
මේ උදා වී ඇත්තේ සාහිත්‍ය වසන්තය යි. සාහිත්‍ය නිර්මාණ කාර්ය ය ලෙහෙසි පහසූ වූවක් නො වේ. සාහිත්‍ය නිර්මාණයක බිහිවීම ගැන යස අපූරුවට කියා දෙන කොන්ස්ටැන්ටයින් පවුස්තවුස්කි, ලේඛකයා ගේ ‘රන්රෝස’ මලේ උපමා කතාව තුළ දැක්වෙන්නාක් මෙන්ම අසීරූ දුෂ්කරක්‍රියාවකි. ඒ දුෂ්කර ක්රියාවේ යෙදී විස්මිත සාහිත්‍ය නිර්මාණ මවන අද්වීතීය ලේඛකයන් සතුව ඇත්තේ ද ඒ සාහිත්‍ය නිර්මාණ තරම්ම අනන්‍ය, විස්මිත ,විචිත්‍රවත් ඇවැතුම් පැවැතුම් ය.තමන් ම හදා ගත් අමුතු දින චර්යාවන් සහ ජීවන රටාවන් ය.ලේඛකයන්ගේ මේ අමුතු ලේඛන වත් පිළිවෙත් ගැන කෙරෙන විමසූම ද අප කැඳවා යන්නේ සොඳුරු ආශ්වාදජනක කතා සරිත් සාගරයක් කරාය.
ලෝකයේ ප්‍රසිද්ධ ලේඛකයෝ එකිනෙකාට බොහෝ වෙනස් ලේඛන ශෛලීන් මෙන්ම ලේඛන ඇබ්බැහිද පුරුදු කරගෙන සිටිති. මේ සමහරු හිටිඅඩියේ ලියන්නට ගෙන පැය ගණන් එක දිගට ලියති. සමහරෙක් තෝරාබේරා ගත් සුවිශේෂි කාල සටහනකට අනුව කඩින්-කඩ ලියත්.තවත් අයට ලිවීමට උත්තේජනය ලබා දෙන විවිධ පරිසර, තෝරාගත් ආකර්ෂණිය ස්ථාන, විවිධ චර්යා රටා හෝ ආහාර පාන රටා පවා පවතී. ඒ අමුතු රටා හඹා යාමද අපවෙත තිළිණ කරන්නේ විස්මිත රසයකි.
ලොව ම සිය විස්මිත කතා කලාවෙන් ආකර්ෂණය කර ගත් ලේඛකයන් අතර මුණ ගැසෙන විශිෂ්ටයෙකි ප්‍රංශ නවකතාකරුවකු වන බල්සැක් (Honoré de Balzac) , ඔහු සිය නිර්මාණාත්මක ලේඛනය පෝෂණය කළේ දිනකට කෝපි කෝප්ප 50ක් පමණ පානය කිරීමෙන් බව අප්‍රකට කාරණයකි. ඒ ඔහු සිය නිර්මාණ සඳහා උත්තේජනයක් ලබා ගැනීම ට දිනපතා පානය කළ කෝපි ප්‍රමාණයයි. ‘ඩි බල්සාක්ට අමතරව කෝපිවලට ඇබ්බැහි වූ තවත් කතුවරයෙක් වූයේ වෝල්ටෙයාර් ය. ඔහු දිනකට කෝපි කෝප්ප 40 ක් දක්වා පානය කිරීම සඳහා ප්‍රසිද්ධ ය.
