත් පසුගිය සතියේ සිට ඇමෙරිකාවද ඊට ප්‍රතිචාර දක්වමින් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති බවත් ඔහු පැවසුවේය.