IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉතා නුදුරේම සිනමාවෙන් දකින්න ලැබෙයි - මනෝජ් දේවගේ

ප්‍ර මනෝජ් ඔබව බොහෝ දෙනෙක් හඳුනන්නෙ කල්පන නමින්. එහෙම නේද?

ඔව්, ඇත්තටම මගේ නම මනෝජ් දේවගේ කියන එක දන්නෙ නැති තරම්. මම සංගීතේ ටෙලි නිර්මාණයට සම්බන්ධ වීමෙන් පසුව තමයි ඒ විදියට සිද්ධ වුණේ. මොකද වසර  6ක් ඒ වෙනුවෙන් මගේ රංගන දායකත්වය ලබාදුන්නා. ඒ නිසාම වෙන්න ඇති ගොඩක් දෙනෙක් කල්පන නමින් මාව හඳුන්වනවා ඇත්තෙ.

ප්‍ර කල්පන කියන්නෙ දුෂ්ට චරිතයක් නේද?

ඔව්. කල්පන චරිතය ආත්මාර්ථකාමී, ආවේගශීලී දරුණු චරිතයක් නමුත් විශේෂයෙන් කියන්න ඕනෑ මේ චරිතය මුලින්ම නම් කතාවට එකතුවෙන්නෙ හරිම ගුණගරුක අහිංසක චරිතයක් විදියට. ඒ කියන්නෙ සුදු චරිතයක්. ටිකින් ටික තමයි ඔහු නරක අතට වැටෙන්නෙ. එහෙම වෙන්නෙත් අවට සමාජය නිසාම තමයි. මොකද මිනිස්සු උපතින්ම දුෂ්ට වෙන්නෙ නැහැනෙ. ඉතින් මේ නිර්මාණයෙත් මෙහි පිටපත් රචකයා සමන් එදිරිමුණි සහ අධ්‍යක්ෂවරයා සාරංග මෙන්ඩිස් තමයි මේ චරිතය ක්‍රමවත්ව පියවරෙන් පියවර දුෂ්ට චරිතයක් බවට පත් කළේ. 

ප්‍ර ඉතින් ඒ චරිත වෙනස්වීම ප්‍රේක්ෂකයා කොයි විදියට ද භාර ගත්තෙ ?

යහපත්, අයහපත් ප්‍රතිචාර දෙකම ලැබුණා. නමුත් රංගන හැකියාවට ආදරේ කරපු ප්‍රතිචාර දක්වපු බොහෝ දෙනෙක් හිටියා. විශේෂයෙන් කියන්න ඕනෑ පාර තොටේ දී වුණත් මුණ ගැහෙන කිහිප දෙනෙක් හෝ ඒ චරිත රංගනය ගැන කතා කළා. ඇත්තටම ඒ ගැන සතුටුයි.

නමුත් අද  වෙද්දී ඔබ ඒ චරිත රංගනයෙන් ඉවත්වෙලා නේද?

ඔව්- ඇත්තටම අද වෙද්දී මම මේ නිර්මාණය තුළ නැහැ. අවුරුදු 6ක් මම මේ සමඟ රැඳිලා හිටියා. ඒ කාලය තුළ ඉහතින් සඳහන් කළා වගේ හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඒ ගැන ඇත්තටම මම ඉතාම තෘප්තිමත්, නමුත් කලා ක්ෂේත්‍රයේ ඉදිරි වැඩ කටයුතු කිහිපයක් නිසා මට මේ චරිතයට සමුදෙන්න වුණා. අකමැත්තෙන් වුණත්. හේතුව මම සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. ඉතින් ඒ ගැන වැඩිදුර හදාරන්න මට අවශ්‍යයි. ඒ දේට මම හරි කැමතියි. 

