
ශ්‍රී ලංකාවේ රථවාහන වෙළෙඳාම සැලකිය යුතු අර්බුදයකට තල්ලු වෙමින් පවතී. ගෙන්වන ලද වාහන ඉක්මනින් විකිණෙන්නේ නැත. ආනයන සීමා ලිහිල් කළ වහාම ජන සමාජයෙහි අලුත් පිබිදීමක් ඇතිවිය. ඉකුත් ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දී ප්‍රකාශ වූ අදහස් සලකා බලන විට එම “බලාපොරොත්තුව” සෑම ස්තරයකටම විහි දී තිබුණ බව රහසක් නොවේ. වාහන ගෙන්වන තීරණය, පළමු වාහන නැව පැමිණීම හා අද වන විට පැන නැගී ඇති ස්වභාවය හේතුකොටගෙන අලුත් අර්බුදයක් නිර්මාණය කර ඇත. ආර්ථිකය හසුරුවන විශේෂඥයෝ නැවතත් පාඩමක් ඉගෙනගනිමින් සිටිති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාහන ගෙන්වන අවසරය නිකුත් කිරීමේ තීරණය පිටුපස සිටියේය. වාහන ආනයනය සමග භාණ්ඩාගාරයට ලැබෙන ආදායම ගැන ඔවුන්ට තක්සේරුවක් තිබුණි. වාහන ගෙන්වීමට ඉඩ දෙන අතර එයින් ලැබෙන බදුවලින් අභ්‍යන්තර පිරිවැය කළමනාකරණය කරගත හැකි බව අනුර දිසානායක ආණ්ඩුවට පමණක් නොව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ද යෝජනා කරමින් සිටියේය. වත්මන් ආණ්ඩුව, 2025 අය වැය ඉදිරිපත් කිරීමටත් පෙර වාහන ආනයනයට ඉඩ දෙන අදහස ප්‍රකාශයට පත්කළ අතර එය මහත් වාසි සහගත තැනකට ආර්ථිකය පත්වීමේ සලකුණක් බව අඟවන ලද බව මතක් කළ යුතුය.
අත දිග නැති මානයේ විකසිත වූ වාහන මාදිලි
අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය මඟ හැරීම සඳහා වහාම ආනයනය හා සමානව රථ වාහන ආනයනය ප්‍රතිපලදායක නැත. වෙළෙඳ පොළේ නොතිබුණ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ ගෙන්වූ පසු ඉක්මනින් විකුණාගත හැකිවේ. වාහනයක් මිල දී ගැනීම සිල්ලර වෙළෙඳාමක් නොවේ. සංකීර්ණ කටයුත්තකි. ආර්ථික අර්බුදයකට පසු පැවැත්ම පහතට වැටුණ රටක ස්වභාවය සලකා බලන පසු අලුත් වාහනයක් මිල දී ගැනීමට කලින් වත්කම් ගොඩනගා ගැනීමට සිදුවේ. ආදායම සහ මුදල් යොදවන පැති ගැන තක්සේරුවකට යා යුතුය. විවිධ ජන කොටස් ආදායම එකතු කරගනිමින් සිටියේය. අලුතින් ගෙන්වන වාහනවල වටිනාකම හා අය කරන අධික බදු ප්‍රතිශත ගණන් බැලූ පසු මිල දී ගැනීමේ හැකියාව තවත් වටයකින් අඩු විය. දැන් වාහන අධිසැපයුමක් පවතින බව පෙනේ. විවිධ මාදිලිවලින් වෙනස් රටවලින් ආනයනය කරන ලද අලුත්ම වාහන විශාල ප්‍රමාණයකි. වෙළෙඳපොළ කැලඹෙන අතර තවත් ඉවසිල්ලකින් බලාසිටීම පාරිභෝගික ක්‍රමවේදය බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ගෙන්වන ලද වාහන මිල අඩුවෙමින් පවතින බව ප්‍රකාශවීම එකී සිද්ධාන්ත තහවුරු කිරීමක් බව පැහැදිලිය.
ලියාපදිංචි නොකළ වාහනයක මිල ලක්ෂ පහළොවක් දක්වා ප්‍රමාණයකින් අඩු වී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වාහන මිල දී ගැනීමට සිටි ඇතැම් පිරිස් තීරණය ප්‍රමාද කර ඇති අතර එය අලෙවිය අඩුවීමට බලපා ඇති බව ද දක්වා තිබේ. පාවිච්චි කළ වාහන සම්බන්ධ මිල මෙතෙක් ඉහළ තැනෙක තිබුණ අතර ලියා පදිංචි වාහනවල මිල අඩුවීම සමග පැරණි වාහනවල මිල ද අඩුවිය යුතු බව ආනයනකරුවන්ගේ තර්කයක් වී ඇත.
