උපුල් වික්‍රමසිංහ

මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බව ද මන්ත්‍රීවරයා කීවේ ය.

මහ භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවන ලද ඩොලර් මිලියන 2.5 ක මුදලක් පරිගණක හැකරුන් කණ්ඩායමක් විසින් අත්පත් කරගනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂ හා වෙනත් කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙන ඉල්ලීම සම්බන්ධ රජයේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේ හෙතෙම මේ බව සඳහන් කළේය. 

ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ඉල්ලීම් නොකරන්නේ දැයි කළ විමසුමට පිළිතුරු වශයෙන් ජාජබ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීම් ඉදිරිපත් ව නැති බවය.