බදු ගෙවීමේ ජාතික වගකීම


රටේ පළමු පුරවැසියා වශයෙන් බදු වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබාදෙමින් ජනාධිපතිවරයා විසින් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තාව මාර්ගගත ක්‍රමයට බදු සතිය ආරම්භයේදීම ලබාදෙන ලදී. එමනිසා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කළ යුතු සියලුම පුද්ගලයන් සහ ආයතන ද තම තමන්ගේ වාර්තා මේ වසරේ නොවැම්බර් 30 හෝ එදිනට පෙර භාරදී බදු සදහා අනුකුලතාවය දැක්විය යුතුය.

ප්‍රතිපත්ති සම්පාදකයන්, බදු ගෙවන්නන්, බදු පරිපාලනය කරන්නන් සහ බදු උපදේශකයන් වශයෙන් සෘජුවම බදුකරණයට සම්බන්ධ වන පිරිස් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කරන දිගුකාලින වැඩසටහනක් “බදු ශක්ති” යන තේමාව යටතේ ආරම්භ වී තිබේ. මේ කටයුත්තේ දී තම තමන්ට අදාළ කොටසේ වගකිම ඉටුකිරිමෙන් “ඔබ ගෙවන බදු ඔබ වෙනුවෙන්ම” යොදවා ගැනීමට හැකියාව ලැබේ. එම නිසා සැබවින්ම බදු අයකරන්නේ ඇයිද යන්නත් මෑතක සිට මහජනතාව අතර බදු පිළිබද ධානාත්මක ආකල්ප වර්ධනය වෙමින් පවතින බව පැවසීමටත් මේ සටහන තබමි.

කැමැතිවුවත් අකැමැතිවුවත් අධිකාරී බලයට යටත්ව ගෙවීමට සිදුවන අනිවාර්ය ගෙවීමක් වශයෙන් “බදු” හැදින්විය හැකිය. සෘජු ප්‍රතිලාභයකින් තොරව පුරවැසියන් සහ ආයතන විසින් ගෙවන බදු රජය විසින් මහජන සුබසාධනය සහ සංවර්ධන කටයුතු සදහා වැය කිරිමේ දී වක්‍ර ප්‍රතිලාභ ලැබේ. එබැවින් බදු ගෙවීම නීතිමය බැදීමක් වුවත් එමගින් සමස්ත සමාජයටම අත්වන වාසි පදනම් කර ගත් විට එය නීතිමය වගකීම ඉක්මවන යුතුකමක් වශයෙන් ද හදුනාගත යුතුය. එම නිසා ජාතියක් වශයෙන් එහි උන්නතිය වෙනුවෙන් සමූහිකව බදු ගෙවීමට යොමුවීම සුබදායක වේ.

කුමන බදු වර්ගයක් කුමන අනුපාත යටතේ අයකළත් ඒ කිසිවක් හිතුමතේ සිදුනොකරන අතර ලොව පිළිගත් බදු මූලධර්මවලට අනුගතව පමණක් අයකරනු ලැබේ. ශ්‍රී ලංකාවේ මුළු වාර්ෂික රාජ්‍ය ආදායමට බදු ගෙවන්නන් විසින් දළ වශයෙන් සියයට 90 ක් පමණ දායක කරන අතර රාජ්‍ය ආදායම එකතු කරගැනීම බදු අයකිරිමේ ප්‍රධනතම අරමුණ වේ. එහෙත් මෙයට අමතරව තවත් බොහෝ අරමුණු බදු හා සම්බන්ධ වේ. සමාජ පිරිවැයක් පවතින නිෂ්පාදන සහ පරිභෝජන පාලනය කිරිම එවන් එක් අරමුණක් වන අතර මත්පැන් හා දුම්වැටි සදහා අයකරන අධික බදු ඒ සදහා උදාහරණ වේ. තවද අඩු ආදායම්ලාභීන් වෙත සහන සැලසීම වෙනුවෙන් වැඩි වන අනුපාත යටතේ ඉහළ ආදායම් උපයන්නන්ගෙන් ආදායම් බදු අයකර ආදායම් බෙදීයාමේ විසමතාව අවම කිරීම ද අරමුණකි.

