සුජිත් හේවාජුලිගේ

විනිසුරුවරුන්ගේ හිඟය ඇතුළු විවිධ කරුණු හේතුවෙන් රට පුරා මහාධිකරණවල විවිධ වර්ගයේ නඩු 40,299ක් පමණ සිරවී පවතින බව මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පැවසීය.

මින් විසිහත් දහස් තුන්සිය හැත්තෑ හයක්ම අපරාධ නඩු බවද, හෙතෙම සඳහන් කළේය.

රටපුරා මහාධිකරණ 37ක් ක්‍රියාත්මක වන නමුත්, මින් මහාධිකරණ තුනක් වෙන් වී ඇත්තේ අල්ලස් හෝ දූෂණ නඩු විභාගයට පමණක් බව ඔහු පැවසුවේය.

ප්‍රමාදවී ඇති නඩුවිභාග ඉක්මන් කිරීමට නම් අපරාධ නඩු විභාග කරන මහාධිකරණ සංඛ්‍යාව හැටක් දක්වා වැඩි කළ යුතු බවට මහාචාර්යවරයා  රජයට යෝජනාවක් කළේය.

තදබදය හේතුවෙන් එක් අධිකරණයකට නඩු අටසීයක් පමණ විභාග කිරීමට සිදුව ඇති බවත් ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ අධිකරණ සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දෙන හෙතෙම මහාධිකරණවල පහසුකම් වැඩි කිරීමට ද නොපමාව ක්‍රියාමාර්ග ගතයුතු බව සඳහන් කළේ ය.

මේ අතර බන්ධනාගාරවල තදබදය වැඩිවීමට ද මෙය ප්‍රධාන හේතු සාධකයක් වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.