පසුගිය දින සාමයේ පාගමන අවසන් වූ පසු කැලණිය රජ මහා විහාරයේදී වියට්නාමයේ පඤඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ධර්ම සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී විශ්ව විද්‍යාල හා පාසල් සිසු සිසුවියන් විශ්ව විද්‍යාල හා පාසල් සිසු සිසුවියන් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ උන්වහන්සේ ලබා දුන් පිළිතුරුයි මේ.

යම්කිසි දවසක අපි වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. එහිදී අපි කරන්නේ අප ළඟට එන රෝගීන්ට බෙහෙත් ලබා දී  ඔවුන්ගේ ශාරීරික හෝ භෞතික රෝග සුව කරන එක. නමුත් ඒ රෝගීන් ආධ්‍යාත්මික වශයෙන් සංසාරයේ දුක කියන දෙයින් මිදෙන්නේ නැහැ. අපි ඔවුන්ට භෞතිකව උදව් කරනවා. ආධ්‍යාත්මිකව සංසාරයෙන් එතෙර වෙන්න උදව් කරන්නේ නැහැ. එතනදි අපි ඔවුන් සුවපත් කළාට ඔවුන්ට ඒ ලැබෙන සුවය තාවකාලික නොවේ ද? ස්වාමිනී ඒ පිළිබඳ ඔබට දෙන්න පුලු‍වන් උපදෙස කුමක් ද?

බුදු රජාණන්වහන්සේ අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය දේශනා කර තිබෙන්නේ මේ ලෝකයේ සියලුම ලෝක සත්ත්වයන්ට ගැළපෙන අයුරින්. ඔබ ඉන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ. ඔබ ලබාදෙන බෙහෙත් අපි භාවිත කරනවා. ඒ බෙහෙත්වලින් සිදු වෙන්නේ ශරීරයේ වේදනාව අඩු කරලා සුවයක්, සාමයක් ලබා දෙන එක. අපි ඇවිදින විට ඖෂධ ලබාගත්තේ නැති නම් වේදනාවක් දැනෙනවා. ඒ නිසාම තමයි අපිට ඔබ වගේ වෛද්‍යවරු, හෙද නිලධාරින් වගේම ඖෂධත් අවශ්‍ය වෙන්නේ. නමුත් අප මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. අපි ඖෂධයක් ලබාගන්නා විට හෝ නිර්දේශ කරන විට අකුසලයක් සිදු නොවන අයුරින් එය සිදු කළ යුතුයි. එය තමයි වැදගත්ම කාරණය. අපි මනසේ රෝග ගැන කතා කළොත් ඔබ විසින් නිකුත් කරන ඖෂධවලින් සුව වෙන්නේ භෞතික ශරීරය පමණයි. ඖෂධ මඟින් සුව කළ නොහැකි දෙයක් තමයි විඥානයේ ඇතිවන රෝග. එවැනි රෝගවලට බෙහෙත් පෙන්වා දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. මේ සංසාර රෝග සුවපත් කරන්න වැදගත් වෙන්නේ සතිය නොහොත් සිහිය. ධර්මය ඇසූ පමණින්ම මේ රෝග සුවපත් වෙන්නේ නැහැ. අපි ධර්මය අහල, ගෙදර ගිහින් නැවත සාමාන්‍ය චර්යාවලටම ගියොත්, අපි යළි යළිත් එකම දේ භවයෙන් භවයට කරනවා. ඒ නිසා අපි ධර්මය අහලා, ඒ ධර්මය ක්‍රියාවට හා චර්යාවට නංවන්න අවශ්‍යයි. ඒ හරහා තමයි අපි සංසාර රෝග සුවපත් කරන්නේ.

ඔබ වහන්සේට අනුව බුද්ධාගමේ සාරය එසේත් නැත්නම් හරය කුමක් ද?