දැවැන්ත බදු ආදායමක් සඳහා උගුලක් ආණ්ඩුව විසින් අටවන ලද බව සඳහන් කළ යුතුය. අලුත් වාහන අලෙවියෙන් ලැබෙන බදු ආදායම ගැන ගණන් හදමින් සිටිනු ද පෙනිණ. වාහන අලෙවිය මගින් පසුගිය අලාභ මඟහැර ගැනීමට ආනයනකරුවෝ ද සූදානම් වූහ. ආණ්ඩුවේ උගුලට ආනයනකරුවෝ හසු වී සිටිති. වෙළෙඳාම ඉක්මන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද වහාම හඳුන්වාදීම ඉදිරියේ දී සිදුවිය හැකිය.
නිපදවන සමාගම්වලටත් වඩා ආදායමක්
රථ වාහන නිෂ්පාදන කර්මාන්තය ඉතා තරගකාරීය. ටොයෝටා, රෙනෝලට්, නිසාන්, ඉසුසු, කියා, වොක්ස්වාගන් ඇතුළු කම්හල් නිෂ්පාදන මාදිලි අත්හරිමින් සිටී. එන්ජින් මාදිලි වෙනුවට අලුත් තාක්ෂණයක් සහිත බැටරි බලයෙන් ධාවනය කළ හැකි ආකාර නිකුත් වේ. ඒවායේ පහසුකම් හා අඩු මිල ගණන් හේතු කොටගෙන මෝටර් රථ වෙළෙඳාමේ පරිවර්තනයක් සිදු වී ඇත. අවුරුදු පහක කාලයක් තිස්සේ ජාත්‍යන්තරයේ සිදු වූ වෙනස්කම් මෙරට පර්‌යේෂකයන්ගේ අවධානයට ගැනුණේ නැත. පිටරටින් ගෙන්වා විකිණීම සමග නිෂ්පාදකයන්ටත් වඩා ලාභ තීරු තබාගැනීමට වෑයම් කිරීම බරපතළ වැරදීමක් බව දැනට ප්‍රකාශ වෙමින් පවතී.
වාහනයක වටිනාකම මෙන් තුන්සියයක් දක්වා ප්‍රතිශතයකින් බදු අය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ කෙසේ ද? එවැනි අධික බදු ගෙවා ගෙන්වන වාහන සඳහා ලක්ෂ පහළොවක් දක්වා මිල අඩු කළ හැකි බව ආනයනකරුවන් ප්‍රකාශ කිරීමෙහි සැඟවී ඇති කරුණ කුමක්ද? වාහන ගෙන්වීමෙන් පසු දින අනූවක් තුළ ලියා පදිචි නොකළ හොත් වාහනයක ආනයන වටිනාකමින් සියයට පහක දඩයක් මාසිකව පැනැවීම සුදුසු තත්ත්වයක්ද? එයට අනුව ආනයනය වටිනාකමෙන් සියයට 45 ක් දක්වා දඩ නියම කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අධික බදුවලට අමතරව දඩ ද ගෙවන ආනයනකරුවන්ට ලාභ අඩුකර වාහන විකුණන තීරණයකට තල්ලුවීමට සිදු වී ඇත.
රුපියල් ට්‍රිලියනය ඉක්මවන ණය බුබුළක්
වාහන මිල දී ගන්නා අය එහි පිරි වැය දරාගත යුතුය. වියදම සඳහා ණය හෝ ලීසිං පහසුකම් ලබාගැනීමට සිදුවේ. මහ බැංකුව ප්‍රකාශ කර ඇති පරිදි වසරේ පළමු මාස හය තුළ වාණිජ බැංකු හා මුල්‍යායතනවලින් නිකුත් කර ඇති ණයවලින් රුපියල් ට්‍රිලියන 1.16 ක් වාහන ණය බව දැක්වේ. එය 63.2 ක ප්‍රතිශතයකි. අවුරුදු පහක ණයක් සඳහා අතිරේක පොලිය ද වාහනයේ වියදමට එකතුවිය යුතුය. ලියා පදිංචි ගාස්තු, පුද්ගල ආදයම් බදු, රක්ෂණ පිරිවැය යනාදිය ද වාහනයක් මිල දී ගන්නා පුද්ගලයෙකු දැරිය යුතු අනිවාර්ය වියදම් අතර තිබේ.
සංවර්ධනය සලකා බලන පසු වාණිජ බැංකු ණය ආයෝජන අවස්ථා සඳහා නිකුත් කිරීමේ වගකීමක් ඇත. ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට පියවර ගත යුතුය. අවුරුද්ද අවසානයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශීය මුදල් හා දේශීය වශයෙන් රුපියල් ට්‍රිලියන දෙක ඉක්මවිය හැකි ස්වභාවය අනුව මෙය ප්‍රසාරණය වූ ණය බුබුළක් බව පෙන්වා දිය හැකිය. මූල්‍ය අරමුදල ලැබෙන බදු ගැන තක්සේරු කරන නමුත් මෙම ණය පොලිය හා විදේශීය විනිමය හිඟය පියවා ගැනීම දැවැන්ත අභියෝගයක් විය හැකිය. උත්පාදනයක් නැති රටක් ණය චක්‍රයකට අලුතින් ඇතුළු වී සිටී.
