IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


සමයංගේ උපන් දිනයට සුපිරි සාදයක් පවත්වලා

අරුණ උදයන්ත පතිරණ හෙවත් රණාලේ සමයං නමැති පාතාල කල්ලි නායකයා ඇතුළු ඔහුගේ ගෝලබාලයින් පස් දෙනෙක් වෙඩිකා මියයන්නේ කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බස් රථයකින් රැගෙන එන අතරවාරයේ බන්ධනාගාරයට නුදුරු ප්‍රදේශයකදීය.


මෙම වෙඩි ප්‍රහාරයෙන් බන්ධනාගාර ජෙලර්වරයෙක්, බන්ධනාගාර නියාමකවරයෙක් ද මියගිය අතර තවත් බන්ධනාගාර නියාමකවරයකුට පාදයක් ද අහිමි විය.


ඒ පසුගිය 27 වැනිදා උදේය.


ප්‍රතිවාදී පාතාල කල්ලියක් අතින් ඝාතනය වූ රණාලේ සමයංගේ 28 වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 27 වැනිදාමය.


ඒ වනවිට ද ඔහු සිටියේ බන්ධනාගාරගතවය.


රණාලේ සමයං බන්ධනාගාරයේ සිටියත් ඔහුගේ උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කපා උපන්දින සාදයක් ජයටම පවත්වා ඇත.


උපන්දින සාදය මහ ඉහළින් සමරා ඇත්තේ ඔහු රඳවා සිටි බන්ධනාගාරය ඇතුළේදී නම් නොවේ.


රණාලේ සමයං බන්ධනාගාරයේ සිටිය අතරවාරයේ ඔහුගේ ගෝලබාලයන් පිරිසක් විසින් මේ උපන්දින සාදය පවත්වා තිබුණේ අතුරුගිරිය පොලිස් වැයික්කියේ පිහිටි හෝටලයකදීය.


මේ උපන්දින සාදය සඳහා ආරාධනා ලැබ 100-150 අතර පිරිසක් හෝටලයට පැමිණ සිට ඇති බව කියති.


ඒ අතර බන්ධනාගාරයට සම්බන්ධ බවට සැලකෙන කිහිපදෙනෙක්, නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිපදෙනෙක් සහ ව්‍යාපාරිකයන් ගණනාවක් ද පැමිණ සිට ඇත.


උපන්දින සාදයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර තිබෙන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ සමයංගේ ප්‍රධානම ගෝලයා ලෙස සැලකෙන ‘ඇලයා’ යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන අයෙකි.


සමයංගේ උපන් දිනය වෙනුවෙන් කැපූ කේක් ගෙඩිය ඉතාමත්ම අලංකාර ලෙස සාදා තිබී ඇත්තේ ලොකු ගාණක් වියදම්කරය.
මේ උපන්දින කේක් ගෙඩියේ විශේෂත්වයක් ද තිබී ඇත.


කේක් ගෙඩිය මත පිස්තෝලයක අනුරුවක් අයිසින්වලින් සකස්කර තිබිණි.


ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුට සමීපතම හිතවත් ගෝලබාලයන් කොච්චර සිටියත් ඔහු ඒ කිසිවකුටත් වඩා ඔහු අත නිතරම රැඳී තිබූ පිස්තෝලය ගැන තදබල ලෙස විශ්වාසයක් තබාගෙන සිටි අයෙකු නිසා බව දැන ගැනීමට ඇත.


උපන්දින සාදයක් ජයටම ගැනීමට සූදානම් වන බව රණාලේ සමයංට ඇලයා නමින් හැඳින්වෙන පුද්ගලයා කතාකර කීමෙන් පසු ඔහු කියා ඇතැයි කියන්නේ බර්ත්ඬේ කේක් එකට පිස්තෝලයක අනුරුවක් සකස්කරන ලෙසය.


