IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා


ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය. මෙය ක්‍රියාදාම චිත්‍රපටියක් වූ අතර නිසල් ප්‍රබල භාව ප්‍රකාශනයන් සහිත සංකීර්ණ චරිතයකි.  චන්න එය බාර ගන්නට කිසිදු දෙගිඩියාවකින් තොරව ඉදිරිපත් වූයේ එයට සාධාරණය ඉෂ්ට කරන්නට හැකි වෙන බවට තදබල විශ්වාසයක් සිතේ පැවති නිසාය.

“නිසල් කියන්නෙ මම එච්චර කල් රඟ පෑව චරිතවලට වඩා වෙනස් චරිතයක්.. රූගත කරනවා කිව්වෙත් වෙනස්ම පරිසරයක.. ඒ හින්දා මම කැමැත්තෙන්ම උදයකාන්ත වර්ණසූරියගෙ ආරාධනාව පිළි ගත්තා..”

නිසල් පිළිබඳ මතක අවදි කරමින් චන්න පෙරේරා පැවසුවේය.  

සිය දාහත් වෙනි අධ්‍යක්ෂණය වූ සෙනසුරු මාරුව චිත්‍රපටියේ අදහස උදයකාන්තගේ සිතට පිවිසීමත් අපූරු කතාන්දරයකි. 1971 තිරගත වූ ජෝ අබේවික්‍රම, ගාමිණි පොන්සේකා වැනි ප්‍රවීණ නළුවන්   රඟ පෑ ඩී. බී. නිහාල්සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටියට ඔහු බොහෝ ප්‍රිය කළේය. එම නිසාම වැලිකතර නැවත නිෂ්පාදනය කිරීමේ අදහසක් ඔහු තුළ ඇති වී තිබිණි. තිස්ස අබේසේකර හමු වූ අවස්ථාවක උදයකාන්ත මේ පිළිබඳව සඳහන් කළේ එහි තිර රචකයා තිස්ස වූ නිසාය.  

“ඒක නැවත නිෂ්පාදනය කරනවාට වැඩිය හොඳයි ඒ වගේම වෙන කතාවක් ලියන එක..” ඔහු කීවේය.

උදයකාන්ත එයට එකඟ වූයේය. සෙනසුරු මාරුව නිර්මාණය වූයේ ඒ අනුවය. තිස්ස අබේසේකර තිර කතාව ලියමින් සිටියත් ඔහුගේ හදිසි මරණය හේතුවෙන් ඉතිරි කොටස ලියන්නට උදයකාන්තට සිදු වූයේය. උදයකාන්ත, ප්‍රවීන් ජයරත්න සහ රංජිත් ජයසූරිය විසින් එය නිෂ්පාදනය කරනු ලැබිණි. ශේෂාද්‍රි ප්‍රියසාද් අනුත්තරා ලෙස ද, ලකී ඩයස් මිහිල් ලෙස ද, බුද්ධික ජයරත්න විරාජ් ලෙස ද එහි රඟ පෑහ.

නිසල් සහ විරාජ් නැවක ව්‍යාපාර කළ මිතුරන්  දෙදෙනෙකි. ඔවුන් යම් රහසිගත ව්‍යාපාරයක නිරත වෙන අතර එහිදී ඇති වෙන ගැටලුවක් දුරදිග යාම නිසා විරාජ් විසින් නිසල් මරා  මුහුදට දමනු ලබයි. මිතුරා මිය ගිය බැව් විරාජ් විශ්වාස කළත් සැබැවින්ම එය එසේ වන්නේ නැත. නිසල් කෙසේ හෝ සිය දිවි බේරා ගනියි. ඉනික්බිතිව විරාජ්ගෙන් පළිගැනීම සඳහා ඔහු පැමිණෙන ආකාරයත් ඒ නිසා ඇති වෙන නොයෙකුත් ගැටලුත් මෙම චිත්‍රපටියෙන් අපූරුවට පිළිබිඹු කර තිබේ.

“මේකේ ෂූටින් වැඩිපුර ප්‍රමාණයක් තිබ්බෙ මුලතිව්වල.. 2010 රූගත කෙරුවේ.. යුද්ධය අවසන් වෙලා තිබ්බත් බිම්බෝම්බ බය තිබුණා.. ඒ හින්දා  ආරක්ෂක හමුදාවල අවසරය ඇතුව බොහොම පරිස්සමින් තමයි ෂූටින් කරන්න සිද්ද වුණේ..” චන්න පෙරේරා පැවසුවේය.

රාත්‍රී දර්ශන සඳහා වීදි ආලෝකමත් කළේත් හමුදාවේ අවසර ඇතිවය. එහෙත් මිනිසුන් කලබල වෙතැයි බිය නිසා ගිනි අවි භාවිතා කිරීමේදී බොහෝ කල්පනාකාරී වෙන්නට සිදු වූයේය.  

චිත්‍රපටිය රූගත කරන කාලයේදී ඔවුන් නවාතැන් ගෙන සිටියේ නාවික හමුදා කඳවුරකය. එහි පහසුකම් අවම වුවත් ඔවුන්ට අවශ්‍ය සියල්ල නොඅඩුව සපයා දෙන්නට එහි නිලධාරීහු උත්සුක වූහ.