එය අපි දැනටමත් තේරුම් අරගෙන තියෙන සරල දෙයක්. මෙය ආගමක් නොවෙයි. දර්ශනයක්. ජීවිතයේ මාර්ගයක් සහ ජීවිතය කියා දෙන මාර්ගයක්. ඒ නිසාම අපි ප්‍රගුණ කළ යුත්තේ සංසාරයේ සත්‍ය ස්වභාවය දැකීම. අපි එය නිවැරදිව තේරුම්ගත යුතුයි. ජීවිතයේ මාර්ගය කියන්නේ අපි ජීවිතය සතිමත්ව, කාරුණිකව, මෛත්‍රීසහගතව ගත කරන ආකාරය. අපි අපට වගේම අනෙකාටත් සාමය ලබා දෙන ආකාරය. මෙය දුකින් මිදීමට ගත කළ යුතු දිවි පැවැත්ම ලෙස බුදුරජාණන්වහන්සේ දේශනා කළා. අපි දුකින් මිදුණාම අපි අනෙකාවත් දුකෙන් ගලවාගන්න කටයුතු කරනවා. ඒ අපි දුක සහ දුකෙහි මූලය හඳුනන නිසා. ඉතින් දුකෙන් මිදී සාමකාමී ජීවිතයක් ගත කිරීමට නම් බුද්ධ දේශනා ප්‍රගුණ කළ යුතුයි.

නායකයෙක් වශයෙන් අනෙකාට සහකම්පනයෙන් සහ කරුණාවෙන් කටයුතු කිරීම කෙතරම් වැදගත් ද?

නායකයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මග පෙන්වීම, උදව්, දිරි ගැන්වීම වැනි දේවල්. බෞද්ධ දර්ශනයට අනුව නායකයෙක් කියන්නේ ඔබට ආදර්ශයක් ලබාගත හැකි කෙනෙක්. ඔහුට හෝ ඇයට සහකම්පනය තිබිය යුතුයි. එවිටයි ඔහු හෝ ඇයට ඔබට ඔබ නිර්මාණය කර ගැනීමට උදව් කරන්න පුළු‍වන්. කාරුණිකත්වය සහ සහකම්පනය නොමැති තැනක නායකත්වයක් නැහැ.

ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මහා සංඝරත්නයේ කණ්ඩායමක් සඳහා මේ ගමන පුරාම මග පෙන්වූවා. ඒ වගේම ඔබ දුටුවා නොයෙක් රටවලින් බැතිමතුන් පැමිණියේ මේ සාමයේ පාගමන කියන ගෝලීය මෙහෙවර සඳහා සහාය දක්වන්නට. ඉතින් ඕනෑම රටක, ඕනෑම ධුරයක් හොබවන කුමන ආකාරයේ නායකයෙකුට, තමන්ගේ අනුගාමිකයන්ට කරුණාවෙන් සහ සහකම්පනයෙන් සැලකීම කොතරම් දුරට වැදගත් ද?

බොහෝ පුද්ගලයන් මා සාමයේ පා ගමනේ නායකයා ලෙස හඳුන්වනවා. නමුත් මම නායකයකු නොවෙයි. මම පෙරගමන් කරන්නෙක් පමණයි. මම ආහාර වලඳන්නේ සියලු‍ දෙනාටම පසුව. මම සැතපෙන්නේ සියලු‍ දෙනාටම පසුව. ඉතින් අපි මේ පාගමන එක්සත් ජනපදයේ කරනකොට, බොහොමයක් මිනිස්සු අපිට මේක වාර්ෂිකව සිදු කරන්න පුළු‍වන්ද ඇහුවා. ඉන්පසුව බොහොමයක් රටවලින් අපිට මේ පාගමන සිදුකරන්න ආරාධනා කළා. ඔවුන් පවසන්නේ අපිත් දුකින් ඉන්නේ එක්සත් ජනපදය වගේම කියලා. නමුත් මම කියන්නේ මම මේ වෙනකොට වැඩි අවධානයක් යොමු කරන්නේ ඊළඟ වර්ෂයේ දියත් කරන්නට නියමිත ධම්ම චරියා ව්‍යාපෘතියට. ඉතින් අපිට අනාගතයේ අවස්ථාවක් තිබෙනවා නම්, අපිට හැකියාවක් තිබෙනවා නම් අපි මේ සාමයේ පාගමන දිගටම සිදු කරගෙන යාවි ලෝකයේ සියලු‍ම මිනිසුන් වෙනුවෙන්. නමුත් අපි කිසිම දෙයකට කැප වීමක් කරන්නේ නැහැ. හේතුව තමයි අපි හෙට දිනය ගැන දන්නේ නැහැ. මට පොරොන්දු ලබා දීලා ඒ පොරොන්දු කඩ කරන්න බැහැ. මම දෙන පණිවිඩය තමයි අපි වොෂින්ටන් ඩීසීවල ධවල මන්දිරය ආසන්නයෙන් පාගමන අවසාන කළාට මේ පාගමන ආරම්භයක් පමණයි. එය තවමත් අවසන් වී නැහැ. හේතුව තමයි අපි සෑම දිනම ඇවිදිය යුතුයි. මම සියල්ලන්ට පවසන්නේ මගේ කතාව.

