“වික්ටර් උදේම පර්ස් එක මට දෙනවා… කීයක් තිබුණද කියලවත් එයා දන්නේ නෑ!” 

මර්වින් පෙරේරාගේ මතකයෙන් හෙළිවන වික්ටර්–මර්වින් යාළුකමේ තරම!

“ වික්ටර්ගෙයි මගෙයි කටහඬ විතරක් නෙමෙයි ඒ කාලේ අපි හිතපු, පතපු, හඬපු, හිනාවුණ හැමදේම එක වගෙයි. වික්ටර්ගේ හඬ මට අමාවක් වගෙයි.

ඒක නෙමෙයි පුදුමේ! වික්ටර්ගෙ සරල ගී අපි කළ හැටි! අපිට සරල ගීවලට ලැබෙන්නේ රුපියල් හැටයි. ඒක එක්කෙනකුට නම් ඇති. වික්ටර් මෙලෝ දෙයක් බලන්නේ නැහැ. මට උදේම පර්ස් එක දෙනවා. කීයක් තිබුණද කියා වික්ටර් දන්නේ නැහැ. පර්ස් එක අන්තිමේදී බාර දෙනකොටත් එහෙමමයි.

රොක්සාමිගෙ රෙකෝඩින් එකකදී මරු වැඩක් වුණා. ඒකත් කියලා දාන්නම්! මොකද මටම නේ වුණේ!
රෑ ජාමේ රෙකෝඩින් එකේ අපිට මාර නිදිමතයි. අපි බුලත් විට ගත්තා. ඔන්න වික්ටරුයි මායි බුලත් හපනවා. ටික වෙලාවක් යනකොට මගෙ බුලත් විට ඉවර වුණා ගිලිලම. මට පුරුද්දක් නෑ බුලත් විටක් ඒ විදියට කාලා. වික්ටර් කඩුගන්නාවෙනේ. බුලත් පුවක් නෙමෙයි ගමේ හැම දෙයක්ම හරියට දන්නවා. වික්ටර්ට පුළුවන් බුලත් විට දියවෙන්නේ නැතිව ක්‍රමේට රඳවගන්න. මට නිදිමතයි. විටත් නෑ. රොක්සාමි මාස්ටර් ඔරවනවා, මං කිරා වැටෙන කොට.

“අනේ මචං මට උඹේ හපෙන් පොඩ්ඩක් දියන්”
වික්ටර්ගේ හපෙන් ටිකක් මං කටට දාගත්තා. රෙකෝඩින් එක කරා.

අපි දෙන්නගේ කටහඬ කිට්ටුවටම ගියාම මොකද? බුලත් හපේ පවා මට වික්ටර්ගේ නම් සැපයි. අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. මොනතරම් කාලයක් හමුනොවී හිටියත් මාත් වික්ටරුත් අතරේ තියෙන ආදරය, බැඳීම කාටවත් කඩන්න, බිඳින්න බෑ.

අපි කලායතනෙදිත් එකට හිටියේ. ලයනල් අල්ගම, අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, මුත්තූසාමි වගේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයන්ගේ වාද්‍ය වෘන්දවල වයලීන් වාදකයන් විදියට අපි එකට වැඩ කළේ. අපි කෑවේ, බීවෙ , හිතුවේ එකට. මේ සේරම එකට කළත් මැරෙන්න වෙන්නෙ නම් එකට නෙමෙයි. වික්ටර් නැති දවසක් ගැන හිතන්නවත් බෑ!

(ශ්‍රී ලංකා ගුවන් විදුලියට බන්ධුල නානායක්කාරවසම් නිර්මාණය කළ මහෝඝය වැඩසටහනෙනි)