“ඇත්තටම ඒ කාලේ හිටපු හමුදා නිලධාරීන් ආදරෙන් සිහිපත් කරන්නම ඕන.. ඔවුන් අපිට හුඟාක් උදව් කළා..”

චන්න පෙරේරා කීවේ කෘතඥතාපූර්වකවය.



ඒ දිනවල මුලතිව්වල පරිසරය ඉතා කර්කශ වූයේය. එළිපහළියේ ගැවසී ආපසු එද්දී සිරුරු තදින් වියළී කළු පැහැ ගැන්වී තිබිණි. පරිසරයට අනුකූලව කල් ගෙවන්නට හුරු වීම නිසාම නිසල්ගේ චරිතයට අවතීර්ණ වීම පහසු වූ බැව් චන්න කියන්නේය.

“හුඟක් ෂූටින්  තිබුණේ මුහුද ආශ්‍රීතවමයි.. මුහුදේ වෙනස් වීම්වලට අනුකූලව දර්ශන රූගත කිරීම් වෙනස් කර ගන්නත් අපිට සිද්ද වුණා.. යුද්ධ කාලේ නාවික හමුදාවට අයිති පාරා කියන නැව එල්. ටී. ටී ය පැහැරගෙන ඊට පස්සෙ අතෑරලා දාලා තිබුණා.. ඒක තිබුණේ මුලතිව් වෙරළ අයිනෙ.. හොඳටම හානි වුණා නැවක්.. මේ නැවේ උඩ තට්ටුවේ මගෙයි බුද්ධික ජයරත්නගෙයි සටනක් තිබුණා.. ඒක කළේ හරිම අසීරුවෙන්..  නැව මලකඩ කාලා ජරා වෙලා.. ඉණිමං වගේ පඩි පෙළවල්වලින් නඟින්න තිබ්බෙ.. ඒ මදිවට රැල්ල තදින් නැවේ හැපෙනකොට නැව වේගෙන් ඒ මේ අතට පැද්දෙනවා..  හරිම අවදානම්.. සමහර දවස්වලට ෂූටින් කරන්න බැරි තරම් තදින්  පැද්දෙන හින්දා කල් දාන්නත් සිද්ද වුණා.. ඒත් ඒ දර්ශනය අපි ඉස්තරම් විදියට කළා.. කේ. ඩී දයානන්දගෙ කැමරාකරණයත් අතිවිශිෂ්ටයි.. මට හිතෙන්නෙ උදයකාන්තගෙත් විශිෂ්ටම චිත්‍රපටිය තමයි සෙනසුරු මාරුව..” චන්න කීවේය.

මෙය තිරගත වූයේ 2012 දීය. එයට ලැබුණ පේ්්‍රක්ෂක, විචාරක ප්‍රතිචාර යහපත් වූ නිසාම සම්මාන උළෙල කිහිපයකටම නිර්දේශ වූයේය.  හොඳම  දුෂ්ට නළුවා සම්මානය හිමි කර වූයේ  බුද්ධික ජයරත්නටය. හොඳම නළුවා සම්මානයට නිර්දේශ වුවත් චන්නට එය ලැබුණේ නැත.

අලුත් අවුරුද්දේ චන්න පෙරේරාගේ ලොකුම බලාපොරොත්තුව ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිහින අනන්තය චිත්‍රපටිය සහ එකයි දෙකයි තුනයි ළමා චිත්‍රපටිය ඉක්මනින් තිරගත වෙනවා දැකීමය. තවත් ළමා චිත්‍රපටියක් නිර්මාණය කිරීමත් ඔහුගේ බලාපොරොත්තු ගොන්නේ තිබෙන්නේය.

ටෙලි නාට්‍ය සියයකට ආසන්න ප්‍රමාණයකත්, චිත්‍රපටි විසි පහකත් රඟ පෑ චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටි ප්‍රමාණය දොළහකි.  ඔහු විසින් නිෂ්පාදනය කරන ලද පුංචි වීරයෝ ළමා ටෙලි නාට්‍ය මාලාව අතිශයින් ජනප්‍රිය වූයේය.  ඉනික්බිති ඔහු ටිකිරි හපන්නු නමින් ද ටෙලි නාට්‍ය මාලාවක් නිර්මාණය කළේය.

එකල්හි බොහෝ ආදරණීය චරිත රඟ පාමින්  යුවතියන්ගේ සිත් තුළ සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරා දැන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

“ඇයි එහෙම ඈත් වෙලා ඉන්නෙ..? ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය එපා වෙලා ද..?”

මා විමසුවේ ඔහුගේ ස්වර්ණමය යුගයේදී මාත් රසිකාවක්ව සිටි නිසාය.

“දැන් තියෙන ටෙලි නාට්‍ය රැල්ලට මම කැමති නෑ.. හොඳ කතාවක් තියෙන ටෙලි නාට්‍යයක යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් විතරක් රඟ පානවා..” ඔහු කියන්නේය.


චන්දි කොඩිකාර


 



අදහස් (0)

සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31365 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13588 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 128 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1003 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site