‘ඔලිවර් ට්විස්ට්’ ට පින් සිදුවන්නට බොහෝ දෙනා දැන හඳුනන බ්‍රිතාන්‍ය ලේඛක චාල්ස් ඩිකන්ස් සිය නිර්මාණ සඳහා ඇවැසි උත්තේජනය පතා දිගු දුර ඇවිද යන්නකු ලෙස ප්‍රසිද්ධ ය. ඔහු අලුත් නිර්මාණයක් කරන අතර නිර්මාණාවේෂය සඳහා ඇවැසි කුළුගැන්වීමක් සොයා මෙන්ම, ජන ජීවිතයේ විවිධ පැතිකඩ අත්දැකීම් සොයා අයාලේ ඇවිද ගිය අයෙකි. ඒවන් දිනයන්හී දි, ඩිකන්ස් වික්ටෝරියානු ලන්ඩනයේ අඳුරු වීදි හරහා සැතපුම් 12ක් හෝ ඊට වැඩි දුරක් හෝ තනි තණ්ඩලේ ඇවිද යන්නේ ය. ඔහු තම නවකතා සඳහා කුළුගැන්වීම් ලෙස මෙම බොහෝ ඇවිද යාම් අතර ලද අත්දැකීම් භාවිතා කළේය. ඩිකන්ස්ගේ නිර්මාණ තුළ - හදිසියේ ඇරෙන ජනේලයක්, හෝ දිදුලන රේල් පීල්ලක් හෝ කළු අඳුරු දොරක යතුරු සිදුරක් පවා -ඔහුගේ කතාවට කුතුහලාත්මක භූතාවේෂයක් ලබා දෙන තරම් ම වෙනස් සහ සජීවි ආකාරයෙන් විස්තර කර ඇත්තේ මේ ඇවිද යාම් සහ සමීප නිරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසට ය.
ඇවිදීම සහ නිර්මාණ කලාව ගැන කියන විට අපට තවත් අපූරු චරිතයක් හමුවෙයි. ඔහු ඇවිද ගියේ ඉතා අමුතු ආකාරයකටය. ඒ ඔහු ම කියනා ආකාරයට සිය මනස මතු නොව සිරුරද වෙහෙසවා නව නිර්මාණ මිරිකා එළියට ගැනිමට ය.ඔහු මෑත කාලයේ ඉහළ ප්‍රතිචාර ලද ලේඛකයෙකු සහ පුවත් පත් කලාවේදියකු වන ඒ.ජේ. ජේකබ් ය. සිය දෛනික ලේඛන චර්යාවන් සහ තරුණ ලේඛකයන් සඳහා උපදෙස් කිහිපයක් ‘මම ලියන හැටි’, ලෙස නිකුත් කර ඇති ජේකබ් එහිදි සිය අමුතු උපක්‍රමය විස්තර කර යි.
එයට අනුව , නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වැඩියෙන්ම අලෙවි වන කතුවරයකු ලෙස පවා නම් කළ ඔහු ලියන්නේ ඇවිදීමේ ව්‍යායාම යන්ත්‍රයක ඇවිදින අතරතුරය. “මම ට්‍රෙඩ්මිල් එකක ඇවිදිමින් ලියමි. වැඩියෙන් වාඩි වී සිටිමේ ජීවිත අන්තරායන් පිළිබඳ මම සියලු නව අධ්‍යයනයන් කියෙව්වෙමි. ‘වාඩි වී සිටීම ඔබට භයානක ලෙස නරක යි. එක වෛද්‍යවරයෙක් මට කිව්වා, ඔහු කීවේ “වාඩි වී ඉඳීම අලුත් ම දුම්පානය බඳුයි” කියලයි. ඉතින් මම ට්‍රෙඩ්මිල් එකක් අරන් ගිහින් මගේ පරිගණකය ඒක උඩින් තිබ්බා. මගේ අලුත් පොත ලියන්න මම ඒ විදියට සැතපුම් 1200ක් විතර ගියා. මම එයට යම් ආකාරයකට කැමතියි - එය මාව , එක් අරමුණක් සඳහා අවදියෙන් තබනවා”.
ඇවිදීම සමග තවත් ලේඛකයකු අප වෙත ළඟාවෙයි.ඒ අර්නස්ට් හෙමිංවේ නමැති විශිෂ්ටයා ය.ඔහු ලියුවේ හිටගෙනය. හෙමිංවේ සිටගෙන ලිවිය හැකි ආකාරයේ උස් වේදීකාවක් බඳු කකුල් දිග මේසයක් භාවිත කර තිබේ.ඩිකන්ස් මෙන්ම වර්ජිනියා වුල්ෆ් ද ලුවිස් කැරොල් ද එසේ හිටගෙන ලියූ අයයි.
