නිරෝෂාන් ප්‍රේමරත්න

බෞද්ධ වන්දනා ස්ථාන ඇතුළුව වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් නිර්දේශ කරන වන්දනාකරුවන් 10 දෙනකුගෙන් හෝ ඊට වැඩි කණ්ඩායම් සඳහා වීසා නොමිලේ (Gratis Basis) නිකුත් කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. 

“ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් කටයුතු කරන බාහිර වීසා නියෝජිත ආයතනයේ සිදු වූ වෙනස්වීම හේතුවෙන්, කෙටි කාලයකට මෙම ක්‍රියාවලිය අත්හිටුවා තිබුණා. නමුත් ජූලි 07 වන දින සිට වැඩ ආරම්භ කරන ලද නව සේවා සපයන්නා තෝරා ගැනීමෙන් පසුව, වන්දනා චාරිකා සඳහා යන ශ්‍රී ලාංකිකයන් උදෙසා නොමිලේ වීසා ලබාදීමේ මෙම ක්‍රමවේදය නැවත හඳුන්වා දී තිබෙනවා. පෙර පැවති පරිදිම, මෙම ඉල්ලීම් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් යොමු කළ යුතුයි. මෙම වීසා 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් ලෙස ඉල්ලු‍ම් කළ හැකි අතර, අයදුම්කරුවන්ගේ ජෛවමිතික දත්ත (Biometrics) සටහන් කරගැනීමේ අරමුණින් පහසුව පරිදි කණ්ඩායමක් ලෙස හෝ වෙන් වෙන් වශයෙන්  ICAC  මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතුයි. මෙය ඉන්දීය රජයේ නව රෙගුලාසි යටතේ අනිවාර්ය අවශ්‍යතාවක්. කෙසේ වෙතත්, ජෛවමිතික දත්ත ලබාගැනීම අවශ්‍ය වන්නේ වයස අවුරුදු 12 ත් 70 ත් අතර පුද්ගලයන් සඳහා පමණයි. ” යනුවෙන් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

තම ජෛවමිතික දත්ත ලබාදීම සඳහා ICAC  වෙත පැමිණෙන අනෙකුත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්, ඔවුන්ට රැඳී සිටීමට සිදුවන කාලය අවම කිරීම සඳහා විශේෂිත සහ කඩිනම් ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත. ජෛවමිතික දත්ත ලබාගැනීම මගින් ඔවුන් ඉන්දියාවට ළඟා වූ පසු ඉන්දීය ආගමන විගමන කටයුතු සුමටව සහ පහසුවෙන් සිදුකිරීම තහවුරු කෙරේ.

ඒ අනුව, ඉහත සඳහන් කළ පරිදි අයදුම්පත් භාරදෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගෙන් කිසිදු වීසා ගාස්තුවක් අය නොකෙරේ. එම නිසා, ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ වීසා ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුවන්නේද යන ප්‍රශ්නය පැනනොගනී. කෙසේ වෙතත්, අයදුම්කරුවන් ICAC මධ්‍යස්ථානය මගින් ලබාදෙන සේවාවන් වෙනුවෙන් රුපියල් 1855/- ක වීසා සේවා ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත.

“සියලු‍ම ශ්‍රී ලාංකිකයන් සඳහා කඩිනමින් සහ සුමට ලෙස වීසා නිකුත් කිරීමට පහසුකම් සැලසීම අපගේ ස්ථාවර ප්‍රතිපත්තියයි. ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික වීසා (E-visa) පහසුකම ලබාගත හැකි ලොව පුරා බොහෝ රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වනවා. කෙසේ වෙතත්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා ලබාගැනීමට තෝරාගන්නා ශ්‍රී ලාංකිකයන්, අන්තර්ජාලය ඔස්සේ (Online) අයදුම් කර, කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටා ඇති ඉන්දීය කොන්සියුලර් අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) වෙත සිය අයදුම්පත් භාර දිය යුතුයි.” එම ප්‍රකාශකයා අප කළ විමසුමකදී පැවසීය.