IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහවැලි දෑලේ මිහිදන්වන සරසවියක ආදරය

සුභාවිත ගීතය එදා වගේම අද දවසෙත් නවමු නිර්මාණවලින් පිරුණු තැනක්.හැමදාම වගේම විවිධාකාරයේ තේමා එක්ක සොඳුරු ගීත මෙි අතරට එකතු වනවා.මෙි ගීත අතරේ සරසවි ප්‍රේමය හා බැඳුණු ගීතවලට හිමිවන්නේ සුවිශේෂී බවක්.ඒක අතීතයට වගේම අද දවසේත් පොදුයි.

සුභාවිත ගීතය සියුම්ව ස්පර්ශ කරද්දි සරසවි ප්‍රේමය හා බැඳුණු ගීත ගොන්නෙ වැඩිම ගීත ප්‍රමාණයක් ලියැවී තියෙන්නෙ පේරාදෙණිය සරසවිය මුල් කරගෙන.ඇත්තටම ඒකට හේතුවක් තිබුණා. නිල් අහස වසන මීදුම් සළු පැටලුණු හන්තාන කන්ද,හීන් හඬින් ඉකිබිඳුම් නඟන මහවැලිය,සංගිලි පාලම,දෙනෝදාහක් දෙනා ඇවිද ගිය මැයි මල්,රොබරොසියා පිපුණු ගලහ පාර,දළදා මැදුර,නුවර වැව වටේ වළාකුළු බැම්ම,හීන් හිරිකඩ වැහි මේ හැම දෙයක්ම ගී පද රචකයන්ට,රචිකාවන්ට අපූරු අත්දැකීමක් ගෙන ආවා තමන්ගෙ නිර්මාණවලට.

විශාරද නන්දා මාලිනිය ගයන " හන්තාන අඩවියේ.... (පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ,සංගීතය මර්වින් පෙරේරා) භද්‍රජී මහින්ද ජයතිලක ගයන " හන්තාන කඳු පෙළ හඳට ආ වඩා... (පද රචනය සහ තනු නිර්මාණය භද්‍රජී මහින්ද ජයතිලක),මර්වින් පෙරේරා ගයන " මේ නගරය මා ඔබ වෙන් කෙරුව නගරයයි" (පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්/ සංගීතය මර්වින් පෙරේරා) කරුණාරත්න දිවුල්ගනේ ගයන " හන්තාන දෙසින් එන.. (පද රචනය සුගත් ගාමිණී බණ්ඩාර /සංගීතය විශාරද  ගුණදාස කපුගේ) අමරසිරි පීරිස් ගයන "හන්තානට පායන සඳ..." (පද රචනය ධමිමික බණ්ඩාර / සංගීතය ඩෙනිස්ටර් පෙරේරා) ආචාර්ය දයාරත්න රණතුංග ගයන "සරසවියෙදි අද පමණයි හමුවන්නේ.. (පද රචනය සිරිසමන් විජේතුංග / සංගීතය ආචාර්ය දයාරත්න රණතුංග) වගේ තවත් ගීත බොහෝමයක් මේ අතරෙ තියෙනවා.

ඊට සාපේක්ෂව නොවුණත් පේරාදෙණි සරසවිය හැරුණම සබරගමු සරසවිය,කැලණි සරසවිය,ජයවර්ධනපුර සරසවිය,කොළඹ සරසවිය ,රුහුණු සරසවිය පාදක කරගෙනත් ගීත කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා.ඒ නිර්මාණත් සුභාවිත ගීතාවලියට අලුත් අත්දැකීම් එකතු කළා.

සරසවිය කියන්නෙ හැමෝටම යන්න බැරි,ගිහින් අතහරින්න බැරිවුණු රිදුම් දෙන මතක පිරුණු තැනක්.හිත් පතුළක සිරවෙලා තියෙන හැඟුම් සමුදායක්.ඒ නිසා වෙන්න ඇති අද දවසේත් නවමු ගී පද රචක රචිකාවන් අතින් මෙවැනි අපූරු ගීත ලියැවෙන්නෙ.

මල් වියන් යටින් තුරු විමන් මැදින්
අපෙ මතක පිරුණු සරසවි පාරේ
ඔය සුරත මගේ උරවට  දවටා
මුතු කුඩේ යටින් අපි යමු ආයේ....

හමුවෙන්න පැමිණ මඟ බලා හිඳින
ගල් කුලුනු අතර දෙමහල් පායේ
ඔබ මකා දැමූ මේ දෑස් කැලුම්
මොහොතක් විිඳින්න නැවතී ආයේ.....

බැස යන්න හදන හිරු රැසින් තෙමෙන
මල් තුහින හැලෙන හවසක ආයේ
කඳුලැලිම වැටෙන මේ දෙනෙත් අරන්
මිහිදන් කරන්න මහවැලි දෑලේ..... 

ගායනය - යශෝධා මැදගෙදර 
සංගීතය - අනුරාධ අබේසිංහ 

සරසවිය තුළ අධ්‍යාපනය ලබන මානව මානවිකාවො අතරෙ ප්‍රේමය කියන්නෙ සුලබ අත්දැකීමක්.ජීවිතයේ තුරුණු වියේදිම ඇරඹෙන මේ ප්‍රේමයේ සොඳුරුබව සරසවිය තුළම අත්විඳිනවා වගෙම කාලයත් එක්ක සරසවිය තුළදීම අතහැරෙනවා.බොහෝ ප්‍රේමවන්⁣තයො අවසානයේදි නික්ම යන්නෙ මතක ගොන්නක් පමණක් හිත අස්සෙ හිර කරගෙන.පේරාදෙණි සරසවියෙදි හමුවෙලා,ආදරය කරලා අවසානයේ  සරසවි උයන ස්ටේෂමේදි වෙන්වෙලා ගිය ආදරවන්තයො දස දහස් ගණනක් අදටත් මේ මිහිමත ඇති.ජීවිතේ ආයෙමත් කොතැනකවත් මුණ නොගැසුණ.

