(රෝෂන් තුෂාර)

වසර හතරක් ඇතුළතදී රුපියල් කෝටි 33 ක බැංකු  ගිණුම් තුනක් පවත්වාගෙන ගොස් කළු සල්ලි සුදු කළේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කල ගන්දර කපු මහතා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් සමඟ සබඳතා පවත්වා ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංක එස් බෝදරගම මහතා  හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද(22) පැවසීය.


ආරක්ෂක අංශ විසින් පසුගිය මැයි 4 වැනි දා බෙලරූස් රාජ්‍යයේ සිට දිවයිනට රැගෙන පැමිණ රක්ෂිත බන්ධනාගාරගත කළ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී”ට හා ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය සඳහා  ආධාර අනුබල දුන්නේ යැයි  රඳවා ප්‍රශ්න කල ගන්දර ප්‍රදේශයේ කපුවකු වන දිනේෂ් කුමාර අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර ගත ලොකු පැටි නැමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර  රඳවා ප්‍රශ්න කළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු වන දිනේෂ් කුමාර සැකකරු රහස් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.


පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුගේ දේපළ හා ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.සැකකරු ඩුබායි රටට පැන ගොස් සිටින පාතාල කල්හි සාමාජිකයින් සමඟ සබඳතා පවත්වමින් සිදුකළේ යැයි කියන මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්. ඔහු සතුව පවතින බහු දින ධීවර යාත්‍රා හතරක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පැවසීය.


2020 හා 2024 කාලය  තුළ සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33 ක් සංසරණය වී ඇති බවත්,එම මුදල් සම්බන්ධයෙන් මුදල් විසුද්ධි කරන පණත යටතේ විමර්ශන සිදු කරන බවත් පැවසීය.