‘කුසගින්න’ යනු සියලුම සත්වයන්ට පොදු වූවකි. එහෙත් මිහිපිට වෙසෙන කිසිදු සත්වයකුට නොමැති ආහාර පිළිවෙලක් මිනිස් වර්ගයාට ඇත. ඔවුන්ට ආහාර ගැනීමට වෙලාවක් ඇත. දිනකට ප්‍රධාන ආහාර වේල් තුනකින් සප්පායම් වීමට පුරුදුව සිටි අයකුට ඉන් එක වේලක් මඟ හැරී ගියහොත් ඇතිවන්නේ බඩේගින්දරයි. එය වේල් දෙක තුනක් මග හැරී ගිය අවස්ථාවක ඇති වන සාගින්දර තත්ත්වය අද ​ෙවන විට මනුෂ්‍ය වර්ගයා සාමූහිකව ජයගත යුතු අභියෝගයක් බවට පත්වී ඇත. එය සමස්ත ලෝක ප්‍රජාවටම මුහුණ දීමට සිදුව ඇති කරුණකි. එය එසේ සිදුවෙද්දී රටක අනාගතය භාරගැනීමට සිටින මල් සම දරුවෝ මේ සාගින්නට හසුවී මන්දපෝෂණයට ගොදුරුව සිටිත් නම්?   

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ පවුල් 10න් 8ක් ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුවී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි. ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන අන්දමට ලංකාවේ ජනගහනයෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර අවම වශයෙන් මිනිසුන් 66,000ක් පමණ දරුණු ලෙස එම තත්ත්වයට මුහුණ දී ඇත.   
එමෙන්ම, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් අගෝස්තු මාසයට අදාළව නිකුත් කරන ලද උද්ධමන වාර්තා අනුව මෙරට උද්ධමනය 70% සීමාව ඉක්මවා ඇති බවත්, ආහාර උද්ධමනය 84.6% ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති බවත් සඳහන් වෙයි. ශ්‍රී ලංකාවේ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව සකස් කෙරෙන මෙම උද්ධමන වාර්තා පසුගිය ජූලි මාසයේදී 66.7%ක් වූ අතර ඉහළ ගොස් ඇත්තේ 70.2% කිනි. ආහාර උද්ධමනය ඉකුත් ජූලි මාසයේදී 82.5%ක් වූ අතර එය 84.6%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තා වලින් දක්වා තිබේ.   


දත්ත සහ නිර්නායක තුළින් අපේ රටට සිදුවෙන්නට යන මහා අභ්‍යාග්‍ය සම්පන්න කාලය ගැන දෙස් විදෙස් වාර්තා පෙන්වා දෙමින් යන මෙවන් අවස්ථාවක, රටතුළ පවතින ආහාර හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය 60%කින් පමණ අඩු කර ඇතැයි දත්ත මගින් තහවුරු වන බව ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා ද ප්‍රකාශ කර ඇත. රටේ පවතින ආහාර අර්බුදයට රජයේ නිලධාරීන් ද අර්ධ වශයෙන් වගකිවයුතු බවද ඒ මහතා සඳහන් කළ කරුණකි.   


එය එසේ සිදුවෙද්දී, මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ඉකුත් සති කිහිපය තුළදී විවිධ කතිකා මතුවිය. මේ රටේ සමස්ත තීන්දු තීරණ ගන්නා උත්තරීතර පාර්ලිමේන්තුව තුළද ඉකුත් දා මේ සම්බන්ධයෙන් දෙදිනක් පුරා විවාද පැවැත්වීය. එහෙත් එදින මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිවයුතු ඇමැතිවරයෙක් සභාගර්භගේ රැඳී සිටියේද නැත. එය කෙතරම් අභාග්‍යයක්ද? රටක පාලකයන් එසේ වූයේ නම් රටක වැදගත් තීන්දු තීරණ ගන්නේ කෙසේද?   
ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලොව 6 වැනි තැනට මෙන්ම දකුණු ආසියාවේ 2 වැනි තැනට පත්වූ බව යුනිසෙෆ් සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් “යුනිසෙෆ්”‍ ආයතනය යනු, ලොවපුරා දරුවන්ගේ සුබසාධනය පිළිබඳ පර්‌යේෂණ සිදු කරමින් දරුවන්ගේ උන්නතිය උදෙසා ක්‍රියා කරන ප්‍රමුඛතම ගෝලීය සංවිධානයයි. ලොව පුරා සමීක්ෂණවලින් ලබාගන්නා දත්ත මගින් ලොවේ දරුවන්ගේ සුබසාධනය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම යුනිසෙෆ් ආයතනයේ මුඛ්‍ය කාර්යයි.   
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේ යුනිසෙෆ් ආයතනය යොදා ගෙන ඇති දත්ත පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඔවුන් එක් එක් රටවල් සඳහා විවිධ වසරවල (1995 සිට 2019 දක්වා) කාල පරාසය තුළ සිදු කර ඇති සමීක්ෂණවල දත්ත සංසන්දනය කර සහ ශ්‍රී ලංකාව සඳහා 2016 වසරේ කරන ලද ජනවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත මත පදනම්ව, මෙම වාර්තා සකස් කර ඇති බවත්ය.   