"පේරාදෙණි වැස්සයි ප්‍රේමයයි එක සමානයි කියලා අපි විශ්වවිද්‍යාලයට ඇතුළු වුණු මුල් දවස්වල අපිට ඉහළ කණ්ඩායම්වල අය කීවා. ඒක ඇත්ත. පේරාදෙණියට වැහි කඩා වැටෙන්නෙ අපි නොහිතන වෙලාවට. සමහර වෙලාවට තොරතෝංචියක් නැතුව ඒ වැස්ස දවස් ගණන් වහිනවා. තවත් සමහර වෙලාවට වැහි වැටුණු සැණින් පායලා ආයත් ගහ කොළ දිදුලන්න පටන් ගන්නවා. පේරාදෙණි ආදරත් එහෙමයි. අද යාළුවෝ වගේ ඉන්න අය හෙට පෙම්වතුන් බවට පත්වෙලා අත් අල්ලන් ඇවිදන් යනවා අපි දකිනවා. තව ටික දවසකින් ඒ සම්බන්ධතා බිඳ වැටෙනවා. පේරාදෙණියෙ පෙම්වතුන් බහුල වුණාට හැම පෙම්වතා ම තමන්ගෙ පෙම්වතියව ගෙදර ගෙනියන්නෙ නෑ. කාලයක් විවාහ වෙන්නට ම ප්‍රාර්ථනාවෙන් ඇසුරු කරපු බොහෝ පෙම්වතුන් දුකෙන් හෝ අමනාපයෙන් වෙන් වෙන හැටි මම දැකලා තියෙනවා.

මං මගේ පේරාදෙණි ප්‍රේමය අතින් අල්ලන් ජීවිතේ පුරාම ගෙනියන කෙනෙක්. හැබැයි හැම පෙම්වතියට ම ඒ සමාන අත්දැකීම් නැහැ. බොහෝ ප්‍රේමවන්තියන් ප්‍රේමයෙන් පැරදිලා හිස් අතින් ආපහු හැරිලා වෙන කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්නවා. ඇතැම් අය සදහට ම තනි වෙනවා. සමහර ආදර සම්බන්ධතා විවාහ වුණාමත් බිඳ වැටෙනවා. ප්‍රාණ සමව තම පෙම්වතාට ආදරය කළ පෙම්වතියක් ඔහුගේ සුළු වෙනස්වීම පවා දරාගන්නෙ ඉතා අමාරුවෙන්. ඇයගෙ ඇස්වලට එදා කාන්තිය පැළඳූ පෙම්වතා ම දෑසට කඳුළු දායාද කරද්දි ඔහුගෙ ඒ වෙනස්වීම දකින්න නම් තමන්ට දෑසක් මොකටද කියලා ඇයට හිතෙන්න පුළුවන්. ඇයට අසීමාන්තිකව පෙම් කරපු ඒ අතීත පෙම්වතා එක්ක සරසවි මතකයේ සදහට ම රැඳෙන්න නම් ඇය ඔහුගේ වර්තමාන වෙනස්වීම නොදැකිය යුතු බව ඇය හිතනවා. ඉතින් එවැනි පෙම්වතියක් ගැන තමයි මේ ගීතය මම ලියුවෙ.."

මෑත කාලයේ ගී පද රචනා ක්ශේත්‍රය ට බොහෝ ගී පද රචක ,රචිකාවො බිහිවුණා වගේම ඔවුන්ගේ නිර්මාණ සංගීත ක්ශේත්‍රයේ හෙට දවස වෙනුවෙන් මනා සවියක් වුණා කියලා හදවතින්ම කියන්න පුළුවන්.මල් වියන් ය⁣ටින් ගීතය පද රචනා කළ ආචාර්ය ඉරෝමි ආරියරත්නත් ඒ ගී පද රචක රචිකාවන් අතර ඉන්නෙ ඉහළ තැනක.පේරාදෙණි සරසවි ප්‍රේමයේ අපූර්වත්වය වගේම සංතාපයත් දෑසින් දැකලා ඇය පදවැල් ගොතන්නෙ සමහරවිට ඔබේ කතාව වෙන්න ඇති.අපේ කතාව වෙන්න ඇති.

හමුවුණු හැම තැනකම රොබරොසියා මල් පිපේවි හන්තාන සුළං රැල්ලේ පැටලිලා.ගෙවෙන හැම මොහොතකම අලුත් පෙම්වතුන් ගලහ පාර දිගේ ඇවිද යාවි...හමුවුණත් වෙන්වුණත්...

විවරණය: සුජිත් ප්‍රසංග 



අදහස් (2)

මහවැලි දෑලේ මිහිදන්වන සරසවියක ආදරය

ප්‍රදීප් කුමාර දිසානායක Tuesday, 25 April 2023 06:10 PM

බොහෝ දෙනාගේ නෙත ⁣නොගැටෙන අලුත් නිර්මාණ පිළිබඳව කෙරෙන මේ විවරණය බොහොම වටිනව අයියේ .මේ ඇරඹුම විසල් ගමනක් මැ වේවා!

:       2       5

සමන් කේ. අබේරත්න Thursday, 27 April 2023 08:55 PM

හරිම වටිනා වැඩක්, දිගු කාලයක් කරගෙන යන්න හැකි වේවා කියලා හදවතින් සුභ පැතුම් එකතු කරනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 710 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17897 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site