ඔහු එසේ හිටගෙන ලියද්දි වැතිරගෙන ලිවීම සිය චර්යාව කර ගත් ලේඛකයෙක් අප හමුවට පැමිණේ.ඒ ජේම්ස් ජොයිස් ය. ඔහු සුදු කබායකින් සැරසී, ඇඳ මත වැතිර, විශාල නිල් පැන්සලකින්,ලියූ අතර සිය Finnegans Wake රචනා කළේ කාඩ්බෝඩ් මත ක්‍රෙයොන්ස් කෑලිවලින් ලොකු අකුරු ලියමිනි.ඒ ඔහු ඒ වන විට මුහුණ දෙමින් සිටි අඩ-අඳ බව ඇතුළු රෝගා බාධවලට එරෙහිව යොදා ගත් උප්පරවැට්ටියකි. මෙම පුරුද්ද ප්‍රගුණ කළ තවත් සාර්ථක නවකතාකරුවන් අතර මාර්ක් ට්වේන්, ජෝර්ජ් ඕවල්, එඩිත් වෝර්ටන්, වුඩි ඇලන් සහ මාසෙල් ප්‍රවුස්ට් ද වෙති. ඔවුහු සියල්ලන්ම ඇඳේ වැතිර සිටියදී හෝ සෝෆා මත ගිමන් හරිමින් පිටු පිරවීමට ප්‍රසිද්ධ වූහ. ඇමෙරිකානු කතුවර සහ නාට්‍ය රචක ටෲමන් කපෝට් තමා “සම්පූර්ණයෙන්ම තිරස් කතුවරයකු” යැයි කියා සිටියේ ඔහුට වැතිර සිටින්නේ නම් මිස සිතීමට හා ලිවීමට නොහැකි බැවිනි.
හිටගෙන මතුනොව ඉඳගෙනද ලියූ අපට ළඟ ලේඛිකාවක්ද සිටින්නීය.ඒ වර්ජීනියා වූල්ෆ් ය. ඇගේ විසි ගණන්වලදී, ඇය සෑම උදෑසනකම ලිවීමට පැය දෙකහමාරක් ගත කළාය, ඒ කෝණික මුදුනක් සහිත අඩි තුනහමාරක් උස මේසයක් මත කඩදාසි තබා සිට ගෙන ය.ඒ නිසා ම ඇගේ වැඩ දෙස සමීපව හා දුර සිට බැලීමට ඇයට හැකි විය. ඇය පසු කාලීනව සිටගෙන ලිවීමේ සිට වාඩි වී ලිවීමට මාරු වූ පසු, ඇය නිතර නැගිට යාම වළක්වාගැනිමට ඉතා අපූරු ස්වයං ප්‍රයෝගයක් නිර්මාණය කළාය. ඒ පෑන් සහ තීන්ත රැඳවිමට තැටියක් සවි කළ ලිවීමේ පුවරුවක් සහිත තුනී ප්ලයිවුඩ් කැබැල්ලක් යොදා ගැනීම ය. ලීවිමේ උපකරණ හදිසියේ අවසන් වුවහොත් එය සිය චින්තාවලියේ ගලා යාම කඩාකප්පල් කරන නිසා ය. ලිවීමේ උපකරණ හදිසියේ ක්ෂය වී යාමේ ඒ හා සමාන ම බියකින් පෙලැඹී, පැන්සලෙන් තම කෙටුම්පත් ලිවීමට කැමති ජෝන් ස්ටයින්බෙක්, සෑම විටම හරියට ම මුවහත් කළ පැන්සල් දොළහක් පමණ තම මේසය මත තබා ගත්තේ ය. ඔහු ඒවා කොතරම් තදින් භාවිත කළා ද යත්, සාම්ප්‍රදායික ෂඩාස්රාකාර පැන්සල්වලින් ස්ටේන්බෙක් ගේ අත්වල හටගන්වන කැක්කුම සමනය කිරීම සඳහා ඔහුගේ සංස්කාරකවරයාට ඔහුට නිතරම රවුම් පැන්සල් පමණක් යැවීම ට සිදු ව තිබුණි.