කෙසේ වෙතත් 2021 අගභාගයේ වෛද්‍ය පර්‌යේෂණ ආයතය මගින් සිදු කරන ලද ජාතික මට්ටමේ සමීක්ෂණයට අනුව දරුවන්ගේ කෘෂ බව සියයට 13.2 දක්වා අඩු වී ඇති බවත් එය වර්තමානය වන විට 12.1 දක්වා අඩු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මෙහිදී සඳහන් කළේය. වෙනත් රටවල මෙන් නොව කෘෂ බව සමග දරුවන් මරණයට පත්වීමේ සහ රෝගවලට බඳුන්වීමේ අවදානමක් මෙරට දක්නට නොලැබෙන බවත් මැරමස්, ක්වොශියොකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන් ද අප රටේ දක්නට නොලැබෙන බවත් එහිදී ප්‍රකාශ විනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය එසේ වෙද්දී, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනාවරණය කළේ ළමා රෝහලට ඇතුළත් කරන බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.   


මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළිවූ කරුණු අනුව කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සිසුවකු බත්වලට මිරිස්කුඩු ඉසගෙන විත් කෑමට ගන්නා අයුරු තවත් සිසුන් දැක ගුරුවරුන්ට දැනුම් දී ඇති පුවතක් ද අසන්නට ලැබිණ. ඇතැම් පාසල්වල දරුවන්ට ගෙදරින් එවන ආහාර සහිත කෑම පෙට්ටිය විවේක කාලයේදී ඔවුන්ගේ පාසල් බෑග්වලින් අතුරුදන්වීමේ පුවත් ද අප කළ සොයා බැලීම්වලදී වාර්තා විය. ඇතැම් පාසල්වල ගුරුවරුන් අමතර කෑම පාර්සල් ඔතාගෙන විත් පාසලේ යම් ස්ථානයක තබා යන බවත් දරුවන් පැමිණ ඒවා රැගෙන යන අතර කෑම පාර්සල් රැගෙන යන දරුවන් කවුරුන්දැයි අනන්‍යතාව හෝ තහවුරු නොවන බවත් අප කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.   
මේ ඇතැම් සිදුවීම් වාර්තා වීමත් සමගම ඉකුත් 21 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී සැර කතාවක් කරමින් ප්‍රකාශ කර තිබුණේ රටේ මන්දපෝෂණය සහ ආහාර හිඟය මාධ්‍ය වාර්තා කරන මට්ටමට නොමැති බවත් යම් යම් හුදකලා සිදුවීම් රටට ආදේශ කිරීම නින්දිත දේශපාලනයක් සිදුකරන බවත්ය. ඒ ඉකුත් 21 වැනිදාය. ඊට පසුදින එනම් 22 වැනිදා ද පාර්ලිමේන්තුවේ මේ මන්දපෝෂණ කතාවම දිග ඇරුණේය. එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. සරත් කුමාරසිරි මහතා පැවසුවේ අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් තුනක දරුවන් විසි දෙනකු උදේ ආහාරය නොමැතිව ඉකුත් 21 වැනිදා සිහිසුන්ව ඇද වැටී ඇති බවයි. විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධාර්ථ මහා විද්‍යාලයේත්, කිඹුලාව ගාමිණී මහා විද්‍යාලයේත්, කිඹුලාව ආනන්ද විද්‍යාලයේත් දරුවන් මෙසේ හාමතේ ඇද වැටී ඇති බවත්, එම දරුවන් අහිංසක අසරණ ගොවි පවුල්වල දරුවන් බවත් කුමාරසිරි මහතා සඳහන් කළේය.   


මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් ද දැනුවත් බවත් මේ කරුණු සම්බන්ධයෙන් සුළුවෙන් නොතකා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ මිනුවන්ගොඩ පාසලක දරුවෙක් කුරුම්බා ලොඳ රැගෙන පැමිණි බව කියන සිද්ධිය සාහසික බොරුවක් බවත් එවැන්නක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනියගෙන් ද තමා විමසීමක් කළ බවත්ය.   