කේක් එක මැද අයිසින්වලින් පිස්තෝලයක අනුරුවක් නිර්මාණය කර ඇත්තේ සමයං ලබාදුන් බවට පැවසෙන උපදෙස් අනුව ඔහුගේ කැමැත්ත ආශාව ඉටුකිරීම වෙනුවෙනි.


සමයං බන්ධනාගාරය ඇතුළේ සිට තමන්ගේ උපන්දින සාදය පැවැති හෝටලයට රැස්ව සිටි පිරිස සමග සම්බන්ධ වී ඇත්තේ ඉමෝ :ෂඵධ* තාක්ෂණය සහිත නවීන පන්නයේ ජංගම දුරකථනයක් හරහාය.


උපන්දින සාදය රාත්‍රියේ සිට පසුදා අලුයම දක්වා පවත්වා තිබූ බව කියන අතර සමයං සැමවිටම තමන්ගේ උපන් දිනය වෙනුවෙන් සහභාගි වී සිටි අය සමග සම්බන්ධවෙමින් සුහදව කතාබස් කර ඇත.


ඒ සෑම කෙනෙක්ම පාහේ සමයංට සුභ උපන් දිනයක් වේවා, හැපි බර්ත්ඬේ ආදී වශයෙන් කියමින් සුබපතා ඇති අතර ඔහු ද ඒ සැමටම පෙරළා ස්තූතිය පුදකර තිබෙන බව කියති.


උපන්දින සාදයට ආරාධනා ලැබ සිටි සෑම කෙනෙක්ම පාහේ හැපි බර්ත්ඬේ යැයි තාලයට ගයමින් කේක් ගෙඩිය කපා තිබේ.
විශාල ප්‍රමාණයේ ඒ කේක් ගෙඩියේ ඉටි පන්දම් 28ක් සවිකර තිබුණේ සමයංගේ වයස සංකේතවත් කිරීම සඳහාය.


ඉටිපන්දම් නිවා කේක් ගෙඩිය මුලින්ම කපා ඇත්තේ සමයංගේ මේ උපන්දින සැමරුම් සාදයේ ප්‍රධාන සංවිධායකයා ලෙස සැලකෙන ඇලයා නමැත්තාය.


මෙවැනි ආකාරයට තමන්ගේ උපන් දිනය සැමරීමට කටයුතු කිරීම වෙනුවෙන් ඇලයා ප්‍රධාන තම ගෝල බාලයන්ට ද සහභාගිවූ සැමට ද ඔහු ඉමෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධවෙමින් සිය කෘතඥතාව පළකර ඇත.


සමයංගේ උපන්දින සාදය වෙනුවෙන් සහභාගිවූවන් වෙනුවෙන් පානය කිරීමට මධුවිත කිසිම අඩුවකින් තොරව සපයා තිබිණි.
ඒවා ඉහළ මිල ගණන්වලට වෙළඳපොළේ විකිණීමට ඇති විදේශීය නිෂ්පාදන ඉස්තරම්ම වර්ගයේ මත්පැන් බෝතල්ය.


සාදයට සහභාගිවී සිටි වැඩිදෙනෙක් සමයංට සවුදිය පුරා ඇත්තේ මධුවිත තොලගාන අතරවාරයේය. 


සාදයේ උද්වේගකර අවස්ථා එයට සහභාගිවී සිටි සමහර අය ඔවුන් අත් තිබූ නවීන තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථනවලින් වීඩියෝ හා ඡායාරූපගත කරගෙන ඇත්තේ සිහිවටන වශයෙන් තබාගැනීමට විය යුතුය.


සාදය අවසන් වනවිට පසුදා අලුයම උදාවී තිබුණ අතර හොඳ හැටි මධුවිතෙන් සප්පායම් වී සිටි බොහෝ දෙනෙක් ඒ වන විට ද සිටියේ දෙපයින් නැගිට ගැනීමට නොහැකි තරමේය.


සමයංගේ සමයං පාටිය ඉවර වුණේ එහෙමය. 