වර්ජිනියා වුල්ෆ් ඇගේ පෑන්වල විවිධ වර්ණ තීන්ත භාවිත කළා ය.ඒ කොළ, නිල් සහ දම්. දම් පාට ලෙසිනි. නමුත් දම් ඇගේ ප්‍රියතම වර්ණය විය. ලුවිස් කැරොල් ද දම් පාට තීන්තවලට වැඩි කැමැත්තක් දැක්වී ය. ඔහු ඔක්ස්ෆර්ඩ් හි ගණිතය උගන්වමින් සිටි කාලය තුළ, ගුරුවරුන් සිසුන්ගේ වැඩ නිවැරදි කිරීම සඳහා දම් පැහැති තීන්ත භාවිත කිරීම සිදුවිය. පසුව එය කැරොල්ගේ ප්‍රබන්ධ දක්වා ගෙන ගිය පුරුද්දක් බවට පත්විය.
ඇලෙක්සැන්ඩ්ර් ඩූමාස් ද වර්ණ ආශක්තකයෙකි. දශක ගණනාවක් තිස්සේ, ඔහු සිය ප්‍රබන්ධ සියල්ල නිල් කඩදාසි මත ද, ඔහුගේ කවි කහ පැහැ කඩදාසියයේ ද, ඔහුගේ පොදු,රාජකාරි ලිපි රෝස කඩදාසි මතද ලිවීය. චාල්ස් ඩිකන්ස් නිල් තීන්ත සඳහා ආසක්ත විය. එය අනෙකුත් වර්ණවලට වඩා වේගයෙන් වියළී ගිය බැවින් ඔහුගේ ප්‍රබන්ධ සහ ලිපි වෙහෙසකින් තොරව සහ තින්ත බොඳ නොවී ලිවීමට ඔහුට ඉඩ දුන්නේය.
Lolita, Pale Fire සහ Ada හි කතුවරයා වන විලැදමිර් නබොකොව්( Vladimir Nabokov) ගේ ලේඛන සුවිශේෂී විය. ඔහු සිහින් පෙට්ටිවල අසූරා තබා ඇති බ්‍රිස්ටල් බෝඩ් කපා තැනූ එකතරමේ කාඩ්පත් මත ලීයමින් ඔහුගේ සියලු කෘති රචනා කළේය. මෙම අමුතු ක්‍රමය නිසා ඔහුට අවශ්‍ය ඕනෑම වේලාවක දර්ශන අනුක්‍රමික නොවන ලෙස වූවද ඔනෑම තැනකින් ලිවීමට සහ කාඩ්පත් නැවත සකස් කිරීමට හැකි විය.නබොකොව් මේ බ්‍රිස්ටල් කාඩ්පත් කිහිපයක් තමන්ගේ කොට්ටයට යටින් ද තබා ගත්තේය. මේ ආකාරයෙන්, ඔහුගේ හිස තුළට අදහසක් ඇති වුවහොත්,ඒ වහාම ඔහුට එය ඉක්මනින් ලියා තැබිය හැකිය. කතාවක් ගොඩනැගීමට එය වෙනස් ම වූ අද්විතීය වු ක්රමයකි.
මේ අන්දමට දක්ෂ ලේඛකයන් දවස පුරා තමන්ට මුණ ගැසෙන බොහෝ දේ නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා සටහන් කර ගැනිමේ පුරුද්දක් පවත්වාගන යයි. මාර්ක් ට්වේන්, මෙලෙස හදිසියේ පහළ වන අදහස් ගොනු කිරිම සඳහා ඔහු සමඟ සාක්කු සටහන් පොතක් නිතර රැගෙන ගියේය. තෝමස් ජෙෆර්සන් ශාක හා මල් වර්ධනයේ සිට දෛනික ජීවිතය පිළිබඳ නිරීක්ෂණ දක්වා සෑම දෙයක් ගැනම සටහන් තබා ගත් තවත් අයෙකි. අද්වීතිය සිනෙමාකරු ජෝර්ජ් ලූකස් පවා චිත්‍රපටයක් රූගත කරන විට ඔහු සමඟ සටහන් පොතක් තබා ගත්තේය.
