නිරෝෂාන් ප්‍රේමරත්න

කල් ගන්නේ නැතිව හැකි නම් පළාත් සභා ඡන්දය දැන්ම පවත්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායට අභියෝග කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැයි 01දා මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවති සජබ මැයි රැලියේදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ නායකයා සජිත් මෙසේද පැවසීය.

“අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය භාණ්ඩාගාරය, විදුලිය, අධ්‍යාපනය, වරාය යන ආයතන සියල්ල අනාරක්ෂිත කරලා. විනාශ කරලා. අධ්‍යාපනය විනාශ කළා, අධ්‍යාපනයට අසභ්‍ය වීඩියෝ ඇතුළත් කරලා. අදටත් කවුරුත් වගකීම භාරඅරගෙන නැහැ. වරායේ ආරක්ෂාවට ගැහැව්වා, කන්ටේනර් පන්නලා. ඒකේ වගකීම කවුරුත් භාරගන්නේ නෑ.

ගල් අඟුරු හොරකම් කළා. බාල ගල් අඟුරු යොදවලා. අදටත් ඒකේ වගකීම කවුරුත් භාරඅරගෙන නෑ.

අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් අද හොරා කාලා තියෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් භාර අරගෙන නෑ. මේක වැඩ බැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්න ඕනැ නෑ. හොරු අල්ලනවා කිව්ව ආණ්ඩුව අද හොරු හදනවා. අලුතින් හොරු නිර්මාණය කරනවා. සමගි ජන බලවේගයේ අපේ සන්ධානය නොසිටින්න අදටත් පාසල් ළමයි අසභ්‍ය වීඩියෝ බලනවා. සමගි ජන බලවේගය නොසිටින්න අදටත් වරායෙන් කන්ටේනර් පන්නනවා.

සමගි ජන බලවේගය නොසිටින්න අදටත් විදුලි බල ඇමති ඒ පුටුවේ ඉදගෙන ඒ බාල ගල්අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

සමගි ජන බලවේගය, සමගි ජන සංධානය නොසිටින්න අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණන් හොරකම් කරනවා. අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න චෞර වළල්ලක් නිර්මාණය වෙලාලු. රට විනාශ කරන්න කාටල් එකක් නිර්මාණය වෙලාලු. හැබැයි මිත්‍රවරුනි ඔක්කොටම වඩා භයංකාරයි පැළවත්තේ පච වළල්ල. ඒ වළල්ල තමයි අලුත් හොරු නිර්මාණය කරන්නේ. අලුත් හොරුන් පුහුණු කරන්නේ.

අපේ රටට අවශ්‍ය අලුත් රංගන නෙවෙයි. අලුත් සෝබන නෙවෙයි.  ජනතාවට අවශ්‍ය විසඳුම්. අපි සූදානම් ඒ උත්තර සපයන්න.

දිට්වා සුළිකුණාටුවෙන් වහලයේ තිබුණු ටකරම අහිමි වූ අය රුපියල් ලක්ෂ 10 බලාගෙන ඉල්ලනවා. ඉඩම් නිවස අහිමි වූ අයට දෙනවා කියූ රුපියල් කෝටිය බලාගෙන ඉන්නවා. දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වූ අය අමතක කරන දේශපාලන සංස්කෘතියක් අද රටේ තිබෙන්නේ.

අපි ඉතාමත් සතුටුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ මැයි රැලියට සුබපැතුම් පණිවිඩයක් එක්කළා. එතුමා යෝජනා කරලා තියෙනවා එකට වැඩ  කරන්න කමිටුවක් අවශ්‍යි කියා. මම එතුමාට කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ල එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නෙ. සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුළුවන බොහොම සුළු පිරිසක් ඉන්නවා. අපි ඒ කඩාකප්පල්කාරීන්ට, කුමන්ත්‍රණකරුවන්ට ඉඩතබන්නේ නෑ.”