කොහොමත් මම මේ වෙද්දිත් සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉන් එක් නිර්මාණයක් සන්දේෂ් බණ්ඩාර අධ්‍යක්ෂවරයාගේ ‘‘අමීගෝ’’ සිනමා නිර්මාණය අනෙක් නිර්මාණය ඩිල්ෂාන් අබේවික්‍රමගෙ. ඉතින් එකිනෙකට වෙනස් ප්‍රධාන චරිත  රංගන දෙකක් තමයි ඒ. එහි එක් නිර්මාණයක වැඩ  මේ වෙද්දි අවසන්. අනෙක් නිර්මාණයේ වැඩ කරගෙන යනවා. ඒ දේවල් නිසා තමයි මම පුංචි තිරයෙන් මඳකට සමුදෙන්න තීරණය කළේ.

වර්තමානයේ රංගන ශිල්පි ශිල්පිනියන්ට චෝදනාවක් තියෙනවා නේද නිර්මාණ මැදදි ඉවත් වෙලා යනවා කියලා? මනෝජ්ට ඒ චෝදනාව ලැබුණද?

එහෙම චෝදනා කරන්න වෙන්නෙ අපි අතින් වරදක් වුණොත්නෙ. නමුත් මම මේ සම්බන්ධව මෙහි අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළා. ඉතාම බැගෑපත්ව. මට මේ තුළින් සමුගන්නට අවශ්‍ය බව. ඒ ඉල්ලීම මම ඔහුගෙන් කළේ නිර්මාණයෙන් ඉවත්වීමට මාස 6කට පෙර සිට. මුලදී නම් ඔවුන් එතරම් කැමති වුණේ නැහැ. මම චරිතයෙන් ඉවත් වෙනවට. නමුත් අධ්‍යක්ෂවරයා මගේ ගැන හොඳින් දන්නවා සහ හඳුනනවා. ඔවුන් මගේ ප්‍රශ්නය තේරුම් අරගෙන මගේ ඉල්ලීම ගැන හිතලා ඊට මට ඉඩ දුන්නා. ඒ වෙනුවෙන් වෙනත් රංගන ශිල්පියෙක් මේ වෙද්දි එකතුවෙලාත් ඉන්නවා. මම ඔහුටත් සුබපතලා ඉතාම සුහදශීලිව තමයි ඒ කණ්ඩායමෙන් එළියට ආවේ. 

විශේෂයෙන් සිහිපත් කරන්න ඕනෑ සංගීතේ අධ්‍යක්ෂවරයා සාරංග මෙන්ඩිස්, නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් සහ මේ චරිත ලස්සනට පිටපත් කළ සමන් එදිරිමුනි මහත්මයාව ඒ අය තමයි මේ චරිතය හැදුවේ. ඒ වගේම මේ කණ්ඩායමේ හැමෝමත් අපිට හොඳ මඟපෙන්වීමක් කළ දෙරණ  නාළිකාවේ ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු සැමවත්.

ප්‍ර මේ දිනවල වෙනත් නිර්මාණ තියෙනවද ඔබ සම්බන්ධ වන?

මේ දිනවල නම් සිරස නාළිකාවෙ විකාශය වන ‘‘මායාවි’’ සමග එකතු වෙලා ඉන්නවා. එහි මම ‘‘ප්‍රමිත්’’ කියලා චරිත රංගනයකින් තමයි එකතු වෙන්නෙ. 

ප්‍ර රංගනය සම්බන්ධයෙන් මනෝජ්ට තියෙන අත්දැකීම් කොහොමද? 

ඇත්තටම මට පුංචි කාලේ ඉදන් හීනයක් තියෙනවා රංගන ශිල්පියෙක් වෙන්න. 