සාක්කු සටහන් පොත් ගැන කියද්දි විස්මිත ළමා කතුවරයා වන රෝල්ඩ් ඩාල් සම්බන්ධයෙන් මෙහිදි අපූරු කතාවක් මතකයට නැංවී එයි. එක් දවසක් ඩාල් වාහන තදබදයක කොටුවිය. මේ අතර හදිසියේම, ඔහු ඒ වන විට නිර්මාණය කරමින් සිටි කතාවක සිදුකළ යුතු පෙරළියක් ගැන හිතට නැඟිණි. ඒ වේලේ නිතර ගෙන ගිය නෝට්පෑඩයක් හෝ පෑනක් නොතිබූ නිසා, ඔහු නිවෙසට යාමට පෙර තම අදහස අමතක වනු ඇතැයි බිය විය.
ඉතින්, ඩාල් කළේ වහාම කාර් එකෙන් බැස, තමන්ගේ ඇඟිල්ලෙන්, වාහනයේ කුණු තට්ටුව මත ‘චොක්ලට්’ කියා ලිවීමය. මෙම වචනය පසුව ඔහුගේ ‘චාලි සහ චොකලට් කම්හල’ Charlie and the Chocolate Factory නමැති රස ආකරය බවට පත් විය.
බොහෝ කතුවරුන් දෛනික වචන කෝටාවක සම්මුතියක් තමන් සමගම පනවා ගෙන ලිවීම අරඹා තිබේ. ජැක් ලන්ඩන් ඔහුගේ වෘත්තීය ජීවිතයේ සෑම දිනකම දිනකට වචන 1,000 ක් ලිවූ අතර විලියම් ගෝල්ඩින් වරක් සාදයක දී ප්‍රකාශ කළේ ඔහු දිනකට වචන 3,000 ක් ලිවූ බවය. නෝමන් මේලර් සහ ආතර් කොනන් ඩොයිල් ද ඒ වාර්තාව සම කළ අය ය. ලේඛන ශිල්පය පිළිබඳ දැඩි මත දරන්නෙක් වන රේමන්ඩ් චැන්ඩ්ලර් නිශ්චිත දෛනික කෝටාවකට දායක නොවූ නමුත් ඔහුගේ දිනකට වචන 5,000 ක් දක්වා ලිවීමට ප්‍රසිද්ධ විය. ඇන්තනි ට්රොලෝප්, උදේ 5:30 ට තම දවස ආරම්භ කළේය. සෑම උදෑසනකම, සෑම විනාඩි 15 කට වරක්ම ඔරලෝසුවකින් කාලය බලමින්, වචන 250ක් බැගින් ලිවීමට තරම් විනයගරුක විය. ස්ටීවන් කිං ඔහුගේ දෛනික ක්‍රියා පද 2,000 ක කෝටාවට ළඟා වීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන අතර තෝමස් වුල්ෆ් ඔහුගේ වචන 1,800 කෝටාවට ළඟා වන තුරු නතර නොවිමට තමන්ටම තහංචි පනවා ගත්තෙකි.
ඊටත් වඩා කුතුහලය දනවන කරුණක් වූයේ කතුවරුන් තම දෛනික කෝටාව ක්‍රියාත්මක කිරීමට තමන්ට ම බල කිරීමට භාවිත කළ අමුතු ක්‍රමයි. 1830 අගභාගයේදී, වික්ටර් හියුගෝ The Hunchback of Notre Dame ලිවීමට පටන් ගත්තේය. එය කළ නොහැකි යැයි පෙනෙන කාල සීමාව වූ 1831 පෙබරවාරියේ අවසන් කිරිමට ඔහු සූදානම් වූයේ සම්පූර්ණ තීන්ත බෝතලයක් මිල දී ගෙන ප්‍රායෝගිකව මාස ගණනාවක් තමන්ම නිවාස අඩස්සියේ රඳවා ගනිමිනි. පිටතට යාමේ පෙලඹවීම් වළක්වා ගැනීම සඳහා හියුගෝ ඔහුගේ ඇඳුම් අගුළු දැමූ අතර විශාල අළු පැහැති සළුවක් හැර ඇඳීමට කිසිවක් ඉතිරි නොවීය. ඔහු එම අවස්ථාවට ම සරිලන සේ ඔහුගේ පා ඇඟිලි දක්වාම විහිදෙන ගෙතූ ඇඳුමක් මිලදී ගෙන තිබුණි. එය මාස ගණනාවක් ඔහුගේ නිල ඇඳුම ලෙස සේවය කළේය.