ඒ නිසා දෙපයින් නැගිට සිටීමට නොහැකිව වෙරි මරගාතේ නන් දොඩවමින් සිටි පිරිස් පිටත්කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණේ ඔවුන් ආ වාහන පදවාගෙන යාමට නොහැකිව තිබූ නිසාය.


මෙයට පිළියමක් වශයෙන් සාදයේ ප්‍රධාන සංවිධාකයා මැදිහත්වී වෙනත් වාහන සොයාදී වෙරිකාරයින් පිටත්කර හැරීමට පියවර ගෙන තිබුණේ වෙරිමරගාතේ වාහන පදවාගෙන ගොස් අතරමගදී කුමක් හෝ අනතුරක් සිදුවුවහොත් හරිම ජංජාලයක් වන බව තේරුම්ගෙන තිබූ නිසාය.


බන්ධනාගාරයේ සිට සමයං සිය 28 වැනි උපන්දිනය සැමරුවේ එහෙමය.


මහ ඉහළින් තම උපන්දිනය සැමරීම ගැන ඔහු සිට ඇත්තේ කිව නොහැකි සතුටකිනි.


ඒ උපන්දින සාදයේ සියලුම දේවල් පියවරින් පියවර ඉමෝ තාක්ෂණය ඔස්සේ සජීවීව දැක බලා ගැනීමට හැකිවීම නිසාය.
මේ උපන්දින පාටියේ දර්ශන පොලිසිය සතුව පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.


මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් රණාලේ සමයංගේ මේ බර්ත්ඬේ පාටිය ගැන මේ තොරතුරු සියල්ල අනාවරණය කරගත්තේ අතුරුගිරිය නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයක් තුළදී බණ්ඩාර ධර්මසිරි හෙවත් බණ්ඩා නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් හතර දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.


මේ හතර දෙනාම පාතාල නායකයෙක් ලෙස සැලකෙන අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලබාලයන් බව පොලිසිය කියයි.
රණාලේ සමයං සහ ඔහුගේ ගෝලබාලයන්ට වෙඩිතබා ඝාතනය කිරීමට පොලිසිය සොයනුයේ ද අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සහ ඔහුගේ ගෝලබාලයන් කණ්ඩායමකි.


රණාලේ සමයං ඇතුළු ඔහුගේ ගෝලබාලයන් පස්දෙනා ඝාතනය කිරීමට අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙක් සම්බන්ධ බවට සැකකර ඔවුන් මරා දැමීමට මෝල් අසංක නමැත්තා ඔහුගේ සගයන් කිහිපදෙනක් උත්සාහ කරන බවට බුද්ධි අංශවලට ද තොරතුරු ලැබී තිබෙන බව දැනගැනීමට ඇත.


සමයං ඝාතනය තෙක් දුරදිග ගිය රූපලාවණ්‍යාගාරයේ ඝාතනය.


අතුරුගිරිය නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකට බණ්ඩාර ධර්මසිරි හෙවත් බණ්ඩා පැමිණ තිබුණේ පේෂල් එකක් දමා ගැනීමටය.
ඒ පසුගිය ජනවාරි මාසයේ 17 වැනිදාය.


ධර්මසිරි හෙවත් බණ්ඩා රූපලාවණ්‍යාගාරයට ආවේ අතුරුගිරිය නගරය කෙමෙන් අඳුරේ ගිලෙමින් තිබියදීය.


රූපලාවණ්‍යාගාරය පිහිටා තිබුණේ උඩුමහලක පිහිටි කාමරයකය.


රූපලාවණ්‍ය ශිල්පිනිය රූමතියක වූවාය.


ධර්මසිරි හෙවත් බණ්ඩා කියන්නේ අංගොඩ ලොක්කා නමින් හැඳින්වෙන පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකි.


ෆේෂල් එකක් කරගෙන යෑමට පැමිණි ධර්මසිරි හෙවත් බණ්ඩා වෙඩි කා මිය යන්නේ රූපලාවණ්‍යාගාරය තුළදීමය.


