‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම එම ගීතය යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙලඹවූ ගීත රචකයා නිතර අනුන් විවේචනය කරන්නෙක් ද වෙයි.ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පළිගත්තේ ෆ්‍රෙඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.


අනුන්ගෙ වැඩ ගැන 
විවේචනය කර කර ඉන්නවට වඩා 
තමන් දන්න දේ හරියට කරපන්
කියලා කිව්වෙි හඬා

කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.

ප්‍රේම්ගේ මුල්ම සහකාරිය වූ ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගෙන් වෙන්ව සිටි අවදියේ දිනක් ඔහු සිය මෝටර් රථයෙන් දෙල්කඳ පැත්තේ සිට කොළඹ දෙසට එමින් සිටියේය. දයාගෙන් ලැබූ දියණිය සුරංගි ද එකල ඔහුගෙන් ඈත්ව සිටියාය. නුගේගොඩ හරියේදී කහ ඉරෙන් පාසල් දැරියක් පාර පනිනු දැක ඔහු ඇයට යන්නට රිය නවතා බලා සිටියේය. ගීයක් ඉපදුණේය.

පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා

යනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ උපන් ගීය නිරංජලා සරෝජිනියගේ හඩින් ගැයුණු විට එය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. නන්දා මාලිනී ගැයූ ‘සුරංගිට දුක හිතුණා’ ගීයද ඔහු ලිව්වේ සුරංගි දුව වෙනුවෙනි.
එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වෙනිදා මියගිය පසුව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මධ්‍යයේ බොරැල්ල කනත්තේදී ජෝතිගේ අවමඟුල සිදුකෙරුණේ ජූලි 9 වැනිදාය. එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. නිහාල් නෙල්සන් ගායකයාණන්ට ක්ෂණිකව කතාවක් දීමට සිදුවූ නිසා ‘මේ නිහාල් නෙල්සන් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා...’ කියා ප්‍රේම් මයික්‍රෆෝනය දුන්නේය. කෙටි එහෙත් සරු කතාවක් කළ නිහාල් ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. යන අකුරු දෙකට ගැළපෙන්නේ ‘හදවත රත්තරන්’ යන වදන් බව මුලින්ම කීවේ එතැනදීය. තම ගී පදවැල් රැසකට ජීවය දුන් ජෝතිමත් ගායක මිතුරාගේ දේහය චිතකයේ දැවෙන තෙක් බලා සිට ස්වාධීන රූපවාහිනියට ගිය ප්‍රේම් ජෝති අවමඟුල ගැන පැයක වැඩසටහනක් සකසා එම රාත්‍රියේම ඉදිරිපත් කළේය.
වැඩසටහන අවසානයේ ජෝතිගේ චිතකය දැවෙන දසුන පසුබිමෙන් ප්‍රේමකීර්ති වාදනය කළේ ජෝතිගේ ජනප්‍රිය  ගීතයක් වූ මේ ගීතයයි.

අද අමුතුම රැයකී
හොඳ සීතල පැයකී
අඳුරු වලා වැලකී
මගෙ හිත සතුට දකී

වෙනත් ඕනෑම නිවේදකයකු හෝ නිෂ්පාදකයකු
ඒ වැඩසටහන කළා නම් එම දසුන පසුබිමෙන් ජෝතිගේ ඉතාම සෝබර ගීතයක් යොදනු නිසැකය. නමුත් නිර්මාණශීලී ප්‍රේම්, ඕමාර් ඛයියාම්ගේ දර්ශනය ඇදහූ ජෝති නමැති රසවතා මරණයෙන්ද සතුට දකින වග එම ගීය යොදමින් කියා පෑවේය. 1987 ජූලි 9 වෙනිදා ජෝති ගැන ප්‍රේම් එවැනි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කළත් 1989 ජූලි 31 වෙනිදා ප්‍රේමකීර්ති ද අල්විස් මරා දැමූ පසුව ඔහු ගැන හරිහමන් වැඩසටහනක් කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.