අන්තිමේ ඔහු පොත නියමිත දිනට සති කිහිපයකට පෙර අවසන් කළේ, එය ලිවීමට මුළු තීන්ත බෝතලයම භාවිත කරමිනි. ඔහු “What Came Out of a Bottle of Ink,” ලෙස එය නම් කිරීමට පවා සලකා බැලූ නමුත් අවසානයේ වඩාත් ප්‍රචලිත වූ The Hunchback of Notre Dame නම තෝරා ගත්තේ ය.
කුෂ්වන්ත් සිං තරු පන්තියේ ලේඛකයෙකි. ඔහු තම ඇඳුමෙන් සරල මිනිසෙකි. නමුත් ඔහුට වඩාත්ම මිල අධික ලිවීමේ පුරුදු තිබුණි. ඔහුගේ තීරු ලිපි ලිවීම සඳහා ඔහු අලුත්ම පෑනක් භාවිත කරන අතර, ඔහු ඔහුගේ සෑම නව පොතක්ම ආරම්භ කළේ වෙළෙඳපොළේ ඇති මිල අධික ම පෑනකිනි.
ඔහු සෑම විටම පැරිසියේ විශේෂිත සාප්පුවකින් ආනයනය කරන ලද ඉරි සහිත කහ පැහැති , පෑඩ් මත පමණක් ලිවීය. ඔහු සතුව ඉතා කුඩා, ඇත්ත වශයෙන්ම, කඩදාසි මත බඩගා යන කුඩා කුහුඹුවන් වැනි වූ අත් අකුරක් තිබුණි. ඔහු කිසි විටෙක ලිවීමට මේසයක් භාවිත කළේ නැත. ඒ වෙනුවට ඔහුගේ විසිත්ත කාමරයේ, පහසු සෝෆා පුටුවක, ගිනි උදුන අසල වාඩි වි, වේවැල් ස්ටූලයක් මත තම දෙපා තබා තම ලිවීමේ පෑඩ් දණහිස මත තබා දිනපතා පැය ගණන් එක දිගට ලිවීමට කටයුතු කළේය.
ඔහු ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියාවේ සහ පසුව නැෂනල් හෙරල්ඩ්, නවදිල්ලි සහ හින්දුස්ථාන් ටයිම්ස් කාර්යාලවල සේවය කරන විට, ඔහු තම කාර්යාල මේසයේ ලාච්චුවක් බාගෙට ඇද, ඒ මත දෙපා තබා පෑඩ් එක දණහිස් මත තබා ලිවීය. දැඩි පුරුදු ඇති මිනිසෙක් සහ තමා විසින්ම නියම කරන ලද කාලසටහක වහලකු වූ ඔහුට ඉතා දැඩි ලිවීමේ කාලසටහනක් තිබූ අතර ඔහුගේ නියමිත කාලසීමා සමඟ සුවිශේෂී ලෙස දැඩි විය. ලිවීමේදී ඔහු නිතරම පාන් (බුලත් කොළ) හැපූ බවත් දුම්කොළ හපන බවත් දන්නේ ස්වල්ප දෙනෙකි
උර්දු බසින් විශිෂ්ටතම කෙටිකතා රචනය කළ සාදත් හසන් මන්ටෝ ෆවුන්ටන් පෑන් වලට මහත් සේ ආදරය කළේය. බොම්බායේ, චිත්‍රපට ක්ෂේත්රයේ වැඩ කරන විට ඔහුට ඕනෑ තරම් මුදල් තිබූ අතර, ඔහු ඒ කාලයේ වඩාත්ම මිල අධික වෙළෙඳ නාමයන් වූ අධික මිල ගණන් සහිත පාකර් සහ ෂෙෆර් පෑන් සොයමින් සිටියේය. ඔහු ඒවා භාවිත කළේ කලාතුරකිනි, ඔහුව ආකර්ෂණය කළේ උපයෝගීතාවට වඩා ඒවායේ නව්යතාවයයි. ගුවන්විදුලි නාට්‍ය සහ චිත්‍රපට දර්ශන ලිවීමට ඔහු උර්දු යතුරුලියනය භාවිත කළේය, එය මන්දගාමී ක්‍රියාවලියක් වූ නමුත් ඔහුට සිතීමට කාලය දුන්නේය, කෙටිකතා සඳහා ඔහු සැමවිටම කැමති වුයේ මෘදු පැන්සලකටය , එය ඔහුගේ සිතුවිලි සමඟ වේගයෙන් ගමන් කිරීමට උපකාරී විය.