බණ්ඩා වෙඩිකා මිය යන්නේ ප්‍රතිවාදී පාතාල කල්ලියක අයගේ වෙඩි උණ්ඩවලට ගොදුරු වීමෙනි.


අංගොඩ ලොක්කා ඇතුළු පාතාල කල්ලිය බණ්ඩා ඝාතනය කරන්නේ තවත් පාතාල කල්ලි නායකයෙක් බවට සැලකෙන අරුණ උදිත් උදයංග හෙවත් රණාලේ සමයංගේ ගෝලයන්ගේ ගේමක් බවටය.


ඒ වනවිටත් රණාලේ සමයං සිටියේ කළුතර බන්ධනාගාරයේ ඔහුගේ ගෝලබාලයන් පස්දෙනෙක් ද සමගය.


බණ්ඩා මැරූ නිසා ලෙයට ලෙයින් පළිගැනීමට සමයංගේ ගෝලයන් සොයා ඝාතනය කිරීමට අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා ඔහුගේ ගෝලබාලයන්ට අණකර ඇති බව කියති.


එය රහසිගත මෙහෙයුමක් විය.


බණ්ඩාගේ ඝාතනයට එකට එකක් කිරීම තවත් මිනීමැරුම් වැලක ආරම්භය බව තේරුම්ගත් පොලිසිය බණ්ඩාගේ ඝාතකයින් සොයා මෙහෙයුම් ආරම්භ කළේ පාතාල අපරාධකාරයින් ඉස්සරවීමට කලින්ය.


බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දා මුණසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ මෙහෙයැවීම මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් බණ්ඩාගේ ඝාතකයන් ගැන ලැබුණු හෝඩුවාවක් ඔස්සේ කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කවුරුන් ද යන්න හඳුනා ගැනීමට හැකිවී තිබිණි.


බණ්ඩාගේ ඝාතනය සිදුකිරීමට සුරංග කුමාර හෙවත් අංගොඩ රත්තරං නමැති පාතාල සාමාජිකයෙක් බවට සැලකෙන පුද්ගලයා වෙඩි තබා මරා දමා තිබුණේ මුල්ලේරියාව ප්‍රදේශයේදීය.


අංගොඩ රත්තරං කියන්නේ ද අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයෙක් බව කියති.


සුරංග කුමාර හෙවත් අංගොඩ රත්තරංගේ ඝාතනය සිදුවී තිබුණේ ජනවාරි මාසයේ පස්වැනිදාය. 


අංගොඩ රත්තරං ඝාතනය සිදුවූ ස්ථානය අවට සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල දර්ශන පරීක්ෂාකර බැලීමේදී ඝාතකයා බවට සැලකෙන පුද්ගලයකු හඳුනාගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබිණි.


බණ්ඩාගේ ඝාතනයට ආ පුද්ගලයකු ද හඳුනා ගනු ලැබුවේ ඒ අවට සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල දර්ශන පරීක්ෂාකර බැලීමේදීය.

අංගොඩ රත්තරං හා අතුරුගිරියේ රූපලාවන්‍යාගාරයක් තුළදී වෙඩි කා මියගිය බණ්ඩාගේ ඝාතනයට ද පැමිණ ඇත්තේ එකම පුද්ගලයෙක් බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් හඳුනාගත්තේ ඒ රූපරාමු සසඳා බැලීමෙන් පසුවය.

 

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කලින් සොයාගත් හා රත්තරංගේ හා බණ්ඩාගේ ඝාතනය ගැන සොයාගෙන තිබූ තොරතුරු සී.සී.ටී.වී. කැමරාවල දර්ශන පරීක්ෂා කර බැලීමේදී හඳුනාගත් පුද්ගලයාට කදිමට ගැලපී ඇත.


මෙම ඒකකයේ රාජකාරි කරන්නේ ද අපරාධ විමර්ශන කටයුතුවලදී වැඩ පෙන්වා ඇති දක්ෂ නිලධාරීන් කණ්ඩායමකි.