ණයගැතිභාවය වාහනය මිල දී ගන්නා අයිතිකරුගේ වගකීම පමණක් බව තක්සේරුකිරීම සුදුසු නැත. සියලුම ගැනුම්කරුවෝ එම පිරිවැය චක්‍රාකාරව ඔවුන්ගේ භාණ්ඩ හෝ සේවා සඳහා පවරනු ඇත. අවසානයේ දී මෙම සියලු වියදම් සාමාන්‍ය පාරිභෝගිකයන්ට දරන්නට සිදුවේ. කර්මාන්තකරුවෙකු, ව්‍යාපාරිකයෙකු හෝ ඕනෑම ක්ෂේත්‍රයක පුද්ගලයෙකු මිල දී ගන්නා වාහනය එම අංශවලින් උපයා ගන්නා ධනයෙහි කොටසකි. වාහනයකට වැය කරන පිරිවැය ඉහළ යන අතර එම කොටස අය කරගැනීම සමග පහළ තලයේ ජන කොටස් තවත් වටයකින් පීඩනයකට කෙරෙනු ඇත. වාහන බදු අය කරගෙන ඒවායෙන් මහජනතාවට සේවයක් කරන බව දක්වන ආණ්ඩුව වෙළෙඳපොළ ව්‍යුහ විකෘති කර ඇති අතර එය ඉතාම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.
රේල්ලුවට දහයක් වාහන බදුවලින් බිලියන හත්සියයක්
ධාවන තත්ත්වයේ ඇති වාහන ප්‍රමාණය ලක්ෂ අසූ තුනක් බව දැක්වේ. වාහන ආනයන රෙගුලාසි ලිහිල් කළ පසු ඇෙමරිකානු ඩොලර් බිලියනයක ණයවර ලිපි නිකුත් කර තිබේ. තවත් ලක්ෂ ගණනක් වාහන රටට ගෙන්වා ඇත. ඒවා අලෙවි කරගැනීම අපහසුය. දියුණු රටක අනුපාතයට ද වඩා ඒක පුද්ගල වාහන ප්‍රතිශතයක් පවතින අවස්ථාවක ස්වභාවය සංකීර්ණය.
2019 වසරේ රුපියල් මිලියන 13,900 ක් රථ වාහන බදු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය දක්වයි. ගෙන්වන වාහනවලින් 2025 වසරේ දී අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 450 කි. දැන් එය රුපියල් බිලියන හත්සියය දක්වා ඉහළ නැගෙනු ඇතැයි විශ්වාස කෙරේ. අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා දුම්රිය මාර්ගය තැනීම සඳහා ආණ්ඩුව රුපියල් මිලියන 250 ක් වෙන් කර තිබේ. 2025 වසරේ ඖෂධ ආනයනය සඳහා රුපියල් බිලියන අනූවක් වෙන් කරන ලද අතර එය ඉක්මවා ගිය පසුබිම තුළ තවත් රුපියල් බිලියන විස්සක් වෙන් කිරීමට කැබිනට් තීරණයක් ගෙන ඇත. වාහන ආනයනයෙන් ආණ්ඩුව ලබන ආදායම ගැන තක්සේරුවකට මෙම ඉලක්කම් ප්‍රමාණවත්ය. එයට අමතරව වාහන ලියා පදිංචිය, බැංකු ණය, ෆිනෑන්ස් ක්‍රම හා රක්ෂණය ඇතුළු අංශවලින් අමතර ධනයක් උපයා ගැනේ. කෙරේ. මෙම ධනය සමග හැසිරෙන ආර්ථිකය තුළ එහි වාසි අයිතිකර ගැනීම සඳහා පවතින තරගය ඉතා සාහසික වීම දැනට පවතින තත්ත්වයයි.
ආණ්ඩුව සහ ආනයනකරුවන් ඉහළම වාසි ලබන නමුත් ඉදිරි කාලය අඳුරුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන පරිදි 2026 වසරේ වාහන බදු ආදායම විය හැකි අතර විකල්ප ආදායම් ඉලක්ක කළ යුතුවේ. වාහන ඉල්ලුම සීමාවන මොහොතක් ඇත. ණයවර ලිපි විවෘතකර මෙරටට ගෙන්වන ලද වාහන සඳහා ඉල්ලුම අඩු වුණ පසු මිලියන ගණනින් මිල අඩුකිරීමක් ප්‍රකාශ කරන පසුබිමක් තුළ ආණ්ඩුව හා ආනයනකරුවන් හැසිරී ඇති සටකපට ආකාරය ඉතාම පැහැදිලිය. වගකීමක් සහිත වෙළෙඳපොළ තත්ත්ව සකස්කිරීම හා පාරිභෝගිකයන්ගේ පැත්තෙන් තීරණ ගැනීම ආණ්ඩුව සතු වගකීම බව අවධාරණය කළ යුතුය.
සාරා කන්දෙගොඩ

