සුනිල් සරත් පෙරේරා ගැන අසා නැති කෙනෙක් නැත. දිනක් සවස් යාමයේ වාහනයකින් ඔහුගේ නිවෙසට පැමිණියේ සංගීත ශිල්පී පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාය.

ඔහු පැමිණ ඇත්තේ සුනිල් සරත් පෙරේරා මහතා වහාම ගුවන් විදුලි සංස්ථාවට කැඳවාගෙන යාමටය. ඔහු එසේ ගියේ එවකට ප්‍රවෘත්ති ඇමති ආනන්ද තිස්ස අල්විස් මහතාගේ කැඳවීමකට අනුවය. රටක් අවදි කළ අසහාය ජන නායකයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා මේ වන විටත් මරුවාගේ මුව දොර සිටින බව ඇන්. ඇම්. වෙත මහත් භක්තියක් දැක් වූ සුනිල්ට රහසක් නොවීය.

සුනිල් සිටියේ ඇන්.ඇම් ගේ අසාධ්‍ය තත්වය පිළිබඳ මහත් සංවේගයකිනි.

සුනිල් සරත් ගුවන් විදුලි සංස්ථා කාර්යාලයට යනවිට රාජ්‍ය ඇමති ආනන්ද තිස්ස අල්විස් මහතා ද සංස්ථා සභාපතිවරයාගේ පුටුවේ අසුන්ගෙන සිටියේය.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා පිළිබඳ ගීත කිහිපයක් අලුතින් ලියන්නැයි ඇමතිවරයා සුනිල්ට කීය. ගීත පටිගත කරන්නට වාදක මණ්ඩලය ද සුදානමිනි. විශාරද අමරදේවයන් සහ නන්දා මාලිනිය ද කැඳවාගෙන එනු ලැබීය.

වැඩි වේලාවක් යන්නට පෙරම ඒ අසුබ ආරංචිය වූ ඇන්. ඇම්. අවසන් හුස්ම හෙලූ  බව ඔවුන්ට අසන්නට ලැබුණි. ආරංචිය ගෙන ආවේ ගුවන් විදුලි සංස්ථාවේ එවකට සභාපති ඒමන් කාරියකරවන මහතායි.

අමරදේව, නන්දා මාලනී, ඩන්ස්ටන් ද සිල්වා සහ සුනිල් සරත් පෙරේරාද ගුවන් විදුලි සංස්ථාවේ දහවන මැදිරියේ සිට ගීත නිර්මාණයේ නිරත වූහ. දහවන මැදිරියේ වර්තමානයේ සුනිල් ශාන්ත මැදිරිය නමින් හඳුන්වයි.

" සූරියමල මැලවී ගියා  
දේශ භක්තියෙන් උදාර වූ 
නව චින්තනයක උල්පත වූ
 දැයක් අවදි කළ නැවුම් සුවඳ හල
 සූරිය මල මැලවී ගියා "

සුනිල්ගෙන් ලියැවුණු මුල්ම ගීතය ඩන්ස්ටන් ද සිල්වාගේ සංගීතයෙන් පණ පෙවී නන්දා මාලනියගේ හඬින් පටිගත කෙරිණ. ඒ මහ රෑ දෙකට පමණය.

 සුනිල් අතින් නිමැවුණු දෙවැනි ගීතය  අමරදේවයන්ගේ සංගීත නිර්මාණයෙන් යුතුව සෝබර හැඟීම් දනවමින් ගායනා කළේ අමර දේවයන් මය. ඒ සොහොයුරාණෙනි ඔබේ නාමයෙන් හෙටත් සූරිය මල් පිපේවා'' ගීතයයි.

පසුදා හිරුගේ රශ්මිය පොළොව සිප ගන්නට ආරම්භ කරන මොහොතේ එහි පැමිණියේ ගායක සනත් නන්දසිරිය. සුනිල්, සනත් නන්දසිරිගේම තනුවකට අනුව ඇන්.ඇම්. පිළිබඳ තෙවැනි ගිය ද නිර්මාණය කළේය.