රට තුළ උද්ධමනය පාලනය මෙන්ම බාහිරින් පැමිණෙන අනවශ්‍ය ආනයන අධෙර්යවත් කර අපනයන දිරිගන්වා ගෙවුම් ශේෂ අසමතුලිතතා අවම කර ආර්ථික ස්ථායීතාවය පවත්වා ගෙන යාමත් බදු ප්‍රතිපත්තියේ තවත් අරමුණක් වේ. ආයෝජන දිරි ගැන්වීම, ඉතුරුම් ප්‍රවර්ධනය මගින් ප්‍රාග්ධනය වැඩි කිරිම, එමගින් ආර්ථික වර්ධනය ඉහළ නංවා සේවා නියුක්ති අවස්ථා වර්ධනය වෙනුවෙන් බදු සහන, බදු විරාම හා බදු නිදහස් කිරීම් පිරිනැමීම ද බදුකරණයේම අරමුණකි. එපමණක් නොව අධ්‍යාපන, සෞඛ්‍ය මෙන් නිදහස් සේවා මෙන්ම විවිධ යටිතල පහසුකම් සැපයීම සහ පවත්වාගෙන යාමට ද බදු මුදල් යොදා ගනී. එබැවින් මතුපිටින් දකින රාජ්‍ය ආදායම් උපයාගැනීමට අමතරව තවත් බොහෝ අරමුණු බදු අයකිරිම හා සම්බන්ධ වේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දී ආර්ථික වර්ධනයට සාපේක්ෂව ප්‍රමාණවත් බදු ආදායමක් රැස්කර ගත නොහැකි වී ඇත. ආර්ථිකය ප්‍රසාරණය වන විට බදු පදනම පුළුල් වන අතර බදු ගෙවිය හැකි පුද්ගලයන් හා ආයතන ද වර්ධනය වේ. එහෙත් ශ්‍රී ලංකාවේ අත්දැකිම් අනුව එවන් ප්‍රසාරණයක් සිදු වී නැත. එම නිසා දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු අයභාරය වර්ධනය නොවේ. උදාහරණ වශයෙන් 2015 දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 12.4 ක් වූ බදු අයභාරය 2020 දී සියයට 8.1 ක් දක්වාත්, 2022 දී සියයට 7.3 ක් දක්වාත් අඩු වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම වර්ධනය නොවීය. එහෙත් දිනෙන් දින රාජ්‍ය වියදම් ප්‍රසාරණය වු අතර එමගින් නිර්මාණය වූ අයවැය පරතරය පියවීමට ණය ගැනිමෙන් රාජ්‍ය ණය බර වර්ධනය විය. ඒ හා බැදුණ ආර්ථික ගැටලුත් එමගින් නිර්මාණය වූ සමාජීය හා දේශපාලන ගැටලුත් ජනතාව අත්දැකීමෙන්ම වටහා ගෙන ඇත. මේ තත්වය හමුවේ බදු අයභාරය සංකෝචනය කළ බදු ප්‍රතිපත්ති මෙන්ම බදු අනුකුලතා ගැටලුු ද විසදා ගැනීමට කටයතු යොදමින් පැවතීම ප්‍රශංසනීය වේ.

ඒ හා සමගාමීව බදු සම්බන්ධ ජනතාවගේ දරන ආකල්ප ද ක්‍රමයෙන් වෙනස් වන ප්‍රවනතාවක් පවතී. ඒ අනුව මේ වන විට වයස අවුරුදු 18 ඉක්මවන පුරවැසියන් ලබාගත යුතු “බදු ගෙවන්නා හදුනා ගැනීමේ අංකය (TIN) ලක්ෂ 100 ක් ඉක්මවන ගණනක් නිකුත් කිරිමට හැකියාව ලැබී ඇත. එමගින් පෙන්නුම් කරන්නේ බොහෝ පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධය ඇතිකර ගනිමින් සිටින බවකි. තවද 2024 වර්ෂය අවසන් වන විට රුපියල් බිලියන 2000 ට ආසන්න මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා භාණ්ඩාගාරයට වෙත යොමු කිරිමට සියලු ආකාරයේ බදු ගෙවන්නන් කටයුතු කර ඇත. එයට අමතරව ආදායම් බදු ඇතුළු විවිධ බදු වර්ග සදහා ලියාපදිංචි වී සිටින බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 15 කට ආසන්න වී ඇති අතර එය ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් පවතී. මේ අනුව මෑතක සිට බදු සදහා ජනතාවගේ අනුගත වීම ක්‍රමයෙන් වැඩි වන ප්‍රවනතාවක් පවතින අතර එය රට ට සුභදායක තත්වයකි.

බදු ගෙවන්නා හදුනා ගැනීමේ අංකය (TIN) ලබා ගත් සියලු දෙනාම බදු ගෙවිය යුතු නොවේ. එය වයස අවුරුදු 18 ඉක්මවන පුරවැසියන් විසින් සපුරාගතයුතු නීතිමය අවශ්‍යතාවකි. එහෙත් බදු ගෙවිය යුතු ආදායම් තිබෙන පුද්ගලයන් සහ ආයතන විසින් තමන් සුදුසුකම් ලබන බදු වර්ග සදහා වෙනමම ලියාපදිංචි විය යුතුය. උදාහරණයක් ලෙස ව්‍යාපාරයක් කරන පුද්ගලයකු තක්සේරු වර්ෂයක දී රුපියල් ලක්ෂ 18 ක් ඉක්මවන බදු අය කළ හැකි ආදායමක් තිබේ නම් පමණක් පුද්ගල ආදායම් බදු සදහා (IIT) වෙනම ලියාපදිංචි විය යුතුය.

බදු වර්ග සදහා ලියාපදිංචි වන බදු ගෙවන්නන් විසින් ඒ සදහා අදාළ වන වාර්තා නිවැරැදි ලෙස භාරදීම මෙන්ම නියමිත දිනවල දී නියමිත බද්ද ගෙවීම සදහාත් උනන්දු වන බවක් පෙනේ.

