(අංජුල මහික වීරරත්න)

මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසයක් ගානේ මුදල් එකතු කළ මන්ත්‍රීවරුන් ගැන ඔවුන් හෙළිදරව් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

බදු මුදල් එකතු කරන්නා සේ මාසයක් ගානේ අපරාධ කරුවන්ගේ නිවෙස් වලට ගොස් මන්ත්‍රීවරුන් මෙලෙස මුදල් එකතු කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය. සමහර ඇමතිවරු මාස් පතා මෙම අපරාධ කරුවන් ගෙදරට ගෙන්නා ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වැඩ ඇරැඹීමේ උත්සවය අද (17)අමතමිනි. මෙම සංවිධානාත්මක අපරාධ කල්හි මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කර තිබූ බව කී ජනාධිපතිවරයා රටෙි නීත්‍යනුකූල හමුදාව විසින් ඔවුන්ට අවි ආයුධ ලබා දී ඇති බව අනාවරණය කළේය.

"කුඩු මැඩ පැවැත්වීම සඳහා සිටින පොලිසිය විසින් ඒ අපරාධකරුවන්ගේ කුඩු ප්‍රවාහනය කළා.අපරාධ මැඩ පැවැත්වීමට ප්‍රතිපත්තියමය එකඟතාවයක් තිබෙන දේශපාලන අධිකාරිය විසින් ඔවුන්ට රැකවරණය ලබා දුන්නා.නීති විරෝධී පාස්පෝට් වැලැක්වීමට සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුනට පාස්පෝට් හදා දී තිබුණා.නීත්‍යානුකූලව මෝටර් රථ ලියාපදිංචි කිරීමට තිබෙන ආයතනය විසින් ඔවුන්ට මෝටර් රථ ලියාපදිංචි කරදී තිබුණා.

එමෙන්ම ඔවුන්ට එම ආයතන විසින් නීතියේ රැකවරණ ද ලබා දී තිබුණා" යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී කීය.

මෙම දේශපාලන රැකවරණය යටතේ තැන තැන වෙඩි තබා ගැනීම්, මත්ද්‍රව්‍ය,බිය ගැන්වීම් ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම් ආදී විශාල සමාජ අපරාධ වලින් ගහන වූ යටි බිම් ගත රාජ්‍ය නිර්මාණය වී තිබූ බව ජනාධිපතිවරයා කීය.එම යටි බිම් ගත අපරාධ රාජ්‍ය සහතික වශයෙන්ම අවසන් කරන බවට සහතිකයක් ලබාදුන් ජනාධිපතිවරයා එසේ නොකර අනාගත රැකවරණය සහිත රාජ්‍යයක් ගොඩනගන්න නොහැකි බව පැවසීය.

දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිස මත්ද්‍රව්‍ය ජාලයේ සියයට පනහකට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා තිබෙන්නේ යැයිද සන්නද්ධ කල්ලි සියයට 75 කට වඩා මොවුන් සමඟ සබඳතා ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම රජයේ මූලික අරමුණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා තෝරු මෝරු බේරෙන හාල්මැස්සො කොටුවෙන නීතියක් රටේ තිබූ නමුත් දැන් නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි යන සංකල්පයට පණ පොවා තිබෙන්නේ යැයි කීය. ඒ නිසා කවුරුත් නොහිතපු තැන් වලට කවදාවත් නීතිය ළඟා නොවෙනු ඇතැයි කල්පනා කළ තැන්වලට නීතිය ළඟා වන අතර කවර බලවේගයකටවත් එය ආපහු හරවන්නට නොහැකි වනු ඇති බව සඳහන් කළේය.

තාමත් තැන තැන පරණ ඇබ්බැහි වලට ලොල් වී සිටින රාජ්‍ය යාන්ත්‍රණයේ තැන් සහ පුද්ගලයන් හඳුනාගෙන තිබෙන බව කී ජනාධිපති අනුර දිසානායක මහතා අලුත් දේශපාලනයට අනුව හැඩ ගැහෙන්න ඔවුන්ට අවස්ථාව තියෙන බවත් එසේ නැතිනම් දාලා යන්න පුළුවන් බවත් කීය. "දාලා යන්නත් සූදානම් නැතිනම් අප ඔවුන් ඉවත් කරනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.