"සොහොයුරාණෙනි -සොහොයුරාණෙනි අපේ මේ රට පවතිනා තුරු ඔබේ නාමය
අමරණීයයි "

ඇන්. ඇම්. පෙරේරා පිළිබඳ මතකය අවදි කළ සුනිල් සරත් පෙරේරා ඇන්.ඇම් පෙරේර විද්වතුන්ගේ බුද්ධි ප්‍රභාව රූපකාය මෙන්ම එඩිතර භාවය ද අප හැම වසඟ කරන්නට සමත් වුණා යයි කීය.

මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වීදුරු කවුළුව තුළින් මමත් මගේ බිරිය සරෝජිනීත් ඇන්. ඇම්. මරුවා සමග කළ සටන දැක්කා. දොස්තර කාලෝ සහෝදරයා සයනය අසල ඇන්. ඇම් ගේ අතක් අල්ලාගෙන. ඇන්. ඇම්. සමග උරෙනුර ගැටෙමින් එක්ව සටන් අරගලවල නියැලුණු කොල්වින්, ලෙස්ලි, බර්නාඩි සහෝදරවරු ඒ සෝබර දසුන මගහැර රෝහල් භූමියේ තැනකය. ඩෝල්ටන් අල්විස් රචනා කළ " සසර වසනතුරු-
නිවන් දකින තුරු පින්කෙත සිරිලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා" ගීතය ඇන්. ඇම්. දැඩි ලෙස අගය කළා. එය අමරදේවයන් ලවා යළි යළිත් ගායනා කරවූ අයුරු අදත් සිහිපත් වෙනවා. සුනිල් කීය. 

 පසුව සුනිල් සේවය කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පාලකයෝ සුනිල් සරත් පෙරේරා නම් මේ අසහාය ගීත රචකයා අමිපාර ප්‍රදේශයේ දිගාමඬුල්ලට මාරු කළහ. ඔහු මාරු කරන්නට නිමිත්ත වූයේ ඇන්. ඇම්.අභාවප්‍රාප්ත වූ මොහොතේ ඔහු වෙනුවෙන් ගීතරචනා කිරිමය.

සුනිල්ට ඔහුගේ වැඩ තහනමි කළ ලිපිය ලැබී ඇත්තේ ඔහුගේ මවගේ රෝගී තත්වය උත්සන්නවීමත්, වැඩිමහල් දියණිය වැඩිවියට පත්වීමත් පිළිබඳ පුවත බිරියගෙන් දැනගත් දිනයේමය.

ආනන්ද තිස්ස අල්විස් මහතා සුනිල්ගේ මාරුව වළක්වා ගන්නට උත්සාහ ගත්තත් එයට අවකාශ නොලැබිණි.

එදා සුනිල් සරත් පෙරේරා අතින් නිර්මාණය වී අමරදේවයන්ගේ සංගීතයෙන් අමරදේවයන් විසින්ම ගැයූ ගීතයයි මේ.

සොහොයුරාණෙනි
ඔබේ නාමෙන්
හෙටත් සූරිය මල් පිපේවා සොහොයුරානෙනි අමරණීයයි උදාරයි 
ඔබෙ ස්වර්ණනාමය දහසක් දුක් 
හිරිහැර බාධක මැද
ආ ගමනේ පිය සටහන් අතරේ 
සදා දැයේ පරපුරෙන් පරපුරට 
ඔබේ උදාර වූ නොසැළෙන ගුණකඳ
අඳුර බිඳැර ඥානය ඉවහල් කොට 
පිඩිත වූ ජනතාව අවදි කර අපගේ උරුමය යළි පණ පොවනට
ඔබෙන් ලැබිණි නිරතුරුව සියලු වැර
ඔබගේ කටහඬ තුළින් මතුව
විමුක්තිකාමී රණ ගී රාවය අදත් ඇසේ යළි හෙටත් ඇසෙණු ඇත
ශක්තිය වී හදවතට ගලා එන