පොලිසිය කළ විමර්ශනවලදී පෙනීගොස් තිබුණේ ද කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙක් බවට සැලකෙන අරුණ උදයන්ත පතිරණ හෙවත් රණාලේ සමයං ඔහුත් එක්ක බන්ධනාගාරගතව සිටින ගෝලබාලයන් බන්ධනාගාරයේ සිට සැලසුම්කර අංගොඩ රත්තරං හා බණ්ඩා යන දෙදෙනා මරා දමා ඇති බවටය.


මේ ඝාතන දෙකම සැලසුම් කළ බව කියන රණාලේ සමයං නමැත්තා ඔහු සඟවාගෙන සිටි ජංගම දුරකථන හරහා එළියේ සිටින ගෝලබාලයන්ට අවශ්‍ය උපදෙස් හා නියෝග නිකුත්කර තිබෙන බව ද පොලිස් කණ්ඩායම කරුණු අනාවරණය කරගෙන ඇත.


මේ ඝාතන දෙකම සිදුකර තිබුණු බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් හඳුනාගෙන තිබුණේ වෙන කවුරුත් නොව රණාලේ සමයංගේ ප්‍රබල ගෝලයෙක් ලෙස සැලකෙන ආමි අසංක නමින් හැඳින්වෙන පුද්ගලයෙකි.


ආමි අසංක නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයනවිටත් ඔහු ප්‍රදේශය අතහැර පළාගොස් තිබිණි.


පොලිසිය කළ පරීක්ෂණවලින් කරුණු අනාවරණය කරගෙන තිබුණේ ආමි අසංකට අමතරව මේ ඝාතනවලට දුලීප් හා ගුරා යනුවෙන් ප්‍රකටව සිටින දෙදෙනකුගේ ද සම්බන්ධයක් තිබෙන බවය.


ජංගම දුරකතන දත්ත ඔස්සේ කරන ලද විමර්ශනවලදී මේ දෙදෙනාගේ සම්බන්ධයක් තිබෙන බවට පොලිසියට ඒ වනවිටත් පැහැදිලිවම පෙනීගොස් තිබී ඇත.


බණ්ඩාගේ ඝාතනයට සම්බන්ධ මද්දා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙක් ද අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුව ද වැඩිදුර පරීක්ෂණ සඳහා බාරදුන්නේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙතය.
මොවුන් තිදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ද හෙළිවී ඇත්තේ ආමි අසංක, අංගොඩ රත්තරං හා බණ්ඩාගේ ඝාතනය සිදුකර ඇතැයි කියාය.


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දා මුණසිංහ, බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් යටතේ නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ සහ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි උදය හේමන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් හා සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, උපපොලිස් පරීක්ෂකවරුන් වන හේමන්ත කුමාර සහ ලක්ෂ්මන්, පොලිස් සැරයන්වරුන් වන සුනිල් (56951), චන්ද්‍රසිරි (52430), ප්‍රසන්න (56958), කරුණාතිස්ස (51885) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.


පොලිස් කොස්තාපල්වරුන් වන ජයරත්න (61108), ප්‍රසන්න (40248), අමිල (77788), කුමාර (84762), සමීර (81600), ලලන්ත (72338), ප්‍රදීප් (84228) සහ ගිහාන් (72989) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණ හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හවුල් වී ඇත.

 



අදහස් (1)

සමයංගේ උපන් දිනයට සුපිරි සාදයක් පවත්වලා

rohan Tuesday, 21 March 2017 09:21 AM

මගේ පුද්ගලික අදහස නම් මේවගේ අපරාදකාරයන්ගේ විස්තර මෙහෙම ලියන එක සදාචාර නැහැ මොකද මේවා කියවන අපේ රටේ ඉගෙනීමක් නැති තරුණයන් මේවා කියවල මේවට යොමුවෙන්න පුළුවන්.

:       4       63

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 154 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 262 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 726 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 73 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 749 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2288 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1967 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site