IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගීත ලියවා ගැනීමෙි සයිමන් තියරිය

සාහිත රසකතා

 

සයිමන් නවගත්තේගම මහතා පණ්ඩුකාභය නාටකය සඳහා ගී පද රචනා කර දෙන මෙන් මගෙන් ඉල්ලීමක් කළේ ය. ඔහු විසින් ගෙදරට ම පැමිණ මෙම ඉල්ලීම වාර ගණනාවක දී ම කරනු ලැබූව ද එදවස උකටලී සිතින් යුතුව සිටි මම පණ්ඩුකාභය නාටකය සඳහා ගීත රචනයට එතරම් උනන්දුවක් නොදැක්වීමි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවය කළ මම එ දවස වැඩ තහනමකට ලක්ව සිටියෙමි.

අම්පාර ශාඛාවට අනුයුක්තව ව්‍යාප්ති නිලධාරියෙකු ලෙස සේවයේ යෙදී සිටිය දී මෙම වැඩ තහනම සිදුවිය. චෝදනාව වූයේ ගුවන්විදුලි වැඩසටහන් සඳහා සහභාගී වීමයි. මෙම තත්ත්වය හොඳින් දැන සිටි සයිමන් නවගත්තේගම මහතා ගීත පද රචනා ලබා ගැනීම සඳහා වාර ගණනාවක් ම’වෙත පැමිණි නමුදු ඔහුට ආපසු යන්නට සිදුවූයේ හිස් අතිනි. කෙසේ වුව ද ඔහුගේ උත්සාහය අත්හරිනු ලැබුවේ නැත.

මේ සඳහා නවගත්තේගම මහතා උපක්‍රමයක් තෝරා ගත්තේ ය. හිමිදිරි උදයේ අපේ ගෙදරට ගොඩවදින ඔහු (ජනවහරේ එන පරිදි කුකුලෙක් අතින් අරන්) ගෙදර ඉස්තෝප්පුවේ දිවානියට වී නිදාගත්තේ උපවාසයක් අරඹන්නාසේ ය. ගීතයක් හෝ දෙකක් ලියනතුරු අද නම් මෙතනින් හෙල්ලෙන්නේ නැහැ” යන්න ඔහුගේ සටන් පාඨය විය. ඇඳි වත සරම පිටින් ම පැමිණෙන ඔහු රඟමඩලක හෝ ලියන මේසයක පෙරදින නිදිවරා ඇතැයි සිතේ.

සිගරට් එකින් එක දැල්වී පිළිස්සී යයි. මඳ වේලාවකින් ඉස්තෝප්පුව පුරා සිගරට් කොට හා සිගරට් අළු සීසීකඩ ය. මෙය ඔහු මා අපහසුතාවයට පත්කිරීමට සිතා මතාම කරන්නා සේ වරෙක මට හැඟේ. ඔහු සිගරට් උරාබීමට රුසියෙකි. හිමිදිරි පුරුදු තේ කෝප්පය රැගෙන එන මබිරිඳ සරෝජිනී, නවගත්තේගම මහතා වෙත ද තව තේ කෝප්පයක් ගෙන එයි. දිවානය මත අඩ නින්දෙන් වාගේ වැතිර සිටින නවගත්තේගම මහතා ඇය දුටු සැණින් පවසන්නේ ‘අද නම් සිංදුවක් ලියාගන මිසක් යන්නෙ නම් නෑ සරෝජිනී’ යනුවෙනි.

ප්‍රේමදාස මහතා අගමැති කාලයේ ටවර්හෝල් රඟහල ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු රඟදක්වනු ලැබූ පළමු නාටකය පණ්ඩුකාභයයි.

සයිමන් නවගත්තේගමගේ නව පණ්ඩුකාභය නාටකය ගීතාංග නාටකයක ස්වරූපය ගත්තකි. මෙහි සංගීතය නිර්මාණය කරන ලද්දේ සෝමසිරි ඉලේසිංහ සංගීතවේදියා විසිනි. කෙසේ වුවද පණ්ඩුකාභය සියලු ගීත මා ලවා ලියා ගැනීමට සයිමන් නවගත්තේගම මහතා සමත් විය. සයිමන් නවගත්තේගම මහතා තුළ කලා කෘතියක් නිර්මාණය කිරීමේ දී තිබූ ඉවසන ගුණය හා මා කෙරෙහි දැක්වූ විශ්වාසය පිළිබඳව ඔවුනට ගෞරව කරමි.