මම පාසල් ගියේ කැලණිය ගුරුකුළ විද්‍යාලයට. ඒ කාලෙ මට වේදිකාවෙ අත්දැකීම් තිබිලා තියෙනවා. නමුත් මම ඒ ක්ෂේත්‍රයට දැඩිව සම්බන්ධ වෙලා නැහැ. පාසලෙන් ඉවත්වුණාට පසුව මම මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා  සිංගප්පූරුවට යනවා. එහි විශ්වවිද්‍යාලයකින් ව්‍යපාර කළමනාකරණ උපාධිය  ලබාගන්නවා. ඒ අතරතුර මම රැකියා කිහිපයකුත් කළා. ඒ කරගෙන මම ලංකාවට එන්නෙ නැවතත් ඕස්ට්‍රේලියාවට යන්න. මොකද කලාවට හිතේ කැමැත්තක් තිබුණත් ව්‍යාපාර පැත්තෙන් තමයි ඉදිරියට යන්න වුණේ. නමුත් ඉතින් ඒ කාලය අතරතුර කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩ කිහිපයකට දායකවෙන්න අවස්ථාව ලැබුණා. නිරූපණයට වෙළඳ දැන්වීම්වලට පොටෝ ෂූට්වලට එහෙම සම්බන්ධ වුණා. මගේ මුල්ම මියුසික් වීඩියෝවට ආරාධනා ලැබුණෙ හරි TV නිර්මාතෘ ලහිරු මුදලිගේ අයියාගෙන්. ඉන් පසුව ටිකින් ටික අවස්ථා  ලැබුණා. ඒ විදියට ගමනක් යද්දී තමයි සංගීතේ නිෂ්පාදිකාව චාමිකා මෙන්ඩිස් මහත්මියගේ මුණගැසීමත් එක්ක පුංචි තිරයට අඩිය තියන්නෙ. ඒ එහි තිර පරීක්ෂණයකට යොමුවීමෙන් පසුව. 

ප්‍ර මේ ආ ගමන අද කලාවෙම නතර වෙලා නේද?

ඔව් ඇත්තටම මේ මගේ හීනයක් සැබෑ වෙලා කියන්න පුළුවන්.

ප්‍ර ඉතින් මේ දේවල්වලට පවුලෙන් ලැබෙන සහය කොහොමද? 

ඉතාම ඉහළින් පවුලෙ අයගේ සහයෝගය ශක්තිය මට ලැබෙනවා. මගේ පවුලෙ ඉන්නෙ  අම්මයි, තාත්තයි, මමයි, මට සහෝදර සහෝදරියන් 4 දෙනෙක් ඉන්නවා. අක්කලා දෙන්නයි. අයියයි, මල්ලියි. ඒ 4 දෙනාම විවාහ වෙලා ඉන්නෙ. මම තමයි අම්මා, තාත්තා එක්ක ගෙදර ඉන්නෙ. ඉතින් මගේ ගමනට අම්මා, තාත්තා තමයි විශේෂ ශක්තියක් වෙලා ඉන්නෙ. 

ප්‍ර සහෝදර සහෝදරියෝ විවාහක නම් ඇයි මනෝජ් තවම තනිවම?

මටත් පෙම්වතියක් ඉන්නවා. ඇය වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා තවම. විදෙස්ගතවෙලා තමයි ඉන්නෙ. අපිත් ලබන වසරේ වගේ විවාහ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. මේ වෙද්දි ඉතින් ගෙවල්වල ආශිර්වාදයත් ලබාගෙන අපේ ආදරේ විඳගෙන ඉන්නවා.

ප්‍ර මනෝජ් දැන් වෘත්තිය වශයෙන් කරන්නෙ කලාවද?

ඇත්තටම නැහැ. මොකද කලාව විතරක්ම කරගෙන ඉන්න අමාරුයිනෙ වර්තමාන තත්ත්වයත් එක්ක. 

කොහොමත් මම මීට අමතරව ව්‍යාපාරයක් කරගෙන යනවා ඇඟලුම් ක්ෂේත්‍රයේ. මට මගේම ආයතනයක් තියෙනවා. ඒකත් කරගෙන තමයි කලා කටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නෙ.  

ධනු විජේරත්න



අදහස් (0)

ඉතා නුදුරේම සිනමාවෙන් දකින්න ලැබෙයි - මනෝජ් දේවගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27633 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 642 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 194 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site