කෙසේ වෙතත් බදු සදහා අනුකුල නොවන යම් පිරිසක් ද නැතුවා නොවේ. ඒ සදහා විවිධ හේතු බලපෑ හැකි අතර යම් ගැටලුවක් පවතී නම් ඒ පිළිබදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ජා කර විසදාගැනීමට ද හැකියාව පවතී. බදු ගෙවන්නන් දැනුවත් කිරිමටත් ඔවුන්ට අවශ්‍ය උපකාරක සේවා සැපයීමටත් වෙනම ඒකක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර තිබේ. එයට අමතරව දිවයින පුරා තිබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල මගින් ද උපකාරක සේවා පවත්වනු ලැබේ. එම නිසා බදු ගෙවිය යුතු නම් බදු මගහැර යාමට වඩා එයට මුහුණ දී ගැටලු විසදාගෙන ඉදිරියට යාම බදු ගෙවන්නන්ට මෙන්ම නිලධාරින්ටද පහසුවක් මෙන්ම සහනයකි.

ඇතැම් බදු ගෙවන්නන් විසින් ගෙවිය යුතු නියමිත බදු ප්‍රමාණය නොගෙවිමෙන් හිඟ බදු නිර්මාණය වේ. එලෙස පවතින හිගබදුවල යම් වර්ධනයක් පවතින අතර 2024 වසර ආරම්භ වන විට තවදුරටත් අය කළ හැකි හිඟ බදු ප්‍රමාණය රුපියල් මිලියන 108,961ක් විය. මේ හිඟ බදු වෙනුවෙන් රුපියල් මිලියන 79,798 ක් දණ්ඩන ද පනවා ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ නියමිත දිනට බදු නොගෙවිම නිසා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන බවය. එබැවින් දඩ ගෙවීමකින් තොරව බදු පමණක් ගෙවා බදු පිරිවැය අවම කර ගැනීම වාසිදායක වේ.

මෙයට අමතරව අනුකූල නොවීම මත අනුගමනය කරන නීතිමය පියවර අතර බැංකු ගිණුම් තහනම් කිරිම සහ නඩු පැවරීම් ප්‍රධාන වේ. බදු සදහා අනුකූල නොවිමේ ඇතැම් වැරැදි සදහා අපරාධමය චෝදනා යටතේ නඩු පැවරිම් සිදුවන අතර එවන් තත්ව තුළ ඇතිවන අපහසුතා පිළිබද අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මහේස්ත්‍රාත් අධිකරණ, මහාධිකරණ, අභියාචනාධීකරණ සහ ශ්‍රේෂ්ඨාධීකරණයේ මේ වන විට 1409 ක් පමණ වන නඩු ගණනක් විභාග වෙමින් පවතී. එමගින් ලැබෙන තීන්දු අනුව දඩ සමග බදු ගෙවීමට සිදුවීම මෙන්ම සිරදඩුවම් ද හිමිවිය හැකිය. යම් බද්දක් නොගෙවා සිටීම වෙනුවෙන් සිර දඩුවම් විඳ අවසන් කළත් අදාළ බදු වගකීම අවසන් නොවේ. කෙදිනක හෝ බන්ධනාගාරයෙන් පිටවූ පසුවත් යළි අදාළ බදු ගෙවිය යුතු වේ. එම නිසා බන්ධනාගාර ගතවීම හිඟ බදු සදහා හිලව් වීමක් නොවන බව ද අවබෝධ කර ගත යුතුය.

සමස්තයක් ලෙස ඉහළ යන රජයේ වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් බදු අයභාරයක් නොමැති නම් එමගින් නිර්මාණය වන අයවැය හිඟය පියවීමට නිරන්තරව ණය ගැනීමට සිදුවන අතර එමගින් රජයේ කාර්යයන් නිසිපරිදි ඉටුකළ නොහැකි වේ. එවිට “සතුටින් සිටින ශ්‍රී ලාංකීය ජාතියක්” ගොඩනගා ගැනීමේ දිගුකාලීන අරමුණු ඉටු නොවන අතර රටේ සංවර්ධනය ද අඩාළ වේ. එබැවින්, බදු ගෙවිය හැකි සහ ගෙවිය යුතු සියලු දෙනාම අනුකූලතාවක් දක්වමින් බදු ගෙවා ජාතික උන්නතියට දායකවීම යුතුකමක් සේ සලකමු. බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවන අවස්ථාවක දී දැනට දරන බදු බර ද අඩු කිරිමේ හැකියාව නිර්මාණය වේ. තවද ඔබ ගෙවන බදු සුරක්ෂිත කර නැවත ඔබ වෙනුවෙන්ම වැය කරන බවට දැනටමත් රජය සහතික වී තිබෙන බැවින් ගෙවිය යුතු බදු ගෙවා රට වෙනුවෙන් වගකීම ඉක්මවන යුතුකමක් ඉටුකරමු. “ඔබ ගෙවන බදු ඔබ සදහාම වේ”.

(***)