පණ්ඩුකාභය නාටකයට මා රචනා කළ ගීත එකක්වත් මෑතක් වනතුරු මා ළඟ තිබුණේ නැත. 2009 වසරේ දී එම ගීත මා අතට පත් කළ දීඝගාමිනී කුමරුට හා උන්මාදචිත්‍රාට ස්තුතිවන්ත වෙමි. කුසලතා පූර්ණ නළු ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහි දීඝගාමිනී චරිතය රඟපෑ අතර උන්මාදචිත්‍රාව වූයේ කුසුම් රේණු ශිල්පිනියයි. ඔවුන්ගේ ප්‍රේමය ගොඩනැඟුණේ පණ්ඩුකාභය නාටකයේ ප්‍රේමනීය දෙබස් හා ප්‍රේම මධුර වූ ගීත නිසායැයි මේ ලියන අවස්ථාවේ දුරකථනයෙන් මා ඇමතූ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ පෙම්බර තෙපල වීය. ඔහු දුරකථනයෙන් ම ගායනා කළ එක් මියුරු ගීයක පද රචනය ශ්‍රෝතෘන්ගේ සේවනය සඳහා මෙහිලා ඇතුළත් කරමි.

නිදිවරණ - සඳ මඬල
ඇසෙන නෑසෙන සරින්
විරහ ගීතය ගයන
විහඟුනේ කාට වත්
නොපවසන් ඒ රහස
සැලි සැලී තුරුලතා
මදනලින් සිසිල දේ
නිරතුරුව කඳුළ’විත්
බොඳව යයි ලොව මගේ
සැතපෙන්න නැත ඉඩක්
ගන අඳුර වට රැයේ
නිදිවරණ - සඳ මඬල
මුර බලයි ගිරි හිසේ
ඇළ දොළද ගොළුවෙලා
ඉකිබිඳී වන පෙතේ
මඳ මඳව ඔබ සිනා
සඳ රැසින් මතුකෙරේ

තනුව - සෝමසිරි ඉලේසිංහ
ගායනය - ශ්‍රියන්ත මෙන්ඩිස්

පණ්ඩුකාභය ඉතිහාසයේ ජනතා ආශිර්වාදය ලද රජ කෙනෙකි. පණ්ඩුකාභය මෙදවස රඟදැක්වීමෙන් ප්‍රේමදාස මහතාට අවශ්‍ය වූයේ එම චරිතයේ ප්‍රබලත්වය පිළිබඳ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවධානය යොමු කිරීමටයි. පණ්ඩුකාභය නව නිෂ්පාදනය සඳහා විරුද්ධ පක්ෂයේ සිටි ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ද උපදෙස් ලබා ගැනුණි.

ටවර් රඟහලේ වේදිකාගත වූ පණ්ඩුකාභය මංගල දර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ය. පණ්ඩුකාභය නිෂ්පාදනය අතරතුරත් පසුවත් මගේ වැඩ තහනම ගැන ප්‍රේමදාස අගමැතිතුමාට සැලකිරීම සඳහා ඔහු සමඟ ‘සුචරිත’යට යාමට නවගත්තේගම මහතා මට කථා කළ ද එය කම්කරු උසාවියටම බාර දී සිටීමට මම වගබලා ගතිමි. පණ්ඩුකාභය ගීත සඳහා සයිමන් නවගත්තේගම මහතා චෙක්පතක් ගෙනවිත් මවෙත භාරදුණි. ගීත රචනය මුදල් ඉපැයීමේ මාර්ගයක් කර නොගත් මට එතෙක් මෙතෙක් ගීත රචනය සඳහා ලැබුණ වැඩිම මුදල එය විය. වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ සතයක්වත් වේතනය වශයෙන් නොලද මම මෙයින් මහත් සන්තෘෂ්ටියකට පත්වීමි.

 



අදහස් (0)

ගීත ලියවා ගැනීමෙි සයිමන් තියරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site