මැන්ටෝගේ බෑනනුවන් වන හමීඩ් ජලාල්ට අනුව: 'අඥෙයවාදියකු වුවද, මැන්ටෝ සෑම කතාවක්ම, රචනයක් ම ආරම්භ කරන්නේ "අල්ලාහ්ගේ නාමයෙන්" යන අර්ථය ඇති අංක 786 පිටුවේ ඉහළ සටහන් කරමිනි. මේ පිළිබඳව අදහස් දක්වමින් මැන්ටෝ වරක් සඳහන් කළේ: ‘බොහෝ විට දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන මම කඩදාසි මත දී ඇදහිලිවන්තයකු බවට පත් වෙමි’කියාය.
පාවහන්, සෙරෙප්පු සහ රන් එම්බ්‍රොයිඩර් කළ ජූටි [පාවහන්] ඔහුගේ ජීවිතයේ වඩාත් ආදරය කළ දේවල්ය. ඒ නිසාම ඔහු ඒවා දන් දීමටද ප්‍රිය කළේය. වරක්, මිතුරකුගේ නිවෙසකදී, සත්කාරකයා ඔහුගේ අලුත් රන් එම්බ්‍රොයිඩර් කළ ජූටි පාවහන් අගය කළේය. එදින සවස, ඔහු පිටත්ව යන විට, ඔහු ඒවා තම මිතුරා සඳහා ඔවුන්ගේ නිවෙස පිටුපසින් තබා පාවහන් නොමැතිව ආපසු ගෙදර ගියේය.
ඇතැම් ලේඛකයන් සතුව තිබූ මේ දැඩි විශ්වාසවලට බර සමහර පුරුදු, ඇත්ත වශයෙන්ම, ඔවුන් ඔල්මොරොන්දන් කාරයන් සේ පෙනෙන ඉතා අඩු ප්‍රායෝගිකත්වයක් දැක්වූ ඒවාය. ට්‍රෲමන් කපෝට් ඒ අතර කැපී පෙනෙන්නෙකි , ඇමෙරිකානු නවකතාකරුවකු, තිර රචකයකු, නාට්‍ය රචකයකු සහ නළුවකු වන ඔහු මදක් අපට ආගන්තුක වුවද කෙටිකතා, නවකතා සහ නාට්‍ය කිහිපයක් ම සම්භාව්‍ය සාහිත්‍ය බුහුමන් ලබා ඇත.ඒ අතර විශිෂ්ට නවකතාවක් වන ‘බ්‍රේක්ෆස්ට් ඇට් ටිෆනි’ සහ සත්‍ය අපරාධ නවකතාව ‘ඉන් කෝල්ඩ් බ්ලඩ්’ ප්‍රධානය.මේ කියන ට්‍රෲමන් කපෝට් කිසිම ආකාරයකට සිකුරාදා දිනක වැඩ කොටසක් ආරම්භ කරන්නේ හෝ අවසන් කරන්නේ නැත, කාමර දුරකතන අංකයේ අංක 13 ඇතුළත් නම් ඔහු හෝටල් කාමරය වහා වෙනස් කරයි, එසේම හොඳ ධූමපානීයකු වන ඔහු කිසි විටෙකත් සිගරැට් කොට තුනකට වඩා ඔහුගේ අළු බඳුනේ තබා යන්නේ ද නැත. අමතර ඒවා ඔහු සිය කබායේ සාක්කුවේ ඔබා ගනී.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
අපි ලියන්නේ මෙහෙමයි: ලොව මවිත කළ ලේඛකයෝ
[email protected] Tuesday, 30 September 2025 10:54 AM
Wow