මෙහිදී අමාත්‍යවරයා අදාළ විදුහලේ විදුහල්පතිනියගේ හඬ පටයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී කතානායකවරයා එම ක්‍රියාව වහාම නවත්වා අමාත්‍යවරයාට අවවාද කරමින් ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ කතා කළ හැක්කේ මන්ත්‍රීවරුන්ට පමණක් බවය.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද එදින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ රටේ දරුවන්ට මන්දපෝෂණය ඇති බවට පිළිගත යුතු බවත් උද්දච්ච මානසිකත්වයෙන් මිදී ඇත්ත තේරුම්ගෙන කටයුතු කිරීම මේ අවස්ථාවේදී සිදුකළ යුතු හොඳම දෙය බවත්ය. ඩලස් අලහප්පෙරුම මහතා ද නැගී සිටිමින් ප්‍රකාශ කළේ මේ රටේ ලක්ෂ 11ක දරුවන්ට දිවා ආහාරය ලබාදුන් නමුත් වසර දෙකක් තිස්සේ එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් දරුවන් හාමතේ බවත්ය. මේ සත්‍යතාව පිළිගෙන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.   


මෙරට ගැබිනි කාන්තාවන්ට මෙන්ම ළදරුවන්ටත් කිරිදෙන මව්වරුන්ටත් රජයෙන් ලබා දෙන අතිරේක පෝෂ්‍යදායී ආහාරයක් වන ‘ත්‍රිපෝෂ’ පැකැට් පිළිබඳවද ඉකුත් දින කිහිපය තුළදී සමාජයේ කතිකාවතක් මතුව ආවේ එහි පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගුව ඇතැයි සඳහන් වූ හෙයිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ, ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය     අන්තර්ගතව ඇති බවකි. අගෝස්තු මාසයේ මහජන පරීක්ෂකවරුන් විසින් ලබාගනු ලැබූ ත්‍රිපෝෂ සාම්පල් 08 ක් රජයේ රස පරීක්ෂකට යොමුකර ලබාගත් වාර්තාව අනුව එම ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් අධි මාත්‍රාවෙන් අන්තර්ගත වී ඇති බව තහවුරු වූ බැවින් තමන් එම ප්‍රකාශය සිදුකළ බව උපුල් රෝහණ මහතා සඳහන් කර තිබිණි.   


කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් කරමින් පැවසුවේ ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට කළ ප්‍රකාශය ජනතාව බිය ගන්වන නින්දාසහගත කුමන්ත්‍රණක් බවයි. එය එසේ සිදුවෙද්දී ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කර තිබුණේ මීට මාසයකට පමණ පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් ත්‍රිපෝෂ තොගයක් පරීක්ෂා කර ඇති බවත් එහිදී එම තොගයේ ඇෆ්ලටොක්සීන් අඩංගු බවට තහවුරු වූ බවකි. ඒ හේතුවෙන් ඒවා නැවත ඉවත් කර ගැනීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කර තිබිණි.   


ත්‍රිපෝෂ හැමෝටම ලැබෙන්නේ නැත. එහෙත් ඊට ආදේශක වශයෙන් මෙරට වෙළෙඳ පොළේ නොයෙකුත් ‘පෝෂ’ වර්ග දක්නට ලැබෙයි. ඒවා ලොකු කුඩා කවුරුත් රස කර කන්නේ රසයත් සමගම ඉක්මනින් බඩගින්න නිවෙන නිසාවෙනි. එහෙත් මේ කියනා පෝෂ වර්ගවල ද පිළිකාකාරක අඩංගුව ඇත්නම්?   


රටක අනාගතය දරුවන් ය. දරුවන් දරුණු ලෙස මන්දපෝෂණයට ගොදුරුවීමේ අවදානමක් මතුවීම රටක අනාගතයට සිදුවන විනාශයේ පෙරනිමිති නොවන්නේද? එය ඉක්මනින් විසඳා ගත යුතු ගැටලුවකි. පර්‌යේෂණ සිදුකරමින් යථාර්ථය අවබෝධකරගත් සේම පරස්පර දත්ත මත සිටිමින් එකිනෙකා විවේචනය කරගනිමින් බලධාරීන් කටයුතු කිරීම සුබදායකද?   


පණිවිඩකරුවාට වෙඩි තැබීම හෝ මාධ්‍යයට තොරතුරු සපයන්නන් පසුපස හඹා නොගොස් සත්‍යයට මුහුණ දීම බලධාරීන් දැන් කළ යුත්තකි. කුසගින්නට පිළියම නම්, මාධ්‍යයට තොරතුරු දුන් නිලධාරීන් පසුපස පන්නමින් නීතිය ක්‍රියාත්මක කරන බවට තර්ජනය කිරීම යැයි බලධාරීන් සිතන්නේ ද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටපයක් සහ තවත් බින්දුවක් සොයමින් සිටිනවාට වඩා බලධාරීන්ට කළ යුතු බොහෝ දේ වෙයි. පටන් ගත යුත්තේ දරුවන්ගේ කුසගින්නට පිළියම් සොයමිනි. තවත් ප්‍රමාද නැත. හෙට දවසේ රටක් භාරගැනීමට සිටින පුංචි එවුන්ට කුසට අහරක් ලබාදීමට ඒ නිලධාරීන් අධිටන් කර ගන්නේ නම් මේ පුංචි රට කෙතරම් සුන්දර තැනක් වේවිද?

 

 

සටහන
නිමන්ති රණසිංහ