මම කණාමැදිරියන්ගෙන් එක්කෙනෙක්. මම සෑම තැනටම පියාඹනවා. ඉතින් මම කොහෙ ගියත් මට අවශ්‍යයි තව කණාමැදිරියන් මා සමඟ සම්බන්ධ වෙනවා දකින්නට.  මගේ පුංචි ආලෝකයට මුළු ලෝකයම එළිය කරන්න බැහැ. හැබැයි සිතන්න මේ රටේ ඉන්න හැමෝම එහෙම නැත්තම් මේ රැස් වෙලා ඉන්න හැමෝම තමන්ගේ ආලෝකය එකතු කළොත්? අපිට මුළු‍ රටම එළිය කරන්න පුළු‍වන්. එය තමයි මට අවශ්‍ය. මම හිතනවා එය ඒ ආකාරයට වෙයි කියල.  අපි දැනටමත් දුක් විඳිනවා. අපිට වඩා හොඳ දෙයක් අවශ්‍යයි. අපිට වඩා හොඳ දෙයක් ලැබිය යුතුයි. අපි මෙහෙම දුකෙන් සිටිය යුතු නැහැ. අපි මනුෂ්‍යත්වය ලබාගෙනත් අපි දුක් විඳිනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මම කොහෙ ගියත් මට මේ මාර්ගයේ මුණගැසෙන සියලු‍ම දෙනා මේ මෙහෙවරට එකතු වෙයි කියල. එකාවගේ සතිය ප්‍රගුණ කරමින් මාත් සමඟ මේ ගමන යන්න.

ඔබට කරන්න තියෙන්නේ එකම දෙයයි. “අද මගේ සාමකාමී දවස” මේ පාඨය හැමදාම අවදි වුණාට පස්සේ ලියන එක. ඇයි මේ සරල දේ මෙච්චර වැදගත්. අපේ මනසේ මුකුත්ම නැතුව හිස් වුණාම, එයට කරන්න දෙයක් නැති වුණාම, එය කරන්නේ මනසේ තියන කුණු අරගෙන නැවත නැවත අනුභව කරන එක. මොනවද මේ කසළ? දුක් වීම, අසතුට වගේ දේවල්. මම ඒව තමයි කසළ විදිහට හඳුන්වන්නේ. ඒ නිසා මනස හිස් වුණාම, මුකුත් නොකර සිටිනකොට මෙය තමයි කරන්නේ, කසළ ගැන නැවත නැවත සිතීම. එවිට අපි සිතුවිලිවලින් හෙම්බත් වෙලා දුකට පත් වෙනවා. ඉතින් අපි කරන්නේ මනස ඒ විදිහට කසළ අහුලන එක පටන් ගන්න පෙර නවත්වන එක. අපි අපිටම අවස්ථාවක් දෙනවා. කොළ කැබැල්ලක් අරගෙන අපි ලියනවා “අද මගෙ සාමකාමී දවස’, හරිම සරලයි. මනස සහ අත එකට එකතු වෙනකොට ඔබ සතිය ප්‍රගුණ කරන්නේ. ඔබ ඒක නැවත නැවත කියවනකොට තමන්ගේ ඇස සහ මනස එකතු වෙනවා. එතනත් සතිය ප්‍රගුණ වෙනවා. දැන් එය හඬ නගා කියන්න. “අද මගේ සාමකාමී දවස” ඉතින් සිතන්න, ඒ විදිහට මේ රටේ සහ මේ ලෝකයේ ඉන්න සියලු‍ම දෙනා කිව්වා නම්; මොන වගේ දෙයක් වෙයි ද? අපි දැනටමත් විශ්වයට වෛරය, ක්‍රෝධය, හීනමානය, ලෝභය වගේ වෛරී සහගත දේවල් පතුරැවල තියනවා. දෙන දේවල් තමයි නැවත පැමිණෙන්නේ. ඒක තමයි අපි ව්‍යසන ගොඩකට මුහුණ දීල තියෙන්නෙ.ඉතින් අපි ඒ වගේ දේවල් වෙනුවට කරුණාව, ප්‍රේමය සහ අනුකම්පාව වගේ දේවල් විශ්වයට ලබා දෙමු. එවිට විශ්වය අපිට නැවත දෙන්නේ සතුට සාමය. එවිට මේ ලෝකට ජීවත් වෙන්න වඩා හොඳ තැනක් බවට පත් වේවි. මේ සරල පණිවිඩය ප්‍රගුණ කරන එකෙන් විශ්වය පුරාම සාමය ඇති වේවි. අපි මේ පණිවිඩය මනස තුළ තියාගෙන දවස පටන් ගත්තොත් ඒක මුළු දවස පුරාම අපිත් එක්කම ඉඳීවි.

වර්තමානයේ හැමෝම වගේ විශේෂයෙන්ම තරුණ ශිෂ්‍යයන් එයාලගෙ අධ්‍යාපන කටයුතුවලට Ai භාවිතා කරනවා. අපිට මේ Ai තාක්ෂණය සාමය ළඟා කරගන්න භාවිතා කළ හැකි ආකාරය කුමක් ද?

ඇතැම් අවස්ථාවල අපිට අපේ මතකයන් අපේ මනස අමතක වෙනවා. ඒ අපි තාක්ෂණය මත යැපෙන තත්ත්වයට පත් වෙලා තියෙන නිසා. වර්තමානයේ බොහෝමයක් සිසුන් ඉතාම සරල රචනාවක් ලියන්න, ඊමේල් එකක් ලියන්න භාවිත කරන්නෙත් Ai. මේ නිසා මොකක් ද වෙන්නේ? අපිට ඉස්සර මනසින් ගණන් හදන්න පුළු‍වන්. නමුත් වර්තමානයේ අපි මනස භාවිත කරන්නේ නැහැ. අපි භාවිතා කරන්නේ Ai. අපි Ai භාවිත කරල ඒ ප්‍රශ්න විසඳලා දෙන්න කියනවා. ඉතින් අපි මේක දිගටම කරගෙන ගියොත් මොකක් ද සිදු වන්නේ? අපි අපි නොවෙන්න පටන් ගන්නවා. අපි රොබෝවරු වෙනවා.

වර්තමානයේ සමහරු අන්තර්ජාලයට ගිහින් Ai වලින් අහනවා “මම මේකට මොකක් ද කරන්න ඔනේ? මම මේක ගැන හිතන්න ඕන කොහොම ද?” කියල. ඇයි අපි Ai වලින් අහන්නේ? Ai වලට අපි වෙනුවෙන් ආහාර ගන්න බැහැ. Ai වලට අපි වෙනුවෙන් හුස්ම ගන්න බැහැ. ඉතින් අපිට Ai තාක්ෂණයේ භාවිතයන් කළමනාකරණය කරගන්න පුළු‍වන් නම්; අපි ආරක්ෂිතයි. නමුත් අපි ඒක මත යැපිල, ඒක අවභාවිත කළොත් ඒකෙන් අපේ ජීවිත විනාශ වෙනවා. හැම වෙලේම ප්‍රශ්නයක් විසඳන්න පළමුව මනස භාවිත කරන්න. ඔබ හෙම්බත් වෙනකං, ඔබට තව තොරතුරු ප්‍රභව නැති වෙනකං මනස භාවිත කරන්න. එයින් පිළිතුරු හම්බවුණේ නැත්නම් පමණක් Ai වලින් උදව් ගන්න.

ඔබ සෑමවිටම මනසින් ප්‍රශ්න කරන්න. Ai  කොතරම් සුන්දර වුණත් ඔබ භාවිත කරන්න ඕනේ මනස. Ai කියන්නේ මෙවලම් විතරයි. අපි ඒ මෙවලම් නිසි ආකාරයෙන් පරිහරණය කළේ නැතිනම්, අපි අපිටම හානි කරගන්නවා. ඒක හරියට පිහියක් අල්ලාගෙන ඉන්නවා වගේ. ඔබ බුද්ධිමත් නම් ඔබ දන්නවා පිහිය මුවහත් කියල. හැබැයි ඔබ සතිමත් නැතිනම්, බුද්ධිමත් නැති නම් ඔබ ඔබේ සම කපාගන්න පුළු‍වන්. ඔබේ ඇඟිලි කපාගන්න පුළු‍වන්. ඔබේ කන්, මේ ශරීරයේ තියෙන ඕනෑම දෙයක් කපාගන්න පුළු‍වන්. ඒ වගේම ඔබට වෙන කෙනෙකුට හානි කරන්නත් පුළු‍වන්. ඉතින් අපි පිහියක් අල්ලාගෙන ඉන්නකොට අපි සතිමත් වෙන්න ඕනෙ. බුද්ධිමත් වෙන්නත් ඕනේ. Ai තාක්ෂණය කියන්නේ ඔබ දැන් ඒ අල්ලාගෙන ඉන්න පිහියට. ඉතින් ඔබ වැඩිපුර ප්‍රවේසම් වෙන්න. ඒක නිවැරදිව භාවිත කරන්න. ඔබට අවශ්‍ය වෙලාවට භාවිත කරන්න. ඒක ඉතාම වැදගත්.  Ai වලින් උදව් ගන්න කලින් මනසෙන් ප්‍රශ්න කරන්න. එහෙම කළොත් ඔබට හානියක් වෙන්නේ නැහැ.

ස්වාමීන්වහන්සේගේ අවසාන පණිවිඩය

“අද දවස අපේ සාමකාමී දවස වේවි” ඒක ප්‍රගුණ කරන්න, ඇත්තටම අද අපි ගොඩක් දේවල් කතා කළා. අපි ඒ කතා කරපු දේවල් ක්‍රියාත්මක කරන්න. ඔබේ කාලය නාස්ති කරන්න එපා. අපිට මේ ලෝකය තුළ ගොඩක් කාලය සහ ශක්තිය ගොඩක් ඉතුරු වෙලා නෑ. ඉතින් අපි මේ ලෝකෙන් නික්මෙන්න කලින් ඔබේ මනුෂ්‍ය ජීවිතය පාවිච්චි කරන්න.  අපි දන්නේ නැහැ අපි නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබාගනී ද කියල. ඒ නිසා සතිය ප්‍රගුණ කරන්න. හැමදාම “අද දවස මගේ සාමකාමී දවස” කියන පාඨය කියවන්න. ඉතින් බොහොම ස්තූතියි, සියලු‍ සත්ත්වයන් සුවපත් වෙත්වා! සාමකාමී වෙත්වා! බුදුදහම ප්‍රගුණ කරන්නට හොඳ ගුරුවරුන් ලැබේවා! දුකින් අත් මිදේවා! නමෝ බුද්ධාය.

පරිවර්තනය-අංජුන ලියනආරච්චි
විශේෂ ස්තූතිය-නිවුස